ඇමෙරිකාවේ අත්අඩංගුවේ පසුවන නිකලස් මදුරෝට එරෙහි නඩුව මෙහෙයවන ප්‍රධාන චරිත කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/BBC
ජනවාරි 3 වන දින කරාකස්හිදී අත්අඩංගුවට ගෙන චෝදනාවලට මුහුණ දීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන යාමෙන් පසු, වෙනිසියුලාවේ හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත ය.
හෙට (මාර්තු 26) නඩුව දෙවන වර කැඳවීමට නියමිතව තිබේ.
ජනවාරි 5 වන දින නිව්යෝර්ක්හි පැවති ඔහුගේ පළමු නඩු දිනයේදී, මදුරෝ මත්ද්‍රව්‍ය ජාවාරම, ත්‍රස්තවාදී කණ්ඩායම් සමග වැඩ කිරීම සහ නීති විරෝධීව අවිආයුධ භාවිත කිරීම ඇතුළු චෝදනා හතරකට තමන් වරදකරු නොවන බව ප්‍රකාශ කළේ ය.
සැමියා සමග ම ඇමෙරිකානු හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබූ, මදුරෝගේ බිරිඳ වන ෆ්ලෝරස් ද ඇගේ සංශෝධිත චෝදනා පත්‍රය මගින් නගා ඇති චෝදනාවලට තමන් වරදකරු නොවන බවට පැවසුවා ය.
බෲක්ලින්හි මෙට්‍රොපොලිටන් රැඳවුම් මධ්‍යස්ථානයේ මෙම යුවළ රඳවා සිටියි.
මදුරෝ බලයෙන් පහ කිරීමෙන් පසු, වෙනිසියුලාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය වසර 07කට පසුව මාර්තු මාසයේදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කළ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එරට උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් වෙනිසුවෙලාවේ නව නායකයා ලෙස පිළිගත්තේය.
නීති විශේෂඥයින් උපුටා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරන්නේ මෙවැනි නඩු, විභාගයට ගැනීම සඳහා මාස ගණනාවක් ගත විය හැකි බවයි.
මදුරෝ සහ ඔහුගේ බිරිඳ සම්බන්ධ නීතිමය ක්‍රියාවලියේ සිටින ප්‍රධාන පුද්ගලයින් කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
විනිසුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නිකොලස් මදුරෝ ප්‍රථම වරට අධිකරණ ශාලාවේ පෙනී සිටි විට, ඔහු විනිසුරු ඇල්වින් හෙලර්ස්ටයින් ඉදිරියේ පෙනී සිටි අතර, නඩු කටයුතු ආරම්භ කිරීමට හැකි වන පරිදි තම අනන්‍යතාවය තහවුරු කරන ලෙස මදුරෝගෙන් ඉල්ලා සිටියේය.
"සර් මම, නිකලොස් මදුරෝ. මම වෙනිසියුලා ජනරජයේ ජනාධිපති, ජනවාරි 03 වැනිදා වෙනිසියුලාවේ කරකාස්හි පිහිටි මගේ නිවසේදී අල්ලාගෙන පැහැරගෙන රැගෙන ආවා," අධිකරණය හමුවේ ඔහු සන්සුන්ව ස්පාඤ්ඤ භාෂාවෙන් පැවසුවේ ය.
92 හැවිරිදි විනිසුරු වහාම ඔහුට බාධා කරමින් පැවසුවේ, ඔහුගේ නිර්දෝෂීභාවය ප්‍රකාශ කිරීමට "කාලයක් සහ ස්ථානයක්" ඇති බව ය.
හෙලර්ස්ටයින් ඉහළ පෙළේ නඩු කිහිපයක් විභාග කර ඇති අතර 2020 දී මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් මදුරෝට එරෙහි නඩුව මෙහෙයවා ඇත. තවත් විත්තිකරුවෙකු වන වෙනිසියුලාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වන හියුගෝ ආමන්ඩෝ කාර්වාජල් දැනටමත් වරද පිළිගෙන ඇත.
කොලොම්බියා විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාලයේ උපාධිධාරියෙකු වූ හෙලර්ස්ටයින්, පෞද්ගලික නීති ක්ෂෙත්‍රයට පිවිසීමට පෙර ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ නීතිඥවරයෙකු ලෙස සේවය කළ අතර 1998 දී බිල් ක්ලින්ටන් විසින් දකුණු දිග නිව්යෝර්ක් අධිකරණයට පත් කරන ලදී.
සැප්තැම්බර් 11 ප්‍රහාරයන්ට අදාළ නඩු ඔහු විසින් විභාග කර ඇති අතර, සැකකටයුතු වෙනිසියුලානු අපරාධ කල්ලි සාමාජිකයින් නඩු විභාගයකින් තොරව පිටුවහල් කිරීමට ට්‍රම්ප් යුගයේ දැරූ උත්සාහයන් අවහිර කර ඇත. එමෙන්ම තමාගේ හෂ් මුදල් නඩුව ෆෙඩරල් අධිකරණයට මාරු කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
රියැලිටි රූපවාහිනී තරුවක් වන පැරිස් හිල්ටන් සහ ඉතාලි යටඇඳුම් සමාගමක් අතර බුද්ධිමය දේපළ පනත යටතේ නොගෙවන ලද ඩොලර් මිලියන 1.5ක මුදලක් සම්බන්ධයෙන් වූ නඩුවක් ද හෙලර්ස්ටයින් විසින් විනිශ්චය කළ අතර, ඇය විසින් ප්‍රමාදයන් ඇති කළ බවට සමාගම චෝදනා කළේය.
මෑතකදී, හෙලර්ස්ටයින්, ආයෝජන බැංකුවක් වන JPMorgan Chase වෙත වංචා කිරීම සම්බන්ධයෙන් සමාගම් නිර්මාතෘවරයෙකු වූ චාලි ජෙවිස්ට වසර හතකට වැඩි සිර දඬුවමක් නියම කළ අතර, බිඳ වැටුණු හෙජ් අරමුදලක් වන Archegos හි නිර්මාතෘ බිල් ව්‍වාන්ග්ට වෙනම වංචා නඩුවකදී වසර 18 ක සිර දඬුවමක් නියම කළේය.
ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ රැඳවියන්ට සිදුවන අපයෝජන දැක්වෙන ඇමෙරිකා එක්සත් ජනපද රජයේ ඡායාරූප ප්‍රසිද්ධ කිරීමට ද ඔහු නියෝග කර තිබිණි.
මූලාශ්‍ර උපුටා දක්වමින්, ඇමෙරිකානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන පොලිටිකෝ, හෙලර්ස්ටයින් පිළිබඳව විග්‍රහ කරන්නේ ඔහු නඩු පවරන්නන්ට ඍජු දුරකථන ඇමතුම් ලබා දීම වැනි අසාමාන්‍ය ක්‍රම සඳහා ප්‍රසිද්ධ සාම්ප්‍රදායික විනිසුරුවරයෙකු ලෙසයි.
බ්‍රහස්පතින්දා පැවැත්වෙන මීළඟ නඩුවාරයේදී, ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කරන මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවේදී ඔහුගේ නීතිමය ආරක්ෂාව සඳහා ගෙවීම් කිරීමට වෙනිසියුලානු රජයේ මුදල් භාවිතා කිරීමට මදුරෝට අවසර දීම සම්බන්ධයෙන් විනිසුරු හෙලර්ස්ටයින් සලකා බලනු ඇත
පෙබරවාරි මාසයේදී, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සිය මූල්‍ය සම්බාධකවල විශේෂ ව්‍යතිරේකයක් ඉවත් කර ගත් අතර එමඟින් මදුරෝගේ නීතිමය ආරක්ෂාව වෙනුවෙන් ගෙවීම් කිරීමට තම මුදල් භාවිතා කිරීමට වෙනිසියුලා රජයට ඉඩ සැලසුණි.
මදුරෝ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්

ඡායාරූප මූලාශ්‍රය, PA Media
මදුරෝ ඔහු වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛතම නීතිඥවරයෙකු වන බැරී පොලැක් පත් කර ඇත. පොලැක් වඩාත් ප්‍රසිද්ධ වන්නේ විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටීම සහ 2024 දී එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් ඔහුට නිදහස ලබා ගැනීමට උදව් කිරීම සම්බන්ධයෙනි.
පොලැක් යනු වෝල් ස්ට්‍රීට් පදනම් කරගත් මෑන්හැටන්හි පිහිටි හැරිස් ශාන්ත ලෝරන්ට් සහ වෙක්ස්ලර් නීති සමාගමේ හවුල්කරුවෙකි. ඔහු ජෝර්ජ්ටවුන් නීති විද්‍යාලයේ නීතිය උගන්වනු ලබන මහාචාර්යවරයෙකු වන අතර ඇමෙරිකානු නඩු විභාග පිළිබඳ වන නීතිඥ විද්‍යාලයේ සාමාජිකයෙකි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නීති පර්යේෂණ සහ විශ්ලේෂණ ප්‍රකාශනයක් වන චේම්බර්ස් වලට අනුව, ඔහු නඩු විභාග සඳහා සම්පූර්ණයෙන්ම කැප වූ "පූර්ණ හා කල්පනාකාරී නීතිඥයෙකු" වේ.
දශකයක් පුරා පැවති නීතිමය සටනක් අවසන් කළ අසාන්ජ්ගේ අභියාචනා එකඟතාව සඳහා පොලැක් සාකච්ඡා කළේය. ඇමෙරිකා එක්සත් ජනපද ඔත්තු බැලීමේ චෝදනාවකට අසාන්ජ් වරද පිළිගත් අතර එක්සත් රාජධානියේ වසර ගණනාවක් රඳවා තබා ගැනීමෙන් හා සිරගත කිරීමෙන් පසු ඔහුට සිර දඬුවම් නියම විය.
වැරදි ලෙස දඬුවම් ලැබුවන් ඉන් නිදොස් කොට නිදහස් කිරීම් සඳහා පොලැක් කටයුතු කර ඇත. සිය මව්පියන් ඝාතනය කළා යයි තමන් නොකළ වරදකට වසර 17 ක් සිරගතව සිටි මාටින් ටැන්ක්ලෙෆ් සහ වංචා චෝදනාවලට මුහුණ දෙන හිටපු එන්රොන් ගණකාධිකාරීවරයෙකු වන මයිකල් ක්‍රවුට්ස් ද එලෙස නිදහස ලැබූ පිරිසට ඇතුළත් ය.
මදුරෝගේ පළමු නඩු විභාගයේදී, එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේ, පොලැක් එක්සත් ජනපද හමුදා විසින් ඔහු අල්ලා ගැනීමේ නීත්‍යානුකූලභාවයට අභියෝග කළ බවත්, ස්වෛරී රාජ්‍යයක ප්‍රධානියා ලෙස මදුරෝට මුක්තිය හිමිවන බවට තර්ක කළ බවත්ය.
මදුරෝගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් වෙනුවෙන් හූස්ටන් නීතිඥ මාර්ක් ඩොනෙලි පෙනී සිටින අතර, ඔහු දැන් මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරන එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ සේවය කළ අභිචෝදකයෙකි.
ඇයව අල්ලා ගැනීමට හේතු වූ හමුදා මෙහෙයුමේදී ෆ්ලෝරස් "සැලකිය යුතු තුවාල" වලට ගොදුරු වූ බවත්, ඇයට පූර්ණ වෛද්‍ය පරීක්ෂණයක් අවශ්‍ය බවත් ඩොනෙලි පැවසීය.
අභිචෝදකයින්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
නිව්යෝර්ක්හි දකුණු දිස්ත්‍රික්කය සඳහා වන එක්සත් ජනපද නීතිපති කාර්යාලය විසින් නඩු පැවරීම සිදු කරනු ලැබේ.
මෙම කාර්යාලය මෙහෙයවනු ලබන්නේ ඉහළ පෙළේ ෆෙඩරල් අභිචෝදක ජේ ක්ලේටන් විසිනි, ඔහු මදුරෝ සහ ඔහුගේ බිරිඳට එරෙහි අධිචෝදනා පත්‍රයට අත්සන් තැබීය.
නොවැම්බර් මාසයේදී එක්සත් ජනපද නීතිපති පෑම් බොන්ඩි විසින් ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන් ඩිමෝක්‍රටික් පක්ෂ නායකයින් හා ප්‍රධාන මූල්‍ය ආයතන සමග පවත්වන ලද සබඳතා පිළිබඳ විමර්ශනයක් මෙහෙයවීම සඳහා ද ක්ලේටන් පත් කළේය.
මදුරෝගේ නඩුවේ ප්‍රධාන නීතිඥවරියක් වන්නේ නීතිපති කාර්යාලයේ අපරාධ අංශයේ ප්‍රධානියා වන අමන්ඩා හූල් ය. ඇය මෑතකදී පෞද්ගලික නීතිඥ සේවයෙන් ඉවත්වී ඇමෙරිකා එක්සත් ජනපද නීතිපති කාර්යාලයේ සේවයට නැවත පැමිණියාය.
2015 සහ 2023 අතර කාලය තුළ, හූල් නිව්යෝර්ක්හි දකුණු දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ ප්‍රධානියා ඇතුළු ජ්‍යෙෂ්ඨ ධූරාවලි කිහිපයක සේවය කළාය.
ජනවාරි 5 වැනිදා මදුරෝගේ නඩු විභාගයේදී එක්සත් ජනපද සහකාර නීතිපති කයිල් විර්ෂ්බා රජය වෙනුවෙන් කතා කළේය.
ජාතික ආරක්ෂක සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ සාමාජිකයෙකු වන විර්ෂ්බා, ඉහළ පෙළේ විදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ නඩු හැසිරවීම සඳහ වාර්තාවක් තබා ඇත.
2020 දී පළමුව චෝදනා ගොනු කළ දා සිට ඔහු මදුරෝගේ නඩුවට සම්බන්ධ වී ඇති අතර, පසුව කොලොම්බියාවේ FARC කැරලිකරුවන්ට උදව් කළ බව පිළිගත් හිටපු වෙනිසියුලානු ජෙනරාල් ක්ලිවර් අල්කාලා කෝර්ඩෝන්ස්ට එරෙහිව නඩු පැවරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.
විර්ෂ්බා, ට්‍රෙන් ඩි ආර්ගුවා කල්ලියට සහ එහි නායක යැයි කියනු ලබන හෙක්ටර් රස්ටන්ෆර්ඩ් ගුරේරෝ ෆ්ලෝරස්ට එරෙහිව ද නඩු පවරා ඇති අතර, ඔහු මදුරෝගේ අධිචෝදනා පත්‍රයේ සම-විත්තිකරුවෙකු ලෙස ද නම් කර ඇත.
පසුගිය වසරේ එක්සත් ජනපදයට පිටුවහල් කරන ලද මෙක්සිකානු කාටෙල් නායක හීසුස් මෙන්ඩෙස්-වර්ගාස්ට එරෙහි නඩුවේ නඩු පවරන්නන්ගෙන් එක් අයෙකු ද ඔහු වන අතර හිටපු හොන්ඩියුරාස් ජනාධිපති ජුවාන් ඔර්ලන්ඩෝ හර්නැන්ඩෙස් වරදකරු කිරීමට උදව් කළේය.


































