2024 වසරේ වැඩි අවධානයක් යොමු වූ මරණ

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

කියවීමේ කාලය: මිනිත්තු 7

ගෙවී ගිය 2024 වසරේදී ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකාවේ ද කැපී පෙනෙන පුද්ගලයන් කිහිප දෙනෙක් ම ජීවිතයට සමුදුන්හ.

කලාකරුවන්, ලේඛකයන්, දේශපාලනඥයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට සිදු වූ මෙම අහිමි වීම් පිළිබඳව මහජනතාවගේ ද විශාල අවධානයක් යොමු විය.

මේ එලෙස මෙම වසරේදී ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ සිදු වූ මරණ කිහිපයකි.

සනත් නිශාන්ත

ඡායාරූප මූලාශ්‍රය, SANATH NISHANTHA | FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත 2024 ජනවාරි 25 වන දා කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජනවාරි මස 25 වන දා කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය.

ඔහු මෙරට දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් මෙන් ම රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයෙකු ද විය.

සුළු වාරිමාර්ග හා ගොවිජන සංවර්ධන අමාත්‍ය, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සහ ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය යන තනතුරු ඔහු විසින් හොඹවනු ලැබූ  අතර ඔහු මිය යන විටත් ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු කිහිපයක් විභාග විය.

රම්‍යා වනිගසේකර

ඡායාරූප මූලාශ්‍රය, RAMYA WANIGASEKARA | FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, රම්‍යා වනිගසේකර 2024 මාර්තු 8 වන දින දිවි ගමනට සමු දුන්නා ය

මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලාංකික ගුවන් විදුලි ශ්‍රාවකයින්ට ප්‍රවෘත්ති ඉදරිපත් කළ, රම්‍යා වනිගසේකර මාර්තු 8 වන දින දිවි ගමනට සමු දුන්නා ය.

කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය අභාවප්‍රාප්ත වූයේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

මිය යන විට ඇය 73 වන වියේ පසු වූවා ය.

ඇය රංගන ශිල්පිනියක ලෙස සම්මානයට ද පාත්‍ර වූවා ය.

රොනී ද මෙල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මෙල් 2024 පෙබරවාරි 27 පස්වරුවේ අභාවප්‍රාප්ත විය

ශ්‍රී ලංකාවේ සුවිශේෂී දේශපාලනඥයෙකු මෙන් ම හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මෙල් පෙබරවාරි 27 පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

පවුලේ ඥාතීන් පැවසුවේ, 98 වන වියේ පසු වූ ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව ය.

පරිපාලන නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවය ආරම්භ කර ඇති රොනී ද මෙල්, පසුකාලීනව වඩාත් කතාබහට ලක්වූ ප්‍රබල දේශපාලනඥයෙකු බවට පත්විය.

ආචාර්ය ඒ.ටී. ආරියරත්න

ඡායාරූප මූලාශ්‍රය, SARVODAYA | FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, ඒ.ටී. ආරියරත්න 2024 අප්‍රේල් 16 වනදා අභාවප්‍රාප්ත විය

ශ්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල් ම ව්‍යාප්තියක් සහිත රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සැලකෙන සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න 2024 අප්‍රේල් 16 වැනිදා අභාවප්‍රාප්ත විය.

කොළඹ, පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට ඔහු 93 වන වියේ පසු විය.

"දිළිඳුකම තුරන් කිරීම සහ ගැටුම් රහිත සමාජයක් ගොඩනැගීම" සිය මෙහෙවර කර ගත් සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය හරහා ආචාර්ය ඒ.ටී. ආරියරත්න ශ්‍රී ලංකාවේ දහස් ගණනක් පවුල් ආර්ථික වශයෙන් නගා සිටුවීමට කැපවූ අයෙකි.

පාලිත තෙවරප්පෙරුම

ඡායාරූප මූලාශ්‍රය, PALITHA THEWARAPPERUMA | FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම 2024 අප්‍රේල් මස 16 වන දා අභාවප්‍රාප්ත විය

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම 2024 අප්‍රේල් මස 16 වන දා අභාවප්‍රාප්ත වූයේ මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අයත් පොල් වත්තකදී සිදුවූ අනතුරකින් ය.

දේශපාලඥයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම ආන්දෝලනාත්මක සිදුවීම්වලට සම්බන්ධ වීම නිසා අවස්ථා කිහිපයකදී රක්ෂිත බන්ධනාගාරගත වීමට පවා සිදුවිය.

මන්ත්‍රීවරයෙකු ලෙස පමණක් නොව තමන්ට තනතුරු අහිමිව ගොස් තිබියදී පවා පාලිත තෙවරප්පෙරුම ජනතාවට සේවය කළ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ ය.

සුමනා ජයතිලක

ඡායාරූප මූලාශ්‍රය, CHANDANA WIJESINGHE VIA METHINKSATNATION

ඡායාරූප ශීර්ෂ වැකිය, සුමනා ජයතිලක ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියව සිටියේ "හඳ නැන්දා" ලෙස ය

1937 අප්‍රේල් 23 වන දා උපත ලැබූ සුමනා ජයතිලක 2024 ජූලි 4 වනදා අභාවප්‍රාප්ත වන විට 87 හැවිරිදි වියේ පසු වූවා ය.

1963 වසරේදී ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයට බැඳුණු ඇය 1984 වසරේදී විශ්‍රාම යන විට අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධූරයක් දරමින් සිටියා ය.

ඇය ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියව සිටියේ "හඳ නැන්දා" ලෙසයි.

වික්‍රමබාහු කරුණාරත්න

ඡායාරූප මූලාශ්‍රය, CHANDANA KEERTHI BANDARA

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මෙලොව හැරගියේ 2024 ජූලි 25 වන දා ය

ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ "සන්නාමයක්" ලෙස විද්වතුන් විසින් හඳුන්වනු ලබන 'බාහු' හෙවත් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මෙලොව හැරගියේ 2024 ජූලි 25 වන දා යි.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලබා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගොස් ආචාර්ය උපාධියක් හිමි කර කරගත්තේ 1970 වසරේදී යි.

ලංකා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටියදී 1962 වසරේදී ලංකා සම සමාජ පක්ෂයට එක් වෙමින් ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ ය.

1983 වසරේ පැවති දැවැන්ත වැඩ වර්ජනයේදී ද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළේ ය.

සේනක බටගොඩ

ඡායාරූප මූලාශ්‍රය, SENAKA BATAGODA | FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, ගායන ශිල්පියෙකු, ගිටාර් වාදකයෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සේනක බටගොඩ 2024 සැප්තැම්බර් 11 වනදා අභාවප්‍රාප්ත විය

ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්වූ ගීත රැසක් නිර්මාණය කළ ගායන ශිල්පියෙකු, ගිටාර් වාදකයෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සේනක බටගොඩ 2024 සැප්තැම්බර් 11 දා අභාවප්‍රාප්ත විය.

සේනක බටගොඩ යනු වෙනස් ආරක තනු නිර්මාණ සහ ගීත හරහා ශ්‍රී ලාංකික රසිකයින් අතර ජනප්‍රියත්වයට පත්වූ සංගීත ශිල්පියෙකි.

ඔහු පිළිබඳව දැඩි රසික අවධානයක් යොමු වූයේ, සංගීත් විජේසූරිය ප්‍රමුඛ 'වායෝ' සංගීත කණ්ඩායම ගායනා කළ 'අපි කවුරුද' ගීතය ජනප්‍රිය වීමත් සමග ය.

එම ගීතයේ පද සහ තනුව සේනක බටගොඩ විසින් නිර්මාණය කරන ලද බව ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඔහුගේ සෙසු නිර්මාණ රැසක් ද ජනාදරයට පත්විය.

ඔහු නිර්මාණය කළ 'අපි සැනසිල්ලේ' ගීතය ද අතිශයින් ජනප්‍රියත්වයට පත්විය.

ඩබ්ලිව්. ජයසිරි

ඡායාරූප මූලාශ්‍රය, PETER JEROME THISARANA PERERA | FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, විශිෂ්ට රංගධරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වූ ඩබ්ලිව් ජයසිරි දිවිගමනට සමුදුන්නේ 2024 සැප්තැම්බර් 21 වන දා ය

විශිෂ්ට රංගධරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වුව ද, ඔහු අධ්‍යක්ෂවරයෙකු, ගීත රචකයෙකු මෙන් ම සාහිත්‍යධරයෙකු ලෙස ද සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවෙකු වූ ඩබ්ලිව් ජයසිරි දිවිගමනට සමුදුන්නේ 2024 සැප්තැම්බර් 21 වන දා ය.

ඔහු ධර්මසේන පතිරාජයන්ගේ 'බඹරු ඇවිත්' චිත්‍රපටය වෙනුවෙන් රචනා කළ 'හඳුනාගත්තොත් ඔබ මා' ගීතයට 1980 වසරේදී ජනාධිපති සම්මාන හිමි විය.

ජයන්ත චන්ද්‍රසිරි වෙද හාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, රැජින ආදී ඔහුගේ නිර්මාණ රැසකට ඩබ්ලිව්. ජයසිරි සම්බන්ධ කර ගත්තේ ය.

වජිරා චිත්‍රසේන

ඡායාරූප මූලාශ්‍රය, CHITHRASENA DANCE ACADEMY | FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය වජිරා චිත්‍රසේන 2024 සැප්තැම්බර් 23 වන දා දිවි රඟ මඩලට සමු දුන්නා ය

ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය නර්තන ශිල්පිනිය ලෙස සැලකෙන ආචාර්ය වජිරා චිත්‍රසේන 2024 සැප්තැම්බර් 23 වන දා දිවි රඟ මඩලට සමු දුන්නා ය.

2020 වසරේදී ඉන්දියාවේ සිව් වන ඉහළ ම සම්මානය ලෙස සැලකෙන 'පද්ම ශ්‍රී' සම්මානයෙන් ඇය පිදුම් ලැබුවා ය.

2011 වසරේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය විසින් ඇයට දර්ශන විශාරද (PhD) උපාධියක් පිරිනමන ලදී.

ඇය කලාසූරී සහ දේශබන්ධු ගෞරව සම්මානවලින් ද පිදුම් ලබා තිබේ.

කුමාර වෙල්ගම

ඡායාරූප මූලාශ්‍රය, KUMARA WELGAMA | FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම 2024 සැප්තැම්බර් 28 වන දා අභාවප්‍රාප්ත විය

දශක 4කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සක්‍රීය දේශපාලනයේ නිරතව සිටි "කළුගන්තොට සිංහයා" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම 2024 සැප්තැම්බර් 28 වන දා අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර ඒ වන විට ඔහු 74 වන වියේ පසුවිය.

ඔහු මෙරට දේශපාලනය තුළ දැඩි ලෙස කතාබහට ලක් වූ මෙන් ම නොමැකෙන මතක ඉතිරි කර ගිය දේශපාලනඥයෙකු බව ඔහුගේ සමකාලීන දේශපාලනඥයින්ගේ අදහසයි.

ප්‍රියා සූරියසේන

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | PRIYA SURIYASENA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ප්‍රියා සූරියසේන දෙසැම්බර් 24 පෙරවරුවේ අභාවප්‍රාප්ත විය

සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ බිහි වූ වෙනස් කටහඬකට හිමිකම් කී ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ ප්‍රියා සූරියසේන දෙසැම්බර් 24 පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.

70 දශකයේ සිට ශ්‍රී ලංකේය සංගීත ක්ෂේත්‍රය ගීත රැසකින් පෝෂණය කළ ඔහු මිය යන විට 80 වන වියේ පසු වූයේ ය.

අඳුර අඳුර මගේ, හෙට දවසේ අප දෙදෙනා, ඈත රන් විමන්, රටකින් එහා ඉගිලී, මගේ ළමැද, මොහොතක සුව දෙන, හදවත ඉල්ලා, සුදු පරවි රෑන සේ ආදිය ඔහුගේ ගී නිර්මාණ අතර අතිශය ජනාදරයට පාත්‍ර වූ ගීත අතරින් කිහිපයකි.

2024 වසරේ ලෝකයේ වෙනත් රටවල සිදු වූ මරණ

2024 වසරේ දී ලෝකයේ ද බොහෝ බෙහෙවින් ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකු ම මරණයට පත් විය.

අතිශය ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වන හැරී පොටර්හි මහාචාර්ය මැගෝනිගල්ගේ චරිතයට පන පෙවූ මැගී ස්මිත් 2024 වසරේදී මරණයට පත් වුයේ වසර 70ක් පුරා රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටීමෙන් පසුවයි.

One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු වූ ලියම් පේන් වයස අවුරුදු 31දී මිය ගියේ ආර්ජන්ටිනාවේ පිහිටි හෝටලයක ඉහළ මහලකින් ඇද වැටීමෙන් ය.

මේ වන විට ඒ සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ද ගෙන තිබේ.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ ජිමී කාටර් වයස අවුරුදු 100ක ආයු කාලය අවසන් කරමින් දිවියෙන් සමුගත්තේ දෙසැම්බර් 30 වන දා ය.

හිටපු රටකජු ගොවියෙකු වූ ඔහු, ඉතිහාසයේ අන් සියලු ම ජනාධිපතිවරුන්ට වඩා වැඩි කාලයක් ජීවත් වූ අතර, පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔහුගේ 100 වන උපන්දිනය සැමරුවේ ය.