'තෛපොංගල් සැමරීම වෙනුවට ජනාධිපතිවරයා දෙමළ ජනතාවගේ ගැටලු විසදීමට මුලිකත්වය ගන්න'

"අපි බලන්නේ දැන් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න. ඒක උතුරේ ප්‍රශ්නයක් විතරයි නෙවෙයි.අපේ දකුණේ මහ ඇමතිවරුත් ඉල්ලනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා.ඒ නිසා අපි කතා කරලා ඒවත් ක්‍රියාත්මක කරන්න යනවා.ඉතින් මේ ටික අපි ක්‍රමානුකූලව කරගෙන යමු ඊළඟ අවුරුදු දෙකේදී" යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (15) යාපනයේදී පැවසීය.

ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද යාපනය නල්ලූර් කෝවිලේදී මෙවර තෛපොංගල් සැමරුම පැවැත්වූ අවස්ථාවේදීය.

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද යාපනය නල්ලූර් කෝවිලේදී මෙවර තෛපොංගල් සැමරුම පැවැත්විය.

"අද තියෙන්නේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විතරක් නෙවෙයි.තවත් ප්‍රශ්න තියෙනවා සාකච්ජා කරන්න"

ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් පැවසූවේ අද දිළිදුකම,බඩගින්න,විරැකියා දෙමළ අයටවත්,සිංහල අයටවත් සීමාවෙලා නෑනේ.අපි ඔක්කෝම දුක් විදිනවා.ඉතින් අපි ඔක්කෝම එකතුවෙලා ගොඩ එන්න ඕනේ.අද තියෙන්නේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විතරක් නෙවෙයි.තවත් ප්‍රශ්න තියෙනවා සාකච්ජා කරන්න" යනුවෙනි.

“දෙමළ පක්ෂ මන්ත්‍රීතුමන්ලා එක්කත් කථා කළා.එන සුමානේ පක්ෂ නායකයින් නැවත කැදවනවා.එතනදි මම කිව්වා පෙබරවාරි 08 වැනිද සංහිදියාව ඇති කරන්න අපි මොකක්ද ගන්න පියවර කියලා.ඒක මම පාර්ලිමේන්තුවට කියනවා ගන්න කියලා.මේ ප්‍රශ්න පැත්තකට දාලා, කල් දාලා, පාපන්දු ගහලා විසදන්න බෑ.විසඳුම රටටත් කියන්න ඕනේ.පාර්ලිමේන්තුවටත් කියන්න ඕනේ.ඒකයි ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ අදහස් ලබාගන්නේ."

"අතුරුදහන්වූවන් ගැන.ඒ අයට සහනයක් ලබලා දෙන්න.ඒ පවුල්වලට සහනයක් ලබලා දෙන්න.ඒ සත්‍ය හොයාගන්න.මොකක්ද වුණේ කියලා දැන ගන්න.ඒ වගේම මේ ගැන හොයලා බලන්න සත්‍ය හා සංහිදියාව කොමිෂම පත් කරන්න.විශේෂයෙන්ම මොකක්ද සිදුවුණේ.කවුරුහරි වැරදි කරලා තියෙනවානම් හොයාගන්න කියලා. සති තුනකට ඉස්සෙල්ලා අපේ හමුදාපතිවරුන්ගෙන් ඇහුවා ටි.ආර්.සි ඇති කරන්න යනවා මොකක්ද ඔයගොල්ලන්ගේ අදහස කියලා.ඇත්ත හොයාගන්න අපිත් කැමතියි කියලා කිව්වා.අපිට තියෙන චෝදනා හා ඒවාට අපිට පිළිතුරු දෙන්න පුළුවන් කියලා කිව්වා.කවුරුවත් විරුද්ධත්වයක් නෑ ටි.ආර්.සි ඇති කරනවාට."

"ත්‍රස්තවාදය වැළක්වීමේ වෙනුවට අලුත් නීතියක් අපි ගේනවා.සමහරු කියනවා මේක උතුරට විරුද්ධව යොදවනවා කියලා.නෑ මේක යොදවන්නේ රටේ ස්ථාවර භාවය ඇති කරන්න.මට ගිය අවුරුද්දේ මේක දකුණට යොදවන්න තිබුණා.කොහොම හරි අපි අලුත් නීතිත් ගේනවා."

"ඒ වාගේම ඊළඟ තිබෙන්නේ ඉඩම් ප්‍රශ්නය.වන්නිය පැත්තේ වනාත්තර.විශේෂයෙන් වනජිවි දෙපාර්තමේන්තුව එක්ක ඇතිවෙලා තිබෙන ප්‍රශ්න අපි අද සාකච්ජා කළා.යාපනයේ ඉඩම් ආපසු ලබාදීම ගැනත් අපි සාකච්ජා කළා.යුද්ධ කාලයේදී මේ ප්‍රදේශය ආරක්ෂා කරන්න ඕනේ නිසා යුද්ධ හමුදාව අක්කර 30000 ක් පමණ තමන් යටතේ ක්‍රියාත්මක කළා.අද ඉතුරුවෙලා තිබෙන්නේ අක්කර 3000 යි.ඒත් තව කොටසක් භාර දෙන්න හමුදාව කැමතියි.ඒ ගැනත් අපි කතා කරනවා.”යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදි පැවසුවේය.

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය නල්ලූර් කෝවිලේදී මෙවර තෛපොංගල් සැමරුම සිදුවිය.

ජනපතිට විරෝධතා

කෙසේවෙතත් තෛපොංගල් සැමරුම වෙනුවෙන් හා උතුරු පළාතේ ආගමික නායකයින් මුණ ගැසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනය වෙත පැමිණි අද(15) දිනයේ යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක නිරත විය.

ඔවුහු පැවසූවේ ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට තමන් දැඩි විරෝධතාවය පළ කරන බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් හා අතුරුදහන්වූවන්ගේ ගැටලුව සඳහා ස්ථිරසාර විසදුමක් ලබාදිය යුතු බවට ඔවුහු ඉල්ලීම් කළහ.

ඡායාරූප ශීර්ෂ වැකිය, යාපනය අරසඩි මංසන්ධිය ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට ආරක්ෂක අංශ අවසර ලබා නොදීම හේතුවෙන් එහිදී උණුසුම් තත්වයක් ඇතිවිය.

පොලිසියෙන් විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිසිය විසින් විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර එල්ල කළේය.

යාපනය අරසඩි මංසන්ධිය ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට ආරක්ෂක අංශ අවසර ලබා නොදීම හේතුවෙන් එහිදී උණුසුම් තත්වයක්ද ඇති වු අතර, පොලිසිය විසින් විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර එල්ල කළේය.

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධය පාලනය සඳහා කැඳවා තිබු ජල ප්‍රහාරක රථය

පොලිසිය,පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුධ හමුදාවද විරෝධතාකරුවන් පාලනයට එක්ව සිටියහ.

'තෛපොංගල් සැමරීම වෙනුවට ජනාධිපතිවරයා දෙමළ ජනතාවගේ ගැටලු විසදීමට මුලිකත්වය ගන්න'

වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ද අද(16) වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපස විරෝධතාවයක් පැවැත්වු අතර, එහිදි අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කේ.රාජ්කුමාර් පැවසූවේ “තෛපොංගල් සැමරීම වෙනුවට ජනාධිපතිවරයා විසින් දෙමළ ජනතාවගේ ගැටලු විසදීමට මුලිකත්වය ගතයුතු අතර, එයින් දෙමළ ජනතාවට වඩාත් සතුටුවනවා." යනුවෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වවුනියාවේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ තමන්ගේ ඥාතීන්ගේ ගැටලුවට ස්ථිර විසදුමක් ලැබෙන දිනයක තමන් තෛපොංගල් දිනය සමරන අතර, තම ඥාතීන් නොමැතිව තමන්ට තෛපොංගල් නොමැති බවයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, වවුනියාව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් 2156 වන දිනට අද(15) විරෝධතාවයේ නිරතවූහ.