අධ්‍යාපනය සඳහා ඩුබායි යන ඇෆ්ඝන් සිසුවියන්ට තාලිබාන් සංවිධානය වැට බඳියි

ඡායාරූප මූලාශ්‍රය, By Arrangement

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩුබායි බලා පිටත්ව යන සිසුවියන් ආරක්ෂක මුරපොළ හරහා යාමට පෙළ ගැසී සිටින අයුරු දැක්වෙන කාබුල් ගුවන්තොටුපළෙන් ලද අපැහැදිලි ඡායාරූපයක්
    • Author, නූර් ගුල් ෂෆාක්
    • Role, බීබීසී ඇෆ්ඝන් සේවය

"තාලිබාන් එක කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කළාට පස්සේ, මගේ එක ම පැතුම වුණේ පිටරටක ඉගෙනගන්න පුළුවන් වෙන්න ශිෂ්‍යත්වයක් ලබාගන්න එක," 20 හැවිරිදි ඇෆ්ඝන් ශිෂ්‍යාවක වන නත්කයි පවසයි.

අප නත්කයිගේ නම වෙනස් කර ඇත්තේ ඇගේ ආරක්ෂාව සඳහා ය.

තාලිබාන් සංවිධානය එයට විරුද්ධ වන කාන්තාවන් දැඩි ලෙස මර්දනය කර ඇත.

නත්කයි පවසන්නේ, ඇගේ මව්බිම තුළ විශ්වවිද්‍යාලයයකට යෑමට ඉඩක් නොතිබුණ ද ඇය නොනවත්වා අධ්‍යාපන කටයුතුවල නිරත වුණු බව ය.

අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ෂෙයික් ඛලාෆ් අහ්මඩ් අල් හබ්ටූර්ගෙන් ඇයට එම රාජ්‍යයේ ඩුබායි විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් හිමි විය.

තාලිබාන් සංවිධානය කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කිරීමෙන් පසු, 2022 දෙසැම්බර් මාසයේ දී ඇෆ්ඝන් කාන්තාවන් සඳහා වන ශිෂ්‍යත්ව නිවේදනය කෙරුණි.

බීබීසීය සතු තොරතුරුවලට අනුව, ඇෆ්ඝන් කාන්තාවන් 100 දෙනෙකු මෙම ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබා තිබේ. විදේශයන්හි වෙසෙන ඇතැම් ඇෆ්ඝන් සිසුවියන් දැනට ම ත් ඩුබායි වෙත ගොස් ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පිරිමි සහායකයින් හෝ භාරකරුවන් සමග පැමිණ සිටි ශිෂ්‍යාවන්ට ද විදෙස්ගතවීමට තලියිබාන් නිලධාරීන් ඉඩ දුන්නේ නැත

ජූලි 23 බදාදා, නත්කයි ඇගේ පවුලේ සාමාජිකයින්ට සමු දී ගුවන්තොටුපළට බලා පිටත්වූවා ය.

නමුත් ඇගේ බලාපොරොත්තු සුන්වීමට ගතවූයේ සුළු කාලයකි.

"තාලිබාන් එකේ අය අපේ ටිකටුයි ස්ටුඩන්ට් වීසායි දැකලා කිව්වා, ස්ටුඩන්ට් වීසා යටතේ ගෑණු ළමයින්ට ඇෆ්ඝනිස්ථානෙන් පිටවෙන්න අවසර නෑ කියලා," ඇය මා හා පැවසුවේ බිඳුණු ස්වරයකිනි.

විදෙස්ගතවීමට වැට බැඳෙයි

ගුවන්තොටුපළෙන් හරවා එවන ලද [අවම වශයෙන්] ගැහැනු ළමයින් 60 දෙනා අතර නත්කයි ද සිටියි.

බීබීසීය දුටු ඡායාරූපවලින් දිස් වූයේ කළු හිජාබ් හෝ හිස් ආවරණ පැළඳ සිටින තරුණ ගැහැනු දරුවන් කම්පනයට හා බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකට පත්ව ඔවුන්ගේ ගමන් මලු අසල සිටගෙන සිටින ආකාරය යි.

තාලිබාන් සංවිධානය කාන්තාවන්ට තනිව විදෙස්ගතවීම තහනම්කර ඇති අතර, කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයන් හෝ 'මහරම්' ලෙස හැඳින්වෙන සහෝදරයා, මාමා හෝ පියා වැනි පිරිමි සහයකයෙකු සමග පමණක් විදෙස්ගතවීමට ඔවුන්ට අවසර ලබා දී ඇත.

නමුත් මෙය පවා ප්‍රමාණවත් නොවී ය.

"මහරම් කෙනෙක් එක්ක ආපු ගෑනු ළමයි තුන් දෙනෙක් ප්ලේන් එකේ හිටියා," නත්කයි පවසයි. "ඒත් දුරාචාර සහ සදාචාර අමාත්‍යංශෙ නිලධාරියො එයාලව ප්ලේන් එකෙන් බැස්සුවා."

සෙසු සිසුවියෝ මාධ්‍ය වෙත අදහස් දැක්වීමට නොහැකි තරම් බියෙන් පසුවූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශ්වවිද්‍යාල බැනර්වලින් පවා කාන්තාවන් මකා දමා ඇති අයුරු

අප ෂම්ස් අහ්මඩ් නමින් හඳුන්වන තරුණයෙක්, ඔහුගේ සහෝදරිය සමග ගුවන්තොටුපළට ගොස් අත්විඳීමට සිදුවූ පීඩාව විස්තර කළේ ය.

"මෙහේ විශ්වවිද්‍යාල වැහුනට පස්සේ මේ ශිෂ්‍යත්වෙ මගෙ නංගිට අලුත් බලාපොරොත්තුවක් දුන්නා. එයා ගෙදරින් ආවෙ බලාපොරොත්තුවෙන් පිරිලා වුණාට ආයෙත් ආවේ අඬාගෙන," ඔහු පවසයි. "එයාගේ හැම අයිතිවාසිකමක් ම උදුරගෙන."

අහමඩ් පවසන්නේ, ඇතැම් කාන්තාවන් ඔවුන් හා විදෙස්ගතවීමට පැමිණි පිරිමි සහයකයින්ගේ වීසා බලපත්‍ර සඳහා ණය මුදල් පවා ලබාගෙන තිබුණුමුත් ඔවුන් ද නතර කළ බව ය.

"මේ සමහර ගෑණු ළමයි හරි ම අසරණ යි, දුප්පත්. ලිපි ලේඛනවල නිවරද්‍යතාව තහවුරු කරන්න විදේශ කටයුතු අමාත්‍යංශයෙන් අය කරන ඇෆ්ඝනීස් 400ක (අමෙරිකානු ඩොලර් 5/රු. 1600ක් පමණ) ගාස්තුව පවා ගෙවා ගන්න ඒ අයට බැහැ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, තාලිබාන් සංවිධානය විසින් කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට බොහෝ සීමා පනවා ඇති අතර, එමඟින් ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට සහ මුදල් ඉපැයීමට ඇති අවස්ථාව අහිමි වේ

ඩුබායි විශ්වවිද්‍යාලයය සහ අල් හබ්ටූර් විසින්, මේ ගැහැනු දරුවන් නතර කරනු ලැබ ඇති බවට තහවුරුකර තිබේ.

අල් හබ්ටූර් මීට පෙර ට්විටර් ලෙස හැඳින්වූ Xහි ඉංග්‍රීසි භාෂාවෙන් වීඩියෝ පණිවිඩයක් පළ කළේ ය. ඒ හරහා තාලිබාන් බලධාරීන් විවේචනය කරමින් ඔහු පවසන්නේ, ඉස්ලාම් ආගම යටතේ පිරිමි සහ ගැහැනු යන දෙපාර්ශවය ම සමාන බව ය.

ගුවන්තොටුපළේදී නතර කිරීමට ලක්වූ ඇෆ්ඝනිස්ථාන තරුණියක ඉංග්‍රීසි බසින් සිදු කරන ප්‍රකාශයක් ද වීඩියෝවේ අඩංගු වේ.

"අපි මේ මොහොතේ ඉන්නේ එයාපෝට් එකේ. ඒත් අවාසනාවන්ත විදිහට ආණ්ඩුව අපට ඩුබායි යන්න දෙන්නේ නැහැ," ඇය පවසයි. "මහරම් කෙනෙක් ඉන්න අයට පවා ඒ අය යන්න ඉඩ දුන්නේ නැහැ. මම දන්නේ නැහැ මොකක් කරන්න ද කියලා. අනේ අපිට උදව් කරන්න."

ජාත්‍යන්තර ප්‍රතිචාර

තාලිබාන් සංවිධානයේ මෙම නව ක්‍රියාපිළිවෙත අයිතිවාසිකම් කණ්ඩායම් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ සිත් කලබලයට පත් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අන්තරායන් අභිමුව වුව ද ඇෆ්ඝනිස්ථාන කාන්තාවන් විරෝධතා බොහොමයක් පැවැත්වූ නමුත් පාලක තාලිබාන් සංවිධානයේ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට නොහැකි විය

"මේක තාලිබාන් සංවිධානය ගැහැනු දරුවන් සහ කාන්තාවන්ගේ අධ්‍යාපනය අයිතිය ප්‍රතික්ෂේප කරමින් දැනටමත් සිදුකර තිබෙන අසාමාන්‍ය මට්ටමේ කුරිරුකමෙන් ඔබ්බට ගිය සැලකිය යුතු සහ භයානක පියවරක්," හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ හෙදර් බාර් පවසයි.

"මේකෙන් ඔවුන්ව සිරකරුවෝ විදිහට තියාගෙන ඉන්නවා, අන් අය ඔවුන්ගේ ඉගෙනීමට උදව් කරන එක වළක්වන්න."

ඇෆ්ඝනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු තරුණ නියෝජිත ෂ්කූලා සාද්‍රාන්, දැරියන් අත්නොහරින ලෙස විශ්වවිද්‍යාලයයට බල කරමින් පණිවිඩයක් පළ කර ඇත.

තාලිබාන් සංවිධානය කිසිදු ප්‍රකාශයක් හෝ පැහැදිලි කිරීමක් නිකුත් කර නොමැත.

දුරාචාර සහ සදාචාර පිළිබඳ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු වන මොහොමඩ් සාදික් අකිෆ් මුහාජිර් බීබීසීයට පැවසුවේ, මෙම සිද්ධිය පිළිබඳව ඔවුන් නොදැනුවත් බව ය.

තාලිබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු වන සබීහුල්ලා මූජහීඩ් ද අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, තමන් සංචාරයක නිරතව සිටින බව ත් තමන් සතුව කිසිදු තොරතුරක් නොමැති බව ත් ය.

නත්කයි දැන් අධෛර්යයට පත්ව සිටියි.

උසස් පාසලෙන් උපාධිය ලබා තිබුණු ඇය 2021 අගෝස්තු 15 වන දින තාලිබාන් සංවිධානය බලයට පත්වන විට විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයට සූදානම් වෙමින් සිටියා ය.

නත්කයි සිතුවේ ඇය ඇගේ සිහින හඹා යාමට මාර්ගයක් සොයාගෙන ඇති බව ය. තාලිබාන් සංවිධානය "කාන්තාවන් පිළිගන්නේ හෝ ඔවුන්ට ගරු කරන්නේ නැති" බැවින් ඔවුන්ට පැවසීමට කිසිවක් නොමැති බව ඇය කියා සිටියි.

ඇෆ්ඝන් දැරියන් අත් නොහැර ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අඛණ්ඩව සහය ලබා දෙන ලෙස ඇය ලෝකයෙන් ඉල්ලා සිටියි.

"ගෑනු ළමයෙක් වෙන එක අපරාධයක් වන රටක මට මේ අවස්ථාව මඟහැරුණා. මට ගොඩක් දුකයි, මම දන්නේ නැහැ මොනවා කරන්න ද, ඊළඟට මට මොනවා වෙයි ද කියලා."