1953 රාජාභිෂේකයේ මතකයන්: 'සීතලේ, තෙමිලා, මහන්සියෙන් නමුත් සතුටින් හිටියෙ'

ඡායාරූප මූලාශ්‍රය, Werner Bischof / Magnum

ඡායාරූප ශීර්ෂ වැකිය, හිලරි කාපෙන්ටර්, ට්‍රැෆල්ගා චතුරශ්‍රයේ "විශාල ජනකායකට" එක් විය

දෙවන එළිසබෙත් රැජිණගේ රාජාභිෂේක පෙරහැර පැමිණෙන තෙක් පැය 24ක් ලන්ඩනයේ වීථිවල කාලය ගතකළ ආකාරය 89 හැවිරිදි කාන්තාවක් සිහිපත් කරයි.

හැම්ෂයර් ප්‍රාන්තයේ කිංග්ස් සොම්බෝන් නම් ග්‍රාමයේ වෙසෙන 89 හැවිරිදි හිලරි කාපෙන්ටර්, 1953 දී, ට්‍රැෆල්ගා චතුරස්‍රයේ පදික වේදිකාව මත ඉඩක් අල්ලාගැනීම සඳහා ඇගේ කේම්බ්‍රිජ් විභාගය කලින්ම අවසන්කර පැමිණියා ය.

ඇය මෙසේ පවසයි: "අපි දිගින් දිගටම චියර් කළා... මිනිස්සු වටේටම පිරිලා හිටිය නිසා කතාබහෙන්, සිංදුවලින් පිරිලා තිබුණා."

එදින ඇදවැටුණු වර්ෂාව සුබපතන්නන් "සීතල කරලා, තෙතබරිත කරලා, මහන්සිකරලා නමුත් සතුටින්" තැබූබව ඇය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Werner Bischof / Magnum

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජාභිෂේක පෙරහැර නැරඹීම සඳහා දහස් ගණන් ජනතාව බොහෝ වේලාවක් නගර මධ්‍යයේ රැඳී සිටියහ

ඇය 1953 ජුනි පළමුදා දහවල් ට්‍රැෆල්ගා චතුරස්‍රයට ළඟාවූබව කාපෙන්ටර් පවසයි.

ඇය මෙසේ සිහිපත් කළා ය: "අපි හිටපු තැන පළමු පේළියෙ පොඩි තණ තීරුවක් තිබුණා. අපි පාරෙ ගැට්ටෙ වාඩිවෙලා මුළු හැන්දෑවම, රෑ එළිවෙනකල්ම හිටියා.

ඡායාරූප මූලාශ්‍රය, Monty Fresco / Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වර්ෂාව මධ්‍යයේ විවෘත අශ්ව රථයක සිට සෙනඟ වෙත අත වැනීමෙන් පසු ටොංගාහි රැජිණ ජනප්‍රියත්වයට පත්වූබව කාපෙන්ටර් පැවසුවා ය

"ඒක හරි ෂෝක්, මොකද එතන කෑම විකුණන පොඩි කඩ වගෙ තිබුණා, ජංගම වැසිකිළි තිබුණා. එතකොට, ඕගොල්ලන්ට [වැසිකිළියට] යන්න ඕනෙ වුණොත් එතන වටේ හිටපු අය ඕගොල්ලන්ගෙ තැන අල්ලාගෙන ඉන්නවා - ඒගොල්ලො හරි හොඳ අය.

"විසාල [සෙනග ගොඩවල්], මහා ගොඩක් පිරිසක් [ඇවිත් හිටියා]. පෙරහැරේ හිටියා ලෝකෙ වටෙන්ම ආපු රෙජිමේන්තු පිටින් සොල්දාදුවො.

ඡායාරූප මූලාශ්‍රය, Hilary Carpenter

ඡායාරූප ශීර්ෂ වැකිය, කාපෙන්ටර්, ලන්ඩනය බලා පිටත්වීම සඳහා කේම්බ්‍රිජ්හි හමර්ටන් පීඨයේ විභාගයක් කලින් අවසන්කර දැමුවා ය

"එතන මවුන්ටීස්ලා (රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලිස් භටයින්) හිටියා, ගුර්කා භටයො (නේපාල) හිටියා. ඒගොල්ලො රැළි පිට රැළි වගෙ ආවා. ඊට පස්සෙ සංගීත බෑන්ඩ් ගොඩක් ආවා. ඒක නියම යි.

"[ටොංගා රාජ්‍යයේ රැජිණ] වැස්සේම විවෘත අශ්ව කරත්තෙක වාඩිවෙලා ඉඳන් හැමෝටම ඇත වැනුවා. හැමෝම එයාට චියර් කළා. එයා හරි ජනප්‍රිය වුණා. එයා හරිම ෂෝක්.

"පෙරහැර ගියාට පස්සෙ අපි ඔක්කොම ගියා මෝල් පාරට, ඒගොල්ලො බැල්කනියෙ ඉන්නවා බලන්න. ඉතින් අපි මුළු හවස් වරුවම එතන තමයි හිටියෙ. අපි සීතලේ, තෙමිලා, මහන්සිවෙලා හිටියෙ, ඒත් මම හිතන්නෙ හරිම, හරිම සතුටකින්."

ඡායාරූප ශීර්ෂ වැකිය, දවස අවසානයේ දී සුබ පතන්නන් "සීතලේ, තෙමිලා, මහන්සිවෙලා නමුත් සතුටින්" සිටිබව කාපෙන්ටර් කියයි