කිම් ජොන්-උන් ගේ දියණිය ගැන අප දන්නේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, KCNA via Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් සහ ඔහුගේ දියණිය රටේ නව හ්වාසොං-17 අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයේ අත්හදා බැලීමේ මෙහෙයුමට සම්බන්ධ විද්‍යාඥයින්, ඉංජිනේරුවන්, හමුදා නිලධාරීන් සහ අනෙකුත් තැනැත්තන් සමග ඡායාරූප සැසියකට සහභාගී වෙති

උතුරු කොරියානු නායක කිම් ජොන්-උන්ගේ දියණිය සතියක් තුළ දෙවන වරටත් ප්‍රසිද්ධියේ පෙනී සිට ඇති අතර, එය ඇය මීළඟ අනුප්‍රාප්තිකයා ය යන්නට ඉඟියක් වියහැකිබවට මත පළවිය. නමුත් දැරියගේ නම හෝ වයස හෙළිකර නොමැති රටේ රාජ්‍ය මාධ්‍ය, ඇය නායකයාගේ "ආදරණීය" හෝ "වටිනා" දරුවා ලෙස පමණක් විස්තරකර ඇත.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ආයතනය වන KCNA ඉරිදා වාර්තා කළේ කිම් සහ ඔහුගේ දියණිය මෙමස හ්වාසොං-17 මිසයිල දියත් කිරීමට සම්බන්ධ සොල්දාදුවන්, විද්‍යාඥයන් සහ අනෙකුත් කාර්යය මණ්ඩලය හමුවූබව යි.

KCNAහි නවතම ඡායාරූපවල දිනය සටහන්කර නොතිබූ නමුත්, එහි සඳහන් වූයේ ජනතාව "ඔහු වෙත ඉහළම මහිමය සහ ආඩම්බරය" පෙන්වමින් "අසීමිත ආශාවෙන් සහ සතුටින්" පිරී සිටියේයැ යි කිම් සහ ඔහුගේ දියණිය සිතූ බව යි.

ඉතින් කිම් ජොන්-උන්ගේ මේ දියණිය ගැන අපි දන්නේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, KCNA via Reuters

ප්‍රථම සඳහන 2013 දී

කිම් ජොන්-උන් ලොව වඩාත්ම රහසිගත ලෙස ක්‍රියාකරන රාජ්‍යයකට නායකත්වය දෙන බැවින්, ලෝකය ඔහුගේ පුද්ගලික ජීවිතය ගැන දන්නේ ඉතා අල්පයකි.

2012 ජූලි මාසයේ දී උතුරු කොරියාව, කිම්ගේ බිරිඳ රී සොල්-ජු බව තහවුරු කළේ ඇය ඔහු සමග ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් මසකට පසු ය.

එතැන් සිට, ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු සිටින බව දකුණු කොරියානු මාධ්‍ය අනුමාන කළේ ය.

2013 සැප්තැම්බරයේ දී, උතුරු කොරියාවේ "පැසිපන්දු රාජ්‍යතාන්ත්‍රික සංචාරයක" යෙදී සිටි එක්සත් ජනපද විශ්‍රාමික පැසිපන්දු ක්‍රීඩක ඩෙනිස් රොඩ්මන්, "කිම්ට ළදරු දියණියක් සිටියා"යි බ්‍රිතාන්‍ය පුවත්පතක් වන The Guardian වෙත පවසා තිබුණි.

"මම ඔවුන්ගේ දරුවා වන ජු-ඒ වඩාගෙන [කිම් මහතාගේ බිරිඳ] සමග ද කතා කළා. ඔහු හොඳ පියෙක්. ඔහුට ලස්සන පවුලක් ඉන්නවා," රොඩ්මන් පුවත්පතට පැවසීය.

නමුත් එවකට රොඩ්මන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරු කොරියාවෙන් නිල ප්‍රතිචාරයක් හෝ තහවුරු කිරීමක් නිකුත් නොවිණි.

ඡායාරූප මූලාශ්‍රය, KCNA via Reuters

2022 දී ප්‍රථම වරට ප්‍රසිද්ධියේ පෙනී සිටීම

2022 නොවැම්බර් 19 වන දින, KCNA විසින් පළමුවරට පියාගේ සහ දියණියගේ ඡායාරූප කිහිපයක් ප්‍රකාශයට පත්වූ අතර, ඉන් ඇය පිළිබඳව තිබූ දිගුකාලීන කටකතා සනාථ විය.

රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ පියා සහ දියණිය නිලධාරීන් සමග කතා කරමින්, මිසයිල පරීක්ෂා කරමින්, සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් දියත් කරන ආකාරය නරඹමින් සිටි බව යි.

නමුත් එම වාර්තාවේ දැරියගේ නම හෝ වයස පිළිබඳ විස්තරයක් පළ නොවීය.

"බලවත්ම අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය සාර්ථක ලෙස දියත් කරපු එකට වඩා, කිම් ජොන්-උන්ගේ දියණිය පිළිබඳ සිදුකළ හෙළිදරව්වට උතුරු කොරියානු විශ්ලේෂකයින්ගේ අවධානය ලැබිලා තියෙනවා," BBCහි සෝල් වාර්තාකරු ජීන් මැකෙන්සි පැවසීය.

"මෙයින් අදහස් කරන්නේ ඇය කිම් ජොන් උන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාගෙන ඇති බවත්, යම් දිනක උතුරු කොරියාව පාලනය කරනු ඇති බවත් ද?"

ඡායාරූප මූලාශ්‍රය, KCNA via Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් ජොන්-උන් දියණිය සමග අත්වැල් බැඳගෙන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් ඉදිරිපිට දී ඡායාරූප සඳහා පෙනී සිටි අතර, එම ඡායාරූපය නොවැම්බර් 19 වන දා රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන KCNA විසින් සමාජයට නිකුත් කරන ලදී

2022 දී දෙවන වරට ප්‍රසිද්ධියේ පෙනීසිටීම

KCNA විසින් පියාගේ සහ දියණියගේ මුල් ඡායාරූප නිකුත්කර සතියකට පසු එළැඹි ඉරිදා ඔවුන් දෙදෙනාගේ තවත් ඡායාරූප රැසක් ප්‍රකාශයට පත් කරන ලදී.

එම වාරයේ ද ඇගේ වයස හෝ නම සඳහන්කර නොතිබූ නමුත් නායකයාගේ " ආදරණීය" හෝ "වටිනා" දරුවා ලෙස විස්තරකර තිබුණි.

"ඒක හොඳටම කැපී පෙනෙන දෙයක්. බැලස්ටික් මිසයිලක දියත් කරන්න සම්බන්ධ වුණු කාර්මික ශිල්පීන් සහ විද්‍යාඥයින් ඒක සමරද්දී, කිම් ජු ඒ ඇගේ පියා සමග සිටින ඡායාරූපය ඇය මීළඟ අනුප්‍රාප්තිකයා ලෙස ස්ථානගත කිරීමේ ආරම්භය පෙන්නුම් කරනවා," එක්සත් ජනපදයේ NBC ප්‍රවෘත්ති ජාලය, ජාත්‍යන්තර සාමය සඳහා වන කානගී එන්ඩොව්මන්ට් සංවිධානයේ විශේෂඥයෙකු වන අන්කිත් පාන්ඩා උපුටා දක්වමින් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, ඇතැම් විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත්තේ ඇය අනුප්‍රාප්තිකයෙකුදැ යි කීමට මේ වේලාසන වැඩි බව යි.

ඡායාරූප මූලාශ්‍රය, KCNA via Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, KCNA විසින් නොවැම්බර් 19 වන දා නිකුත් කෙරුණු ඡායාරූපවලින් එකක් - කිම් ජොන්-උන් සහ ඔහුගේ දියණිය අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් වෙතින් ඉවතට ඇවිද යමින්

උතුරු කොරියාවේ කාන්තා නායිකාවන් පිළිබඳ පොතක් රචනා කළ දකුණු කොරියානු කතුවරියක වන චුන් සු-ජින්‍ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ, උතුරු කොරියානු ප්‍රභූන් කිම්ගේ දියණිය පාලකයා ලෙස පිළිගනිතැ යි කිසිසේත් අපේක්ෂා කළ නොහැකි බව යි.

"විරුද්ධ ලිංගයේ නායකයෙකු පිළිගන්න එයාලා සූදානම් නැහැ," ඇය පැවසුවා ය. "[කිම්] තමා හුදෙක් මිසයිල විදින ම්ලේච්ඡ ආඥාදායකයෙකු නොව, ආදරණීය පියෙකු බව පෙන්වන සංදර්ශනයක් තමයි මේ පෙන්වන්නේ."

"උතුරු කොරියාවේ නායකයෙකු වෙන්න ස්ත්‍රී-පුරුෂභාවය තවමත් වැදගත්," උතුරු කොරියාවෙන් පලාගොස් සෝල්හි එවාහා ඒකාබද්ධ අධ්‍යයන ආයතනයේ සේවය කරන හ්යුන් ඉන්-ඒ පැවසීය.

කිම්ගේ දියණිය අනුප්‍රාප්තිකයාබවට පත්වුවත් නැතත්, වසර කිහිපයක් තිස්සේ ජාත්‍යන්තර අවධානයට ලක් වූ එක් කාන්තාවක් මේ රෙජීමයේ සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් ජොන්-උන් සහ ඔහුගේ සොහොයුරිය කිම් යෝ-ජොන්

බලවත් නැගණිය: කිම් යෝ-ජොන්

2020 දී කිම් ජොන්-උන්ගේ සෞඛ්‍යය පිළිබඳ කටකතා මතුවූ අවස්ථාවේ ඔහුගේ සහෝදරිය වන කිම් යෝ-ජොං, කිම්ගේ එක් දරුවෙකු ප්‍රමාණවත් වයසට පත්වන තෙක් පවුලේ රාජවංශය භාරගැනීමට හැකි අයෙකු ලෙස දක්නා ලදී.

කිම් යෝ-ජොන් කලක සිට පාලන තන්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ භූමිකාවක් දරයි. සම්බාධක සම්බන්ධයෙන් මෑතක දී ඇය දකුණු කොරියාවට අපහාසාත්මක තර්ජන එල්ලකර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දියණිය සමග

එහෙත් BBC වාර්තාකරු ජීන් මැකෙන්සි පැහැදිලි කරන පරිදි කිම් ජොන්-උන්ගේ දියණිය කරළියට පැමිණීම ලෝකයට තවත් සිතන්නට යමක් උදාකර දී තිබේ.

"ඇයි එයාව දැන්ම පෙන්නුවේ? එයා තාමත් පොඩියි. ඔහු දුවට බලය දෙන්න යනවා නම්, ඒ කියන්නේ අවුරුදු 38ක් වෙන මේ නායකයාට සෞඛ්‍ය ගැටළු තියෙනවා ද? ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බොහෝ කතාබහට මාතෘකාව වෙලා තියෙනවා, මොකද ඒක රෙජීමයේ ස්ථාවරත්වයට විශාල තර්ජනයක් වෙන්න පුළුවන් නිසා."