BBC සියවස් සැමරුම: වසර සියයක අතීතය වෙත නැවත හැරී බැලීමක්

ඡායාරූප ශීර්ෂ වැකිය, BBC සිය ශත සංවත්සරය 2022 දී සමරයි

BBCය අද සිය 100 වැනි උපන්දිනය සමරයි.

මේ වන විට ලෝකයේ විශාලතම විකාශන ආයතනය වන BBCය 1922 වර්ෂයේ ඔක්තෝබර් 18 වන දා එංගලන්තයේ ලන්ඩන්හි දී නිල වශයෙන් පිහිටුවනු ලැබිණි. එතැන් පටන් එය විවිධත්වයෙන් යුත්, ආකර්ෂණීය හා දීර්ඝ ඉතිහාසයක් පසුකර පැමිණ තිබේ.

BBCය සිය ශතසංවත්සරය සමරන මේ අවස්ථාවේ දී, එහි කැපී පෙනෙන අවස්ථාවන් ද, ඉතාම සුවිශේෂී නිර්මාණයන් ද, එමෙන්ම BBC ගොඩනැගූ කීර්තිමත් පුද්ගලයින් ද දෙස ආපසු හැරී බැලීමකි මේ.

1. BBCයේ පළමු ගුවන්විදුලි නාලිකාව

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රථම BBC ගුවන් විදුලි මධ්‍යස්ථානය 2LO ලෙස හැඳින්විණි

බොහෝ ආධුනික ගුවන්විදුලි නාලිකා වැසීයාමෙන් අනතුරුව, BBCය සිය පළමු දෛනික ගුවන්විදුලි සේවාව 1922 නොවැම්බර් 14 වන දා එංගලන්තයේ ලන්ඩන් නුවර දී ආරම්භ කළේ ය.

එහි පළමු වැඩසටහන වූයේ ග්‍රිනිච් මධ්‍යයන වේලාවෙන් පැය 18:00ට ආරම්භ වූත්, ප්‍රවෘත්ති නියෝජිතායතන විසින් සපයන ලද පුවත් වාර්තාකළ ප්‍රවෘත්ති විකාශයකි. අනතුරුව, එක්සත් රාජධානියේ ජාතික කාලගුණ විද්‍යා සේවය විසින් සකස්කෙරුණු කාලගුණ වාර්තාව විකාශය කෙරිණි.

මෙම වාර්තාවන් ඉංග්‍රීසි බසින් කියවන ලද්දේ වැඩසටහන් අධ්‍යක්ෂ ආතර් බරෝස් ය. බරෝස් විසින් බුලටිනය දෙවරක් - වරක් වේගයෙන් සහ පසුව සෙමින් - කියවනු ලැබුණේ සවන්දෙන්නන්ට අවැසි නම් සටහන් තබාගත හැකිවන අයුරිනි.

2. ලෝක සේවයේ ආරම්භය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පස්වන ජෝර්ජ් රජු පළමු රාජකීය නත්තල් පණිවිඩය ලබාදුන්නේ ය

1932 දෙසැම්බර් 19 වන දා, පස්වන ජෝර්ජ් රජු එක්සත් රාජධානියට සහ ලෝකයේ ඇතැම් ප්‍රදේශවලට පළමු රාජකීය නත්තල් පණිවිඩය ලබාදුන්නේ ය.

ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පුරා වෙසෙන ඉංග්‍රීසි කතාකරන්නන් ඉලක්කකරගත්, කෙටි තරංග ඔස්සේ විකාශය කරන ලද පණිවුඩය හරහා රජතුමා මෙම සේවාව "හිමෙන්, කාන්තාර හෝ මුහුදෙන් කපා හරින ලද පිරිමින් සහ කාන්තාවන් වෙත ළඟාවිය හැකිවන්නේ වාතය හරහා යවන හඬකින් පමණක්බැවින්, ඔවුන් සඳහා ය," යනුවෙන් ලක්ෂණෝපේත කළේ ය.

මෙම කථාවෙන් පසු 'BBC අධිරාජ්‍ය සේවාව' (දැන් එය BBC ලෝක සේවය වෙයි) දියත් කරනු ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, BBC ඇෆ්ගන් ජ්‍යෙෂ්ඨ නිවේදිකා සනා සාෆි, තෙවන චාල්ස් රජු සහ කැමිලා රැජින සමග BBC Broadcasting House හි රූපවාහිනී චිත්‍රාගාරයේ දී

BBC ලෝක සේවය දැන් ප්‍රදේශය, භාෂා තේරීම, සහ ප්‍රේක්ෂක ප්‍රවේශය අතින් ගත්කල ලොව විශාලතම බාහිර විකාශකයා වෙයි.

එය අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, රූපවාහිනිය, සහ ගුවන්විදුලිය හරහා ලොව පුරා විවිධ භාෂා 40කට වඩා වැඩි ගණනකින් සිය විකාශයන් සිදුකරයි.

3. BBCයේ සුවිශේෂී මයික්‍රොෆෝනය

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම A වර්ගයේ මයික්‍රොෆෝනය බ්‍රිතාන්‍යයේ ඉතිහාස නාට්‍ය සහ චිත්‍රපට රාශියක බහුලව දක්නට ලැබේ

1930 ගණන්වල දී වාණිජමය වශයෙන් ලබාගත හැකිව තිබූ මයික්‍රොෆෝන මිල අධිකවූ අතර, එනිසා තමාගේම මයික්‍රොෆෝන ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා BBCය මාකෝනි සමාගම සමග කටයුතු කළේ ය.

1934 දී, A වර්ගයේ මයික්‍රොෆෝනය විසින් පුවත් විකාශයේ විප්ලවීය වෙනසක් ඇතිකරනු ලැබුණි.

එය වසර ගණනාවක් තිස්සේ සංවර්ධනයකර දියුණුකරන ලද අතර, මෙය බ්‍රිතාන්‍ය ඉතිහාසමය නාට්‍ය සහ චිත්‍රපටවල බහුලව දක්නට ලැබුණු හෙයින් සම්භාව්‍ය BBC මයික්‍රෆෝනය ලෙස ප්‍රසිද්ධවිය.

4. BBC අරාබි, BBCයේ ප්‍රථම විදේශ භාෂා ගුවන්විදුලි සේවාවබවට පත්වෙයි

ඡායාරූප ශීර්ෂ වැකිය, නිවේදක අහමඩ් කමාල් සුරූර් එෆෙන්දි 1938 දී BBC අරාබි සේවය ආරම්භ වූ විට එහි හඬබවට පත්විය

BBC අරාබි, 1938 දී සංස්ථාවේ ප්‍රථම භාෂා ගුවන්විදුලි සේවාවබවට පත්විය. ඊජිප්තු ගුවන් විදුලියේ නිවේදක අහමඩ් කමාල් සුරූර් එෆෙන්දි එහි හඬ ලෙස බඳවා ගැනිණි.

එෆෙන්දි, අරාබි ලෝකයේ වඩාත්ම ආදර දිනූ ඉදිරිපත් කරන්නෙකු වූ බැවින්, ඔහුගේ පත්වීම හරහා එක රැයකින් සේවාව ජනප්‍රිය විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අද, BBC ලෝක සේවය ලොව පුරා විවිධ භාෂා 40කට වඩා වැඩි ගණනකින් විකාශය කෙරෙයි

ගුවන්විදුලි සේවා ද, පසුව රූපවාහිනී වැඩසටහන් ද ලොව පුරා හඳුන්වාදීමත් සමග, මීළඟ දශක කිහිපය තුළ BBCය වෙත තවත් භාෂා සේවාවන් එක්විය.

'BBC ඔන්ලයින්' බිහිවූයේ ඉන් බොහෝ කලකට පසු, 1997 දී ය. භාෂා සේවාවන් එය අනුගමනය කළේ ය. සමාජ මාධ්‍ය හඳුන්වාදීමත් සමග BBC පුවත් සහ BBC ලෝක සේවයේ භාෂා සන්නාම විවිධ වේදිකා හරහා මතුවිණි.

අද වන විට BBC ලෝක සේවය සිය අවධානය පළමුවෙන්-ඩිජිටල් මාදිලියේ අන්තර්ගතය වෙත යොමුකරමින් සිටියි.

5. BBCයේ පළමු කළු වාර්ගික නිෂ්පාදිකාව

ඡායාරූප ශීර්ෂ වැකිය, ජැමෙයිකාවේ උපන් යූනා මාර්සන් BBCහි ඉතිහාසගත විය

යූනා මාර්සන් BBC ඉතිහාසයේ ප්‍රථම කළු වාර්ගික නිෂ්පාදිකාවබවට පත්වෙමින් ඉතිහාසයට එක්වූවා ය.

ජැමෙයිකාවේ උපත ලැබූ යූනා, 1939 දී BBCයේ සේවයට බැඳෙනවිට ද අත්දැකීම් බහුල මාධ්‍යවේදිනියක විය.

ඈ ලැබූ පළමු කාර්යයභාරයවූයේ ඇලෙක්සැන්ඩ්‍රා පැලස් රූපවාහිනී චිත්‍රාගාරයේ සහායිකා තනතුරකි. නමුත් ඇය 1941 මාර්තු මාසයේ දී "එම්පයර් වැඩසටහන්" දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සහකාරවරියක ලෙස පූර්ණකාලීනව BBCයට සම්බන්ධවූවා ය.

කාව්‍ය කෙරෙහි ඇය දැක්වූ උනන්දුව, 'කෝලිං ද වෙස්ට් ඉන්ඩීස්' මාලාවේ සතිපතා විශේෂාංගයක් ලෙස 'කැරිබියන් වොයිසස්' නිර්මාණය කිරීමට උපකාරීවිය.

6. දෙවන ලෝක යුද්ධයේ අවසානය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1945 මැයි 8 වන දා ලන්ඩනයේ පැවති විජයග්‍රහණයේ දින සැමරුම් උත්සවය අතරතුර සහායක භෞමික සේවයේ (ATS) සාමාජිකයින් ට්‍රැෆල්ගා චතුරශ්‍රය හරහා ධාවනය කරයි

1945 මැයි 1 වන දා BBCය ඇඩොල්ෆ් හිට්ලර්ගේ සියදිවි නසාගැනීම නිවේදනය කළේ ය. එදින පැය 19:00ට ජර්මානුවන් ඉතාලියේ දී යටත්වූ පුවතින් සන්ධ්‍යා වැඩසටහන්වලට බාධා ඇතිවිය. මැයි 4 වන දා ඔවුන් ඩෙන්මාර්කයේ දී යටත්වූ අතර ගැටුම අවසන් විය.

නමුත් දින කීපයක් ගතවනතුරුම කිසිවෙකුටත් මේ පිළිබඳ හරිහැටි විශ්වාසයක් නොවීය. මැයි හත්වන සඳුදා බකිංහැම් මාළිගයෙන් පිටත ජනකායක් රැස්වූ නමුත් වසර පහක් තිස්සේ ජාතිය බලා සිටි පුවත තවමත් පැමිණ තිබුණේ නැත. නාසීන් පරාජය කළබවට රුසියානුවන් සහ ඇමරිකානුවන් තහවුරු කරන තෙක් බ්‍රිතාන්‍යයන් බලා සිටිබව හෙළිවිය.

පැය 18:00 වන විට, අගමැති චර්චිල්ගේ කථාව එදින රාත්‍රියේ දී විකාශනය නොකරන බව BBCය සිය ව්‍යාකූල ශ්‍රාවකයන්ට ප්‍රකාශ කළේ ය - නමුත් පැය 19:40ට, පසුදා 'යුරෝපයේ විජයග්‍රහණයේ පළමු දිනය' වනු ඇතිබව නිවේදනය කිරීම සඳහා වැඩසටහන්වලට බාධා කෙරිණි.

යුරෝපයේ යුද්ධය සහතික ලෙසම අවසන්ව තිබුණි. චර්චිල්ගේ ප්‍රකාශය පසුදා එම්පයර් සේවාවේ විකාශයවූ නමුත් බොහෝදෙනා එයට සවන්දීමට නොහැකි තරමට ප්‍රීතියෙන් කුල්මත්ව සිටියහ. ඔවුහු පිටතට ගොස් ජයග්‍රහණය සැමරීමේ යෙදී සිටියෝ ය.

BBCය දින 10ක් පුරා විශේෂ වැඩසටහන් දියත් කරන ලද අතර, 1937න් පසු ප්‍රථම වතාවට විකාශනාගාරය ධාරා පහන්වලින් ආලෝකමත් කෙරිණි.

7. BBC රූපවාහිනිය ලෝකය එකට සම්බන්ධ කරයි

ඡායාරූප ශීර්ෂ වැකිය, බීට්ල්ස් කණ්ඩායම 1967 දී Our World රූපවාහිනී වැඩසටහනේ දී All You Need Is Love නම් සුප්‍රසිද්ධ ගීතය ගායනා කළේ ය

1967 දී "Our World" රූපවාහිනී වැඩසටහන ඉතිහාසගත විය.

එය විකාශයවීමට පෙර, චන්ද්‍රිකා හරහා රූපවාහිනිය ඇතැම් රටවලට පමණක් සම්බන්ධකර තිබුණේ ද්විපාර්ශ්විකව සහ ප්‍රධාන වශයෙන් පර්යේෂණාත්මක අරමුණු මුල්කරගෙන පමණි. උදාහරණයක් ලෙස, 1936 දී නිතිපතා "අධි විභේදන" රූපවාහිනී සේවාවක් සැපයූ ලොව පළමු විකාශකයා වූයේ BBCය යි.

නමුත් "Our World" වෙනස්වූ අතර, රූපවාහිනිය හරහා සජීවීව, විනෝදාස්වාදාත්මක ආකාරයකින් එක් මහද්වීපයකින් එක් රටක් හෙළිකිරීමට උත්සාහ දැරීය - මෙය චන්ද්‍රිකා මඟින් ප්‍රථම වරට ලොව එකට සම්බන්ධ කළ අවස්ථාව විය.

වැඩසටහන සඳහා බ්‍රිතාන්‍යයේ දායකත්වයේ කොටසක් ලෙස, ද බීට්ල්ස් සංගීත කණ්ඩායම වර්තමානයේ ප්‍රසිද්ධ ගීයක් වන All You Need Is Love ඉදිරිපත් කළේ ය. එම ඉදිරිපත් කිරීමේ 45rpm වයිනයිල් තැටිය පසුව නිකුත් කරන ලද අතර ගීතය ක්ෂණිකව ජනප්‍රියවිය.

එම වැඩසටහන, 1985 දී විකාශය වූ Live Aid ද ඇතුළුව, අනාගතයේ දී ලෝකය එකට සම්බන්ධ කළ කිසිදා අමතක නොවන රූපවාහිනී සිදුවීම්වලට මුල පිරීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1985 වසරේ Live Aid ප්‍රසංගය රටවල් 60ක් පුරා ප්‍රදර්ශනය කෙරුණු අතර ඇස්තමේන්තුගත මිලියන 400ක නරඹන්නන් එය වටා රැස්විය. ජෝර්ජ් මයිකල්, U2, පෝල් මැකාට්නි, සහ ක්වීන් වැනි සංගීතඥයින් එහි ගායනා කළේ ය

ඉතියෝපියාවේ සාගතයට සහනාධාර ලෙස අරමුදල් රැස් කිරීම සඳහා ස්ථාන කීපයක පැවැත්වුණු රොක් සංගීත ප්‍රසංගය බොබ් ගෙල්ඩොෆ් සහ මිජ් ඌරි විසින් සංවිධානය විණි.

BBCය එහි සාර්ථකත්වයේ උපරිමයකට පැමිණ සිටියේ ය. එය එවකට විශාලතම චන්ද්‍රිකා සම්බන්ධක සහ රූපවාහිනී විකාශයන්ගෙන් එකක් වූ අතර, රටවල් 60ක් පුරා ඇස්තමේන්තුගත මිලියන 400ක නරඹන්නෝ සජීවී විකාශය නරඹමින් සිටියහ.

8. විෂ කැවූ අභිරහස් කුඩය

ඡායාරූප මූලාශ්‍රය, International Spy Museum

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙය, BBC ලෝක සේවයේ මාධ්‍යවේදියෙකු ඝාතනය කළ, කුඩයක් ලෙස තැනූ ආයුධයේ අනුරුවකි

ඉහත වස්තුව BBC ලෝක සේවයේ මාධ්‍යවේදී ජෝර්ජි මාකෝෆ් ඝාතනය කළ, කුඩයක් ලෙස නිර්මාණය කර තිබූ ආයුධයක අනුරුවකි.

1978 සැප්තැම්බර් 7 දා මාකෝෆ් ලන්ඩනයේ බුෂ් හවුස්හි BBC කාර්යාලයයේ සේවයට යමින් සිටිය දී, කුඩයක් අතැතිව සිටි අබිරහස් තැනැත්තෙකු විසින් ඔහුගේ කකුලේ පිටුපසට ඉන් ඇන, අනතුරුව පළාගියේ ය.

පසුව මාකෝෆ් බරපතල ලෙස රෝගාතුරව රෝහල්ගත කරන ලද අතර, එහිදී ඔහු කාර්යයමණ්ඩලයට පැවසුවේ බල්ගේරියානු රහස් සේවය සහ සෝවියට් දේශයේ KGBය විසින් තමාට විෂ ශරීරගතකර ඇතැ යි ඒත්තු ගියබව යි.

ඉන් තෙදිනකට පසු, 49-හැවිරිදි මාකෝෆ් මියගියේ බිරිඳක් සහ දෙහැවිරිදි දියණියක තනිකර දමමිනි.

ඝාතනයේ ස්වභාවය සහ බල්ගේරියාවේ කොමියුනිස්ට් පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් ඔහු විවේචනාත්මක ප්‍රකාශයන් හේතුවෙන්, සෝවියට් KGBය හෝ බල්ගේරියානු රහස් ඔත්තු සේවා මෙයට සම්බන්ධබවට බොහෝකලෙක සිට සැකකෙරිණි. එවක රහස් පොලිස් ලිපිගොනුවලින් පසුව හෙළිවූයේ ඔහුගේ මිනීමරුවා "පිකැඩිලි" නම් සංකේත නාමයෙන් හැඳින්වුණු නියෝජිතයෙකුබව යි.

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුත් අධිකරණයකට ඉදිරිපත්කර නොමැත.

9. වසරේ අප්‍රිකානු ක්‍රීඩා පෞරුෂය කුසලානය

ඡායාරූප ශීර්ෂ වැකිය, 'වසරේ අප්‍රිකානු ක්‍රීඩා පෞරුෂය' කුසලානය

මෙම කුසලානය ඉහළම දස්කම් දක්වන අප්‍රිකානු ක්‍රීඩා තරුවට පිරිනමන වාර්ෂික සම්මානය වන අතර, පෙර ජයග්‍රාහකයින් අතර 2018 දී කුසලානය දිනූ ඊජිප්තු ජාතික ප්‍රිමියර් ලීග් ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක මොහොමඩ් සලා වෙයි.

2001 සිට සම්මානය විවෘතව පැවතියේ පාපන්දු ක්‍රීඩකයින්ට පමණි. නමුත් 2021 දී එය 'වසරේ අප්‍රිකානු ක්‍රීඩා පෞරුෂය' ලෙස නැවත දියත් කරනු ලැබුණි. ඒ, ක්‍රීඩා ලෝකයත්, එයට අප්‍රිකාවෙන් දැක්වූ දායකත්වයත් විශාල වශයෙන් වෙනස්වී ඇතැ යි පිළිගැනීමට ය. බොහෝ ක්‍රීඩා සඳහා තරග කරන අප්‍රිකානුවන් සංඛ්‍යාව වෙන කවරදාකටත් වඩා ඉහළගොස් තිබේ.

මෙම කුසලානයට සිත් ඇදගන්නාසුළු පසුබිමක් ද ඇත්තේ ය. ඒ, එහි මුල් මූර්තිය සියරා ලියොන්හි හිටපු ළමා සොල්දාදුවෙකු විසින් නිර්මාණය කරන ලද බැවිනි. කලාව සහ කළා නිර්මාණ සඳහා තමා තුළ දැඩි ආශාවක් ඇතැ යි හඳුනාගැනීමෙන් අනතුරුව ඔහුගේ දිවිය මුළුමනින්ම වෙනස් මඟකට හැරී තිබිණි.

10. ඩේවිඩ් ඇටෙන්බරෝ සහ 'The Green Planet'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විකාශක ඩේවිඩ් ඇටෙන්බරෝ ඔහුගේ BBC වනජීවී වාර්තා චිත්‍රපට සඳහා බොහෝ සම්මාන දිනා ඇත

බ්‍රිතාන්‍ය ජාතික විකාශකයෙකු සහ ස්වභාව විද්‍යාඥයෙකු වන ඇටෙන්බරෝ, දශක අටක් පුරා දිවෙන ඔහුගේ BBC වනජීවී වාර්තා චිත්‍රපට මෙන්ම ඔහුගේ මධුර හඬකැවීම් සඳහා ප්‍රසිද්ධයක් දරයි.

ඔහුගේ සුප්‍රසිද්ධ වැඩසටහන් වන Blue Planet, the Life collection, සහ Natural World මිලියන ගණනක් නරඹා ඇති අතර, එමී සහ බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන ඇතුළු බොහෝ ඇගයීම් දිනාගැනීමට ඔහුට උපකාරවී තිබේ.

ඩේවිඩ් 1960 ගණන්වල දී BBCහි ඉදිරිපත් කිරීම ආරම්භ කළ අතර, ක්‍රමයෙන් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු බවට පත්විය. ඔහු BBC Twoහි පාලකයෙකු සහ BBC රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස සේවය කළේ ය.

දේශගුණික විපර්යාස පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙහිලා ඔහුගේ කාර්යයභාරය, 2021 දී එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් 'පෘථිවියේ ශූරයා' ලෙස ඔහු නම් කිරීමට ද දායකවිය.

ඩේවිඩ්ගේ නවතම BBC five-part මාලාව - ද ග්‍රීන් ප්ලැනට් - ඔහු නිවර්තන කලාපයේ වැසි වනාන්තරවල සිට ශීතලෙන් මිදුණු උතුරේ වනගහණය දක්වා ඔහු හා ගමන්කරන අතර, ශාකයන් බෙහෙවින් වෙනස් සහ ඇතැම්විට ආන්තික පරිසරයන්ට මුහුණදෙන ආකාරය ගවේශනය කරයි.