ඊලොන් මස්ක්: ට්විටර්හි නව හිමිකරු ට්වීට්ස් නිසා අමාරුවේ වැටුණු අවස්ථා 6ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊලොන් මස්ක්ගේ ට්වීට් කවදත් ආන්දෝලනයට තුඩු දී ඇති අතර, දැන් ඔහු ට්විටර් හිමිකරු වේ

ඊලොන් මස්ක් ට්විටරය අත්පත්කර ගැනීමත් සමග, එහි අනාගතයට කුමක් වේදැ යි බොහෝදෙනෙකු කුතුහලයට පත්වූ අතර ඇමරිකානු රජය පවා "විශාල සමාජ මාධ්‍ය සේවා සතු බලය" පිළිබඳ කනස්සල්ල පළකර තිබේ.

ඩොලර් බිලියන 44කට සිදුවූ මෙම අත්පත්කර ගැනීම මතභේදාත්මක වීමට තවත් කාරණයක් වූයේ ඊලොන් මෙතෙක්කල් ට්විටරයේ හැසිරුණු ආකාරය යි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊලොන් මස්ක් ට්විටර් මිළට ගැනීම සඳහා ඩොලර් බිලියන 44ක් ගෙවා ඇත

2009 දී ට්විටරයට එක්වුණු ඔහු තමාවම කරදරයට පත්කරගන්නා ආකාරයේ ට්වීට් දැමූ අතර වරක් නීතිමය ක්‍රියාමාර්ගයන්ට ද හසුවූයේ ය.

මේ, ට්විටර්හි නව හිමිකරු විසින් එසේ තමාම අමාරුවේ දාගත් අවස්ථා කිහිපයකි.

තායිලන්තයේ ගුහාවක සිරවූ දරුවන් බේරාගැනීමේ සිද්ධිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්විටර් හරහා සිදුවූ අපහාසයෙන් අනතුරුව වර්නන් අන්ස්වර්ත් මස්ක්ට එරෙහිව නඩු පැවරූමුත්, ඔහු පරාජයට පත්විය

2019 දී ඊලොන් මස්ක් බ්‍රිතාන්‍ය කිමිදුම්කරුවෙකු වන වර්නන් අන්ස්වර්ත් නමැත්තා "කෞමාර කාමියෙකුයැ"යි හඳුන්වමින් කළ අපකීර්තිය සඳහා නඩු විභාගයකට මුහුණ දුන්නේ ය. ඔහු ඒ දිනවලම එම ට්වීට් එක මකා දැමීය.

එම සිදුවීමට වසරකට පෙර තායිලන්තයේ භූගත ගුහාවක අතරමං වූ නවයොවුන් වියේ පිරිමි ළමුන් 12 දෙනෙකු බේරා ගැනීමේ උත්සාහයන් මෙහෙයවූ අන්ස්වර්ත්, එනිසා ජාත්‍යන්තර කීර්තියට පත්විය.

ඊලොන් මෙම මෙහෙයුමට උපකාර කිරීමට උත්සාහ කළ අතර, ඒ සඳහා කුඩා සබ්මැරීනයක් පරිත්‍යාග කිරීමට ද ඔහුට අවශ්‍ය විය.

නමුත් සිදුවූයේ අනෙකකි. ඊලොන් පුද්ගලික ප්‍රසිද්ධිය තකා මෙම පරිත්‍යාගය සිදුකරන බව පවසමින් අන්ස්වර්ත් එය ප්‍රතික්ෂේප කිරීමත් සමග ඊලොන් ඔහු හා ට්විටර් හරහා බහින්බස් වූයේ ය.

ඊලොන්ගේ ප්‍රකාශයෙන් පසුව අන්ස්වර්ත් ඩොලර් මිලියන 190ක් වන්දි ඉල්ලා අපහාස නඩුවක් පැවරූ නමුත්, ලොස් ඇන්ජලීස් අධිකරණය ඊලොන්ට පක්ෂව තීන්දුව ලබාදුනි.

ඒ අවස්ථාවේ අන්ස්වර්ත්ගේ නීතිඥ ලින් වුඩ් මෙසේ පැවසීය: "මෙම තීන්දුවෙන් පණිවුඩයක් දෙනවා... ඔබට ඕනෑම නපුරු හෝ අසත්‍ය චෝදනාවක් ඕනෑම කෙනෙකුට කළ හැකිබවත්, ඉන් ගැලවීමටත් හැකි බවත් පෙන්නා දෙනවා."

කොවිඩ් සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මස්ක්, කොවිඩ්-19 වසංගතය පිළිබඳව ට්විටර් හරහා මතභේදාත්මක අදහස් පළකළේ ය

2020 මාර්තු මාසයේ දී කොවිඩ්-19 රෝගය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කළ විට, හුදෙකලාකිරීම් වැනි ක්‍රියාමාර්ග විවේචනය කළ ඊලොන් ඒවා "‍මෝඩ" ක්‍රමයැ යි හැඳින්වීය.

එම වසරේ ජුනි 30 වන දින මේ සම්බන්ධයෙන් පළ කරන ලද ඔහුගේ වඩාත්ම කුප්‍රකට ට්වීට් එකක, යමෙකු මියගොස් තිබෙන්නේ කොරෝනා වෛරසයෙන් ද යන්න තීරණය කිරීමේ නිර්ණායක ගැන ඊලොන් ප්‍රශ්නකර සිටියේ ය.

තමා ද එන්නත් ලබා සිටියත්, ඔහු අනිවාර්ය එන්නත්කරණය සඳහා ප්‍රසිද්ධියේ විරුද්ධ වූයේ ය. කැනඩාවේ එන්නත්කරණය අනිවාර්ය කිරීමට එරෙහිව පැවැත්වූ කැනේඩියානු ට්‍රක් රථ රියදුරන්ගේ විරෝධතා අතරතුර ඔහු කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ ඇඩොල්ෆ් හිට්ලර් සමග සැසඳමීම යුදෙව් සංවිධානයන්හි දැඩි කෝපයට ලක්විය.

පුටින් සමග ද්වන්ධ සටනක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජූඩෝ කළු පටියක් දරන ජනාධිපති පුටින්, සටනක් සඳහා මස්ක් කළ අභියෝගයට තවමත් පිළිතුරු දී නැත

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳව ප්‍රසිද්ධ පුද්ගලයන් විවිධ මත පළකළ ද, ඊලොන් මස්ක්ගේ අදහස් වඩාත් "විකාරරූපී" ඒවා අතර ඉහළින්ම පැවැතුනි.

මාර්තු 14 වන දින ඔහු ට්විටර් හරහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ද්වන්ධ සටනකට එන්නැ යි අභියෝග කළේ ය.

"මම මෙයින් ව්ලැදිමීර් පුටින්ට ද්වන්ධ සටනකට ආරාධනා කරමි. [ජයග්‍රාහකයාගේ] ත්‍යාගය වන්නේ යුක්රේනය යි."

පසුව ඔහු රුසියානු ජනාධිපතිවරයාගේ නිල ගිණුම සෘජුව අමතමින් නැවතත් මේ ආරාධනය ඉදිරිපත් කළේ ය. ජූඩෝ කළුපටිධාරී පුටින් තවමත් ඊට පිළිතුරු දී නැත.

ඇමරිකානු ජනපති කෝපාවිෂ්ට කිරීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විදුලි මෝටර් රථ නිෂ්පාදනය පිළිබඳ අදහස් දැක්වීමේ දී බයිඩෙන් ටෙස්ලා නොසලකාහැරීම ගැන මස්ක් පැහැදුණේ නැත

ඊලොන් මස්ක් ඔහුගේ ධනය ඉපැයුවේ, ප්‍රමුඛතම විදුලි මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා ද ඇතුළු ව්‍යාපාර මාලාවක් හරහා ය.

පසුගිය ජනවාරියේ දී, ඇමරිකාවේ විදුලි මෝටර් රථ නිෂ්පාදනය ගැන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක දී ටෙස්ලා හැර එහි තරගකාරී සමාගම් ගැන පමණක් සඳහන් කිරීම නිසා ප්‍රකෝටිපති ඊලොන් කෝපයට පත්වූ බවක් පෙනුණි.

"බයිඩන් කියන්නේ මිනිස් ස්වරූපයෙන් ඉන්න තෙත මේස් රූකඩයක්," ඔහු ජනවාරි 27 වන දින ට්වීට් කළේ ය.

ට්වීට් එකකින් ටෙස්ලා සමාගමට හානි කිරීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ටෙස්ලා ගැන මස්ක් නිකුත්කළ ට්වීට්, එම සමාගමේ වටිනාකම කෙරෙහි බලපෑමක් ඇති කළේ ය

ඊලොන් මස්ක් කිහිප වතාවක්ම ටෙස්ලා සමාගමේ කොටස්හිමියන් සමග ගැටලු ඇතිකර ගැනීමට ඔහුගේ ට්වීට් හේතුවිය. ඔහු ට්විටර්හි පළකර ඇති අදහස් නිසා සමාගමට පාඩු ද සිදුව තිබේ.

පසුගිය නොවැම්බරයේ දී, ටෙස්ලා කොටස්වල වටිනාකම 5%කින් පමණ පහත වැටුණේ, සමාගමේ කොටස් විකුණාදැමිය යුතු ද යන්න පිළිබඳව ඔහු ට්විටර්හි ඡන්ද විමසුමක් පැවැත්වීමත් සමග ය. ඊට ඡන්දය දුන් මිලියන 3.5ක පිරිසකින් 58%ක්ම පැවසුවේ එසේ කළ යුතු බව ය.

2020 මැයි මාසයේ දී, ඊලොන් සමාගමේ කොටස්වල මිල "ඉතා වැඩියැ"යි සිතන බවට ට්වීට් කිරීමෙන් ඊටත් වඩා විනාශයක් සිදුවිය.

මෙම ප්‍රකාශය නිසා ටෙස්ලාහි වෙළඳපළ වටිනාකමෙන් ඩොලර් බිලියන 14ක් අඩුවී ගියේ ය.

මෑතක දී සිදුකළ කොකා කෝලා විහිළුව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1929 දක්වා කොකා කෝලා වට්ටෝරුවේ කොකා කොළ සාරය අඩංගු විය

ඊලොන් මස්ක්ගේ නවතම ට්විටර් මතභේදය ඇතිවූයේ ඔහු ට්විටරය මිලදී ගෙන වැඩි දවසක් යන්නට ද මත්තෙනි.

අප්‍රේල් 28 වන දින ඔහු තමා කොකා-කෝලා සමාගම මිල දී ගැනීමට සැලසුම්කර ඇති බව ද, ඒ, එම පානයේ වට්ටෝරුවට කොකේන් (නම් මත්ද්‍රව්‍යය) එකතු කිරීම සඳහා බව ද විහිළුවට මෙන් නිවේදනය කළේ ය.

1885 දී එක්සත් ජනපද ඖෂධවේදියෙකු වන ජෝන් පෙම්බර්ටන් විසින් නිපදවන ලද කොකා-කෝලා මුල් වට්ටෝරුවේ කොකේන් කොළ සාරය අඩංගු විය. ඒ වන විට කොකේන් නීත්‍යානුකූලව පැවති අතර ඖෂධවල සුලබ අමුද්‍රව්‍යයක් වූ බව ද මත්ද්‍රව්‍ය අනිසි භාවිතාව පිළිබඳ එක්සත් ජනපද ජාතික ආයතනය දක්වයි.

කෙසේ වෙතත්, පසුව එම සාරය පානයට එක්කිරීම නවතා දමන ලද අතර 1929 සිට භාවිතයට නොගැණුනි.

ඊලොන්ගේ මිලියන 87.4ක ට්විටර් ෆලෝවර්ස්ලා ඊට පක්ෂව ප්‍රතිචාර දැක්වූ අතර, තවත් සමහරු මත්ද්‍රව්‍ය පිළිබඳ සඳහනක් ලෙස දක්වමින් එය විවේචනය කළහ.

ඊලොන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ කතාබහකර කරදරයට පත්වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2018 දී ඔහු ජෝ රෝගන් සමග වීඩියෝ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රසිද්ධියේ ගංජා දුම ඉරුවේ ය. මෙම විඩියෝව කැලිෆෝනියාවේ රූගත කෙරුණක් වූ අතර, එම මත්ද්‍රව්‍ය එම ප්‍රාන්තයේ නීත්‍යානුකූල නමුත් විචාරකයින් තර්ක කළේ එය යහපත් ප්‍රතිරූපයක් නොවන බව යි.