"මගේ අම්මගේ මිනීවල මම තනියෙම හෑරුවා"

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය බාල සොයුරා සහ සොයුරිය නිවසේ තනිකර, මව රැගෙන රෝහලක් කරා යාමට සෝනිට සිදු විය
    • Author, දිව්‍යා ආර්යා
    • Role, බීබීසී ලෝක සේවය

අවවාදයයි: මෙම ලිපියේ සිරුරු දැක්වෙන ඡායාරූප සහිතයි.

"කිසිම කෙනෙක් කැමති වුණේ නැහැ දේහයට අත තියන්නවත්." සෝනි කුමාරි ඒ දුක්බර සිදුවීම සිහිපත් කළාය.

"ඒ නිසා මගේම දෑතින් මම මිනීවල හෑරුවේ. මට තනියෙම ඒක කරගන්න සිද්ධ වුණා." සෝනි කුමාරි සිය අත්දැකීම බීබීසීයේ දිව්‍යා ආර්යා ට විස්තර කළේ වීඩියෝ දුරකථන ඇමතුමක් ඔස්සේය.

තමන්ගේ මෑණියන්ගේ දේහය වල දමන මොහොතේ සෝනි ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක් (PPE) හැඳ සිටියාය. ඇය තනිව සිටි ඒ මොහොත ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවට හසු විය.

එදා සිදුවූ සියල්ල මොහොතක් නෑර ඇයට තවමත් හොඳින් මතකය. කොවිඩ් වසංගතයට ගොදුරු වී සෝනිගේ පියා මියගිය වහාම මව ද රෝගාතුර වූවාය. මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා සෝනි වහා ක්‍රියාත්මක වූවාය. සෝනිට ගිලන් රථයක පිහිට ලැබිණ.

සිය බාල සොයුරා සහ සොයුරිය නිවසේ තනිකර, මව රැගෙන රෝහලක් කරා යාමට සෝනිට සිදු විය.

නමුත් මවගේ ජීවිතය බේරා ගැනීමට ඇයට නොහැකි විය. සෝනි ආපසු නිවසට පැමිණියේ මවගේ දේහය ද රැගෙනය.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඈත පිටිසර ගමක ජීවත්වන ඇයට අසල්වාසීන්ගෙන් කිසිදු උපකාරයක් නොලැබෙන බව ඇයට වැටහුණි.

"අපේ ලෝකය කඩා වැටුණා. අපි තනි වුණා. මගේ අම්ම තාත්ත ගමේ අයට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒත් අපිට අවශ්‍ය වෙලාවට කවුරුවත් හිටියෙ නැහැ." සෝනි පැවසුවාය.

කොවිඩ් වසංගතයට බිලි වූ ඉන්දියාවේ මිනිස් ජීවිත ගණන අති විශාලය. එම සංඛ්‍යාව දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි. සෝනි ගේ කතාවට සමාන වූ තවත් කතා බොහොමයක් ඉන්දියාව පුරා පවතී. කොවිඩ් වසංගතය විසින් තනි කරනු ලැබූ දරුවන්ට සිදුවන්නේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Chandan Chowdhary

ඡායාරූප ශීර්ෂ වැකිය, තමන්ගේ මෑණියන්ගේ දේහය වල දමන මොහොතේ සෝනි ආරක්‍ෂිත ඇඳුම් කට්ටලයක් (PPE) හැඳ සිටියාය

සෝනි කුමාරි 18 හැවිරිදි ය. මුහුණු ආවරණයක් පැළඳ සිටි ඇය සන්සුන්ව සිය අත්දැකීම විස්තර කළාය. නොසැලෙන හඬකින් සඟවන්නට උත්සාහ දරන ඇයගේ වේදනාව දෙනෙතින් දිස්විය.

දොළොස් හැවිරිදි සොයුරා සහ 14 හැවිරිදි සොයුරිය, පසුබිමේ වූ දොර කවුළුවෙන් යාන්තමට එබී බලන අයුරු මම දුටිමි.

"තනිවීම තමයි දරා ගන්නම බැරි. ගෙදර කන්න දෙයක් තිබුණේ නැහැ. අම්මගේ අතින් උයපු අන්තිම වේල විතරයි කුස්සියේ තිබුණේ. මුල් දවස් කීපයේ කිසිම කෙනෙක් අපිට කිසි දෙයක් දුන්නේ නැහැ. ඇඟේ වෛරසය නැහැ කියල වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු වෙනකල් අපි තුන්දෙනා හිටියේ තනියෙම." සෝනි පැවසුවාය.

දෙමාපියන් අහිමි වූ දරුවන් මුහුණ දෙන අභියෝගය තවත් අසීරු කරවන්නේ තනිකම සහ මානසික පීඩාව ද ඊට එකතුවන හෙයිනි.

එවැනි දරුවන් වෙනුවෙන් සහන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්දියාවේ ළමා හා කාන්තා කටයුතු භාර ඇමතිනි ස්ම්‍රීතී ඉරානී පවසන්නීය.

ඡායාරූප ශීර්ෂ වැකිය, ගම්වාසීන්ගෙන් වෙන්කොට ළමුන් තිදෙනා හුදෙකලා කොට තැබීම සඳහා සෝනිගේ නිවස ඉදිරිපිට ඉනිවැටක් ඉදිකර තිබුණි

ඇමතිවරිය නිකුත්කළ ට්විටර් පණිවිඩයකින් තහවුරු කර ඇත්තේ මාස දෙකකට වඩා අඩු කාලයක් ඇතුළත පමණක්, මේ ආකාරයට දරුවන් තනිවූ සිදුවීම් 577ක් තමන්ට වාර්තා වී ඇති බවය.

නමුත් මෙවැනි සිදුවීම් සෑම එකක්ම රජයට වාර්තා නොවන හෙයින් තවත් තනිවූ දරුවන් රාශියක් ඉන්දියාව පුරා සිටින බවට තක්සේරු කළ හැකිය.

පෙර නොවූ විරූ තරමින් සමාජ මාධ්‍ය ඔස්සේ උදව් ඉල්ලා සිටින්නන් දැකිය හැකිය.

ඇතැම් විට ළමුන්ට භාරකරුවන් සොයා ඉල්ලීම් කර තිබේ. වට්ස්ඇප් සහ ට්විටර් ඔස්සේ පළවන මෙම ඉල්ලීම්වල අදාළ ළමයාගේ නම සහ වයස ද සඳහන්ව තිබෙන අතර විමසීම් සඳහා දුරකථන අංකයක් පළකර තිබේ.

ට්විටර් ඔස්සේ පළවූ දැන්වීමක මෙසේ ලියා තිබුණි.

"අවරුදු 2ක් වයසැති කුඩා ගැහැණු ළමයෙක්, මාස දෙකක් වයසැති බිලිඳු දරුවෙක් - මව සහ පියා කොවිඩ් වැළඳී මිය ගොස් ඇත. මේ දරුවන්ට යහපත් මවක් සහ පියෙක් සොයා ගැනීමට මෙම පණිවිඩය හැකිතාක් බෙදා හරින්න."

මෙවැනි පණිවිඩයක් මේධා මීනාල් ගේ සහ ඇයගේ මිතුරාගේ (හරී ශංකර්) ඇස ගැටිණ.

ඡායාරූප මූලාශ්‍රය, Medha Meenal

ඡායාරූප ශීර්ෂ වැකිය, මේධා මීනාල් සහ ඇයගේ මිතුරා හරී ශංකර්

"එක්තරා දැන්වීමක් දැකලා මාව තැති ගත්තා. එක දුවෙකුගේ අම්ම තාත්ත දෙන්නම කොවිඩ් හැදිලා මැරිලා. මේ දරුවටත් කොවිඩ් හැදිලා තනියෙම ගෙදර ඉන්නවා. අවට ඉන්න කිසිම කෙනෙක් දන්නේ නැහැ මොනවද කරන්න ඕන කියල. වසංගතය පටන් ගත්ත දවසේ ඉඳල දරුවන් ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ." මේධා පැවසුවාය.

මෙම දරුවා සොයා ගොස් හදාවඩා ගැනීමට, දැන්වීම දුටු විගස මේධාට සිතුණි. නමුත් ඉන්දීය නීතිය අනුව ඊට ඉඩක් නොමැති බව ඇයගේ මිතුරා වන 'හරි' පෙන්වා දුන්නේය.

දරුවෙකු අසරණ වී ඇත්නම් ඉන්දීය නීතියට අනුව මුලින්ම කළ යුත්තේ ඒ දරුවා පිළිබඳව 'Childline' නමැති ජාතික සේවාවට දැනුම් දීමය.

අනතුරුව, එම සේවාව විසින් මෙම දරුවාගේ විස්තර ප්‍රාන්ත සමාජ සේවා බලධාරීන්ට ලබා දෙනු ලැබේ. ඔවුන් විසින් පළමුව කරනු ලබන්නේ එම තොරතුරු තහවුරු කර ගැනීමයි. දරුවා වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කරනු ලබන්නේ එම දරුවා සිටින තත්ත්වය තක්සේරු කර බැලීමෙන් අනතුරුවය. ඊට පසුව සිදු විය යුත්තේ කුමක්ද යන්න තීරණය කරනු ලබන්නේ ළමා සුබසාධන කමිටුව විසිනි.

නමුත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ වුවද දරුවෙකු නීත්‍යානුකූලව භාරකාරත්වයට ගැනීමේ ක්‍රියාවලිය සාධාරණ කාලයක් ඇතුළත නිම කර ගැනීම ඉතා අසීරු කටයුත්තකි.

භාරකරුවකු නොමැතිව අසරණ වූ දරුවන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකිරීමට එරෙහිව අනතුරු අඟවමින් ඉන්දීය රජය පුවත්පත් දැන්වීම් පළ කළේය.

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙමාපියන් අහිමි වූ දරුවන් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරන්නන්ට අනතුරු අඟවමින් ඉන්දීය රජය පළ කළ පුවත්පත් දැන්වීමක්

මෙම දැන්වීම් මගින් ළමා ජාවාරම් වලට දරුවන් ගොදුරු විය හැකි බවට ළමා ආරක්ෂණ සංවිධාන විසින් ද අනතුරු අඟවනු ලැබ තිබුණි.

ධනන්ජේ ටින්ගාල්, ළමා ආරක්ෂණය සඳහා වන Bachpan Bachao Andolan ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයාය. එම ආයතනය මගින්, අනාථ වූ දරුවන් වෙනුවෙන් ළමා නිවාසයක් ද පවත්වාගෙන යනු ලබයි.

"සමාජ මාධ්‍ය ඔස්සේ පළවන මෙවැනි දැන්වීම් නීති විරෝධීයි. ඒවා අර්ථකථනය කෙරෙන්නේ ළමා ජාවාරම් ලෙස. කිසිම කෙනෙකුට බැහැ දරුවෙකුට භාරකාරයෙක් සොයා ගැනීම සඳහා මෙවැනි දැන්වීමක් පළ කරන්න. මෙය අවසානයේ, ළමයෙක් අලෙවි කිරීමක් සහ මිලදී ගැනීමක් බවට පත්වෙන්නට පුළුවන්." ධනන්ජේ ටින්ගාල් පැවසීය.

කොවිඩ් වසංගතය නොමැති කාලයක දී වුවද කම්කරු සේවයට, ලිංගික අපයෝජනයට හෝ බාලවයස්කාර විවාහ සඳහා සිදුවන ළමා ජාවාරම ඉන්දියාවට සංකීර්ණ ප්‍රශ්නයකි.

ඉන්දියාවේ අපරාධ වාර්තා පිළිබඳ ජාතික කාර්යාංශය සඳහන් කරන පරිදි 2019 වසරේදී පමණක් ළමුන් 70,000ක් අතුරුදහන් වී තිබේ; එය වෙනත් ආකාරයකින් කිවහොත්, සෑම මිනිත්තු අටකට වරක් එක් ළමයෙකු අතුරුදහන් වී ඇත.

සමාජ සුබසාධන දෙපාර්තමේන්තු, රාජ්‍ය නොවන සංවිධාන සහ පොලිසිය සම්බන්ධීකරණය කරගනිමින් රජය මේවන විට ළමා ජාවාරම් නතරකිරීම සඳහා පියවර ගෙන තිබේ. ළමා ජාවාරමට එරෙහිව දැඩි නීති සම්මත කිරීම ද ඊට ඇතුළත්ය.

එමගින් ඇතැම් ජාවාරම්කරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට හැකි වූ නමුත් බලය හා ධනය ඉදිරියේ එය සාර්ථක කර ගැනීමට අසීරුවී ඇත. බොහෝ ජාවාරම්කරුවෝ දඩ මුදල ගෙවා ගැලවී යති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සෑම මිනිත්තු අටකට වරක් එක් ළමයෙකු අතුරුදහන් වී ඇත

මෙසේ අසරණවන දරුවන් වෙනුවෙන් කළ හැකි හොඳම දෙය නම් ළමා අයිතීන් වෙනුවෙන් පවතින ආයතන හරහා ඔවුන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීම බව මේධා සහ හරී තීරණය කළහ.

ඔවුහු මුදල් එක්රැස් කිරීමේ අන්තර්ජාල ව්‍යාපෘතියක් ආරම්භ කළහ. එය හැඳින්වෙන්නේ 'ඡායා ව්‍යාපෘතිය' නමිනි. එමගින් මේවන විට රැස්කර ඇති මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් මිලියන දෙකකි. (ඩොලර් 27,000කි.)

"නන්නාඳුනන මිනිසුන් විශාල ප්‍රමාණයක් අපට කරුණාවන්ත වුණා." මේධා මෙසේ පැවසුවේ එවැනි කරුණාවන්ත කාන්තාවක් සිහිපත් කරමිනි.

"එක අම්ම කෙනෙක් අපට විශාල මුදලක් පරිත්‍යාග කළා. ඒ අම්මයි තාත්තයි රෝහල්ගත වෙලා කොවිඩ් මාරයත් එක්ක සටන් කරමින් ඉන්නකොට එයාලගේ පුතා තනියෙම ගෙදර ඉඳල තියෙන්නේ."

දෙමාපියන් අහිමි වූ දරුවන්ට ලැබෙන පළමු විකල්පය ආයතනික සුබසාධනය නොවේ.

දිල්ලියේ ළමා සුබසාධන කමිටුවේ සභාපති වරුන් පතක් කියා සිටියේ මෙම ළමුන්ට ජීවත්වීම සඳහා පවුලක් සපයාදීම ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යය වී ඇති බවය.

දෙමාපියන් අහිමි වූ ළමයෙකුගේ භාරකාරත්වය ඥාතීන්ට පැවරුවහොත් ඉන්පසුව ඒ පිළිබඳව සොයා බලන බවත්, උපදේශන සේවා සහ මූල්‍ය ආධාර සපයන බවත් ඔහු පැවසීය.

කොවිඩ් වසංගතයෙන් දෙමාපියන් අහිමි වූ ළමුන් වෙනුවෙන් බොහෝ ප්‍රාන්ත ආණ්ඩු මේවනවිට විශේෂ මුල්‍ය ප්‍රතිපාදන වෙන්කොට තිබේ.

ඡායාරූප ශීර්ෂ වැකිය, "අම්ම තාත්තගේ අඩුව හැම වෙලාවේම දැනෙනවා. ගෙදර මොන තරම් අඩුපාඩු තිබුණත් ඔවුන් අපිට අඩුවක් කළේ නැහැ." සෝනි අතීතය සිහිපත් කළාය

තම බාල සොයුරා සහ සොයුරිය රැක බලා ගැනීම සඳහා සෝනි කුමාරිට ද මේ වන විට ප්‍රාන්ත ආණ්ඩුවෙන් සහ සමාජ ක්‍රියාධරයන්ගෙන් ආහාර සහ මූල්‍ය සහාය ලැබේ.

ඔවුන්ගේ දිවි ගමනේ යායුතු දුර තව බොහෝය. නමුත් මේවන විට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැත.

"අම්ම තාත්තගේ අඩුව හැම වෙලාවේම දැනෙනවා. අම්මයි තාත්තයි ළඟින් ඉන්න ඉන්නකොට අපේ ජීවිත මීට වඩා ගොඩක් වෙනස්. අපි ගැන ඒ දෙන්න ගොඩක් සිහින මැව්වා. ගෙදර මොන තරම් අඩුපාඩු තිබුණත් ඔවුන් අපිට අඩුවක් කළේ නැහැ." සෝනි අතීතය සිහිපත් කළාය.

සෝනි ගේ මිත්තනිය දින කීපයක් ඔවුන් සමඟ වාසය කළාය. නමුත් තම බාල සොයුරා සහ සොයුරිය රැක බල ගැනීම තමන්ගේ ප්‍රමුඛ වගකීම බව සෝනි දනී.

"අවසානයේ අපිට අපි විතරයි. අපි එකිනෙකා රැකබලා ගන්න වෙනවා." ඇය පැවසුවාය.

තමන්ට ලැබෙන මූල්‍ය ආධාර පවුලේ සියලු දෙනාගේ අනාගතය වෙනුවෙන් නුවණක්කාර ලෙස ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇති බවට සෝනි ශුභවාදීය.

ගමේ වෛද්‍යවරයා වූයේ සෝනිගේ පියාය. තම සොයුරා හෝ සොයුරිය පියාගේ අඩිපාරේ යනු දැකීම සෝනිගේ අපේක්ෂාවයි.