2020 ලෝක මානසික සෞඛ්‍ය දිනය: වැඩපොළේ, ගෙදරදොරේ මානසික පීඩාවෙන් මිදී සිටින හැටි

ඡායාරූප ශීර්ෂ වැකිය, "කායික සහ මානසික විඩාවෙන්" ගැලවී සිටීම සඳහා ඔබට, ඔබගේ ජීවිතයේ සුළු වෙනස්කම් කළ හැක

ඔබ කැළඹිල්ලෙන් ද? විඩාවෙන් ද? ආතතියෙන් ද? නැතිනම් කඩා වැටීමක ද?

අතීතයේ කිසිදාක අපහසුවක් නොමැතිව කළ යම් කාර්යයක්, රාජකාරියක් දැන් දරා ගැනීමට අපහසු කටයුත්තක් සේ දැනෙයිද?

ගෙදරදොරේ "වැඩ කන්දක්", "කොච්චර කළත් කෙළවරක් නැහැ" වැනි හැඟීම් හමුවේ එදිනෙදා වැඩවල නිමක් නොපෙනේ ද?

එසේ නම් "කායික සහ මානසික විඩාවක්" (Emotional burnout) දෙසට ගමන් කරනවා විය හැක.

නමුත් ඒ ගැන බිය විය යුතු නැත. යළි සුපුරුදු ජීවිතයට පිවිසීම සඳහා අවශ්‍ය වටිනා ඉඟි කිහිපයක් නිවේදිකාවක සහ වෛද්‍යවරියක වන රාධා මොද්ගිල් සතුය. "කායික සහ මානසික විඩාව" හඳුනා ගැනීමට අවශ්‍ය උපදෙස් ද ඊට ඇතුළත් වේ. එබැවින් යළි හිටි හැටියේ දරා ගත නොහැකි පීඩාවක් ඇති වීමට පෙර ඔබට ඒ පිළිබඳ කල්තියා දැන ගැනීමට හැකි වනු ඇත.

"කායික සහ මානසික විඩාව" යනු කුමක්ද?

ඡායාරූප ශීර්ෂ වැකිය, නිවේදිකාවක සහ වෛද්‍යවරියක වන රාධා මොද්ගිල්

"කායික සහ මානසික විඩාව" යන යෙදුම පළමු වරට භාවිත වී ඇත්තේ හර්බට් ෆ්‍රෲඩ්න්බර්ගර් විසින් 1974 වසරේ පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවකය.

යමෙකුගේ වෘත්තීය ජීවිතය සමග "තමාගේ හැකියාවන් ඔප්පු කිරීමට බල කිරීමක්" ඇතුළුව අදියර ගණනාවක් හේතුවෙන් ඇති වන තත්ත්වය ඔහු විසින් "කායික සහ මානසික විඩාව" ලෙස හඳුන්වනු ලැබ ඇත.

වෛද්‍ය රාධා මොද්ගිල් පවසන පරිදි වර්තමානයේ කායික සහ මානසික විඩාව ලෙස අප සිතන්නේ "අධික සහ දිගින් දිගටම පවතින ආතතියයි" (Stress). ඒ හමුවේ අපට "ජීවිත අභියෝගවලට මුහුණ දිය නොහැකි හැඟීමක්" දැනෙන බව ඇය පෙන්වා දෙයි.

හර්බට් ෆ්‍රෲඩ්න්බර්ගර්ගේ විග්‍රහයෙන් ඔබ්බට යන වෛද්‍ය මොද්ගිල්ගේ විශ්වාසය වී ඇත්තේ, වෘත්තීය ජීවිතය පමණක් නොව අපගේ ජීවිතවල තවත් බොහෝ පැති මෙවැනි ආතතීන් සඳහා හේතු වන බවය.

එය දැනෙන ආකාරය

ඡායාරූප ශීර්ෂ වැකිය, "කායික සහ මානසික විඩාව" බැස ගිය දුරකතන බටරියකට සමානය - තව දුර යාමට කිසිඳු ශක්තියක් නොමැති ආකාරයේ හැඟීමකි

වෛද්‍ය මොද්ගිල් විසින් "කායික සහ මානසික විඩාව", අපගේ ජංගම දුරකතනයක "බැටරිය බැස යාම" හා සසඳනු ලබයි.

"තවදුරටත් ඉදිරියට යා නොහැකි ලෙස ටැංකියේ තෙල් නොමැතිව, ජීවිතයෙන් හෙම්බත් වී ඇති බවක් දැනෙන්න පුළුවන්," යනුවෙන් ඇය විස්තර කරයි.

ඇතැම්විට, ඔබ සේවා ස්ථානය තුළ දැඩි ආතතියක් සහිත සහ අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දිය හැකි ආකාරයේ පුද්ගලයෙකු වුවත් මේ මොහොතේ දුෂ්කර අඩියක සිටිනවා විය හැක.

එය, ඔබ සතු "මානසික බකට්ටුවක" ඇති තෙල් සිඳී යමින් පවතින බවට සංඥාවක් විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පවසයි.

"ඒ ගැන මෙහෙම හිතන්න. ඔබට ඔබේ රැකියාවට බකට්ටුවකුත්, ගෙදර වැඩවලට තව බකට්ටුවකුත් තිබෙනවා. මේ එක බකට්ටුවක තෙල් ඉවර වෙමින් ගියත්, අනෙක් බකට්ටුවට හොඳින් තෙල් තිබෙනවා නම් බොහෝ විට ඔබට ඒ තත්ත්වයට මුහුණ දෙන්න හැකි වේවි."

"නමුත් මේ බකට්ටු දෙකම හිඳී යමින් ඇති නම්, ඔබට තවත් තෙල් ඉතිරි වී නැති නම්, අන්න එතනදී ගැටලු මතු වෙන්න පුළුවන්,"

ඊට හේතු වන්නේ කුමක්ද?

ඡායාරූප ශීර්ෂ වැකිය, එකම විටකදී සේවා ස්ථානයේ සහ නිවසේ තත්ත්වය අයහපත් නම් "කායික සහ මානසික විඩාවකට" හේතු විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පෙන්වා දෙයි

"ඔබේ ෆෝන් එකේ බැටරිය වගේම, අපේ මේ මානසික බැටරිය ගැනත් සැලකිලිමත් විය යුතුයි" යනුවෙන් ඇය අවධාරණය කරයි. "මම මේක යළි 'චාර්ජ්' කරන්නේ කොහොමද: ඒ ප්‍රශ්නය ඔබ ඔබෙන්ම ඇසිය යුතුයි,"

"ජීවිතයේ සුවිසල් වෙනසක් හෝ සිදුවීමක්", "කායික සහ මානසික විඩාවකට" ආධාර විය හැකි බව වෛද්‍ය මොද්ගිල් පෙන්වා දෙයි.

ආර්ථික අපහසුකම් සම්බන්ධයෙන් ඇති වන බිය සහ මානව සබඳතා සම්බන්ධයෙන් පවතින ගැටලු ඇය ඊට උදාහරණ වශයෙන් ඉදිරිපත් කරයි.

පදිංචිය වෙනස් වීම, රැකියාව අහිමි වීම හෝ විභාග වැනි පීඩනයක් සහිත ආතතීන් ද ඊට ඇතුළත් ය.

එසේ නම් "කායික සහ මානසික විඩාවන්ට" තිත තබා අපට දැරිය නොහැකි මට්ටමකට නොගොස්, ඉන් මිදී සිටින්නේ කෙසේද?

"කායික සහ මානසික විඩාවෙන්" මිදී සිටීමට උපදෙස්...

ඡායාරූප ශීර්ෂ වැකිය, යහළු යෙහෙළියන් මුණ ගැසීම, ව්‍යායාමවල යෙදීම සහ සතුටක් ගෙන දෙන ක්‍රියාකාරකම්වල යෙදීමෙන් අපට සහනයක් ගෙන දිය හැක

වෛද්‍ය මොද්ගිල් පවසන පරිදි:

  • තමා, තමාටම සානුකම්පිත ඇහුම්කන් දෙන්නෙකු වන්න.
  • බාධාවකින් තොරව හොඳින් සිදුවෙන දේ පිළිබඳ අවධානය යොමු කරන්න.
  • තමාට සතුටක් ගෙනෙන මිතුරු මිතුරියන් සමග දොඩමළු වන්න.
  • දිනපතා ව්‍යායාමවල යෙදෙන්න.
  • තමාට සතුටක් ගෙන දෙන කාර්යයන්වල යෙදෙන්න, ඒවාට ප්‍රමුඛත්වයක් ලබා දෙන්න.
  • ඔබ කැමතිම සංගීතයන්ට ඇහුම්කන් දෙන්න.
  • අවශ්‍ය තරමට නින්දක් ලබා ගන්න.
  • යළි සැකසිය නොහැකි මට්ටමට යන තෙක් ප්‍රමාද නොකරන්න. ඉහත කී කරණු දිනපතා පුරුදු පුහුණු කරන්න.

සිය ඉඟි සහ උපදෙස් "කායික සහ මානසික විඩාවන්ගෙන්" ගැලවී සිටීමට උපකාරී වනු ඇති බවට වෛද්‍ය රාධා මොද්ගිල් බලාපොරොත්තු පළ කරයි.

ජංගම දුරකථන බැටරිවලට මෙන් අපගේ "මානසික බටරිවලට" ද දිනපතා ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ නම් සමස්තයක් වශයෙන් අපගේ මානසික සෞඛ්‍ය සහ යහ පැවැත්මේ වර්ධනයක් දැකිය හැකි වනු ඇති බව ඇය විශ්වාස කරයි.

මේ ගැනත් කියවන්න: