තායිලන්තයේ වජිරලොංකොර්න් රජු කිරුළු පළඳියි

ඡායාරූප මූලාශ්‍රය, Royal Household bureau

ඡායාරූප ශීර්ෂ වැකිය, මහා වජිරලොංකොර්න් හට 2016 වසරේදී සිහසුන උරුම විණි

තායිලන්තයේ මහා වජිරලොංකොර්න් රජු, සිය තෙදින මෞලි මන්ගල්ය්‍යෝත්සවයේ පළමු දින වූ අද (මැයි 04) කිරුළු පැළදීය.

දිගු කාලයක් තායිලන්තයේ සිහසුන අරා සිටි පූමිපොන් අදුන්යදේජ් රජුගේ අභාවයෙන් අනතුරුව ඔහුගේ පුතු වන මහා වජිරලොංකොර්න් හට 2016 වසරේදී සිහසුන උරුම විණි.

මීට දින කිහිපයකට ඉහතදී පුදුමය දනවන සුළු නිවේදනයක් නිකුත් කළ තායි රජ මාලිගය දැනුම් දුන්නේ, රජු සිය දිගු කාලීන සහකාරිය විවාහ කරගත් අතර ඇය දැන් සුතිදා රැජින නම් වන බවකි.

තායිලන්තය තුළ ව්‍යවස්ථාපිත කිරීටයක් පැවතිය ද තායි ජනතාව අතර රාජකීය පවුල කෙරෙහි ගෞරවනීය බවක් ඇති අතරම සැලකිය යුතු බලයකින් හෙබි ය.

තායිලන්ත කිරීටය විවේචනය කිරීම තහනම් වූ දැඩි නීති එරට බලපැවැත්වේ. මහජනයාගේ අවධානය හා සුපරීක්ෂණයෙන් රාජකීය පවුල එම නීති මගින් ආරක්ෂා කෙරේ.

අද (මැයි 04) පැවති උත්සවයේදී 66 හැවිරිදි රජු වෙත කි.ග්‍රෑ. 7.3 ක් (රාත්තල් 16) බර විජයග්‍රහණයේ මහා කිරුළ පැවරුණු අතර ඔහු විසින් එය හිස මත රඳවනු ලැබිණි.

සිය පියාණන් මින් වසර 69 ට පෙර පැවති මෞලි මංගල්‍යයේදී කලාක් මෙන්, ධාර්මිකව පාලනය ගෙන යන බවට පොරොන්දු දෙමින් සිය පළමු රාජකීය නිවේදනය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තායි ජනතාව අතර රාජකීය පවුල කෙරෙහි ගෞරවනීය බවක් ඇති අතරම සැලකිය යුතු බලයකින් හෙබි ය

මේ මෞලි මංගල්‍යය යෙදුණේ රට තුළ දේශපාලනික අවිනිශ්චිතතාවක් පවතින වකවානුවක ය. ගෙවුණු මාර්තු මස 24 වෙනිදා මහා මැතිවරණයක් පැවති අතර එවැන්නක් පැවැත්වුණේ 2014 වසරේදී හමුදාව කුමන්ත්‍රණයකින් රටේ පාලනය සියතට ගත් පසු පළමු වරට ය. එහෙත්, මෙතෙක් නව ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කෙරී නැත.

මේ තොරතුරු ද දැනගන්න:

රජු කවරෙක්ද?

වජිරලොංකොර්න් රජු යනු පූමිපොන් අදුන්යදේජ් රජු සහ සිරිකිත් රැජිනගේදෙවෙනි දරුවා මෙන්ම පළමු පුත්‍රයා වේ.

එක්සත් රාජධානියේ හා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලද ඔහු කැන්බරා හි පිහිටි රාජකීය හමුදා විද්‍යාලයේ පුහුණුව ලැබුවෙකි. පසුව තායි හමුදාවල නිලධාරියෙකු බවට පත් වූ අතර සුදුසුකම් ලත් සිවිල් හා ප්‍රහාරක ගුවන් නියමුවකු ද වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වජිරලොංකොර්න් රජුගේ පියා ලොව වැඩිම කලක් සිහසුන දැරූ රජු ලෙස සැලකේ

ඔහු ඔටුන්න හිමි කුමරු මෙන්ම සිහසුනේ නිල හිමිකරු බවට පත් වුයේ 1972 වසරේදීය. ඒ අනුව දැන් ඔහු දසවෙනි රාමා නොඑසේනම් චක්‍රී රජ පෙළපතේ දසවෙනි රජු වේ.

අගමෙහෙය බවට පත් සුතිදා රැජින, ඔහුගේ සිව්වෙනි බිරිඳ වන අතර සිය පෞද්ගලික ආරක්ෂක ඒකකයේ නියෝජ්‍ය අණදෙන්නා ද වේ.

මෞලි මංගල්‍යයේ තතු

ශ්වේත වර්ණ ලෝගුවකින් සැරසුණු වජිරලොංකොර්න් රජු රට වටා ස්ථාන සියයකට වැඩි ගණනකින් එකතු කරගත් ශුද්ධ වූ ජලයෙන් පවිත්‍ර වීම හා ගැල්වීමේ යෙදෙද්දී උදෑසන 10:09 (ග්‍රිනිච් වේලාවෙන් 03:09) ට යෙදුනු සුබ මොහොතිට මෞලි මංගල්‍යයේ චාරිත්‍ර ඇරඹිණි.

විජයග්‍රහණයේ මහා කිරුළ ද ඇතුළුව රාජ්‍යත්වය ප්‍රකට කරන රාජ භාණ්ඩ පහක් ඔහු වෙත පිරි නැමේ.

ඡායාරූප ශීර්ෂ වැකිය, විජයග්‍රහණයේ මහා කිරුළ ද ඇතුළුව රාජ්‍යත්වය ප්‍රකට කරන රාජ භාණ්ඩ පහ

මෞලි මංගල්‍යය සඳුදා තෙක් පැවැත්වේ.

2016 වසරේ සිට වජිරලොංකොර්න් සිහසුනේ සිටියත්, තායි සම්ප්‍රදාය අනුව අභිෂේක කෙරෙන තෙක් මහිතලය මත නියෝජිතයා හෝ බුදු දහමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නොසැලකේ.

තායි ජනතාව මේ අවස්ථාව සමරන්නේ කෙසේද?

ජනතාවට මේ අවස්ථාව සැමරීමට ඉඩ සලසමින් වජිරලොංකොර්න් රජු ඉරු දින (මැයි 05) බැංකොක් අගනුවර වටා යන පෙරහරකට එක්වනු ඇත.

ඒ අවස්ථාවට මෙන්ම සඳුදා (මැයි 06) මාලිගයේ සඳළුතලයක සිට ඔහු ජනතාව අභිමුව පෙනී සිටින අවස්ථාවට විශාල පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, TheRoyalHouseholdbureau

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය දා රජු සිය දිගු කාලීන සහකාරිය විවාහ කරගත් අතර ඇය දැන් සුතිදා රැජින නම් වේ

සිය කාලයෙන් වැඩි ප්‍රමාණයක් විදේශගතව හිඳින වජිරලොංකොර්න් රජු ඔහුගේ පියා තරමට ජනතාව නොහඳුනයි.

නමුත්, ඔහුගේ රුව රැගත් දැවැන්ත පුවරු බොහෝ ගොඩනැගිලිවල පෙනෙන්නට ඇති අතර සැමරුම්වලට සති කිහිපයකට පෙර සිට ම එවැනි පුවරු ප්‍රදර්ශනය කරන ලෙස රජයේ කාර්යාලවලට අනිවාර්ය කර තිබිණි.

රජු හා බැඳුණු කහ පැහැයෙන් යුතු වස්ත්‍ර ඇඟලන ලෙස සිවිල් සේවකයින් හට දැනුම් දීම් කර තිබේ. කිරීටයට ඇති සිය පක්ෂපාතීත්වය පෙන්වීම සඳහා බොහෝ සාමාන්‍ය තායි වැසියන් ද කහ පැහැයෙන් සැරසෙනු ඇත.