කාශ්මීර ප්‍රහාරය: "පාකිස්තානය ජාත්‍යන්තරයෙන් හුදෙකලා කිරීමට ඉන්දියාව කටයුතු කරනවා"

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් හඬා වැලපෙමින්

ඉන්දීය පාලිත කාශ්මීරයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 46 දෙනෙකු මිය යාමේ සිද්ධියත් සමග "පාකිස්තානය සම්පූර්ණයෙන් තනි කිරීමට" ක්‍රියා කරන බව ඉන්දියාව ප්‍රකාශ කරයි.

"පාකිස්තානය ජාත්‍යන්තරයෙන් හුදෙකලා කිරීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගත හැකි සියලු පියවර අනුගමනය කරනවා" යැයි ඉන්දියාවේ ෆෙඩරල් අමාත්‍ය අරුන් ජයිට්ලෙයි සඳහන් කළේය.

පාකිස්තානය මෙම ප්‍රහාර එල්ල කරන සංවිධානාත්මක කණ්ඩායම්වලට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට අපොහොසත් වී ඇතැයි ඉන්දියාව චෝදනා කරයි.

දශක ගණනාවකට පසු කාශ්මීරයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය ලෙස සැලකේ.

මුස්ලිම් බහුතරයක් වෙසෙන කාශ්මීරයට ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද හිමිකම් කියන නමුත් දෙරටම පාලනය කරන්නේ ඉන් එක් කොටසක් පමණය.

ඉන්දියාව පාකිස්තානයට 'දඬුවම් ' කරන්නේ කෙසේ ද?

මෙම ප්‍රහාරයට ජයිශ්-ඊ-මොහොමඩ් (Jaish-e-Mohammad) ලෙස හැඳින්වෙන කණ්ඩායම වගකිව යුතු බවට ඉන්දියාව චෝදනා කරයි.

ඉන්දියාව කියා සිටින්නේ, බොහෝ කලක් සංවිධානගත වෙමින් සිටි ඔවුන් මර්දනය කිරීමට පාකිස්තානය අපොහොසත් වී ඇති බවයි.

ජයිශ්-ඊ-මොහොමඩ් සංවිධානයට එරෙහිව සම්බාධක පමුණුවන ලෙස ඉන්දියාව ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටී.

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY

ඡායාරූප ශීර්ෂ වැකිය, ජයිශ්-ඊ-මොහොමඩ් සංවිධානයේ නායකයා වන මසූද් අෂර් ත්‍රස්‌තවාදියෙකු ලෙස නම් කළ යුතු බව ඉන්දියාව පවසයි

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ජයිශ්-ඊ-මොහොමඩ් සංවිධානයේ නායකයා වන මසූද් අෂර් ත්‍රස්‌තවාදියෙකු ලෙස නම් කරනු ලැබිය යුතු යැයි ඉන්දියාව පවසයි.

මේ සඳහා පසුගිය කාලය තුළ ඉන්දියාව ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ වූයේ පාකිස්තානයට හිතවත් චීනයෙන් එල්ල වූ බාධා හේතුවෙනි. චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකි.

සිකුරාදා (පෙබරවාරි 15) පැවති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් අමාත්‍ය අරුන් ජයිට්ලෙයි පාකිස්තානයට වරද එල්ල කිරීමේ ඉන්දියාවේ දැඩි ස්ථාවරය පිළිබඳ හෙළි කළේය.

පාකිස්තානය සමග පවතින වෙළෙඳ ගිවිසුම් පවා අහෝසි කළ හැකි බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

මරාගෙන මැරෙන ප්‍රහාර පිළිබඳ සිය දැඩි අවධානය යොමුව ඇති අතර, එහි වගකීම ගැන ඉන්දියාව නගන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව පාකිස්තානය පවසයි.

මේ තොරතුරුද කියවන්න:

මෙම ප්‍රහාරය සිදු වූයේ කෙසේ ද?

ශ්‍රීනගර් අගනුවරට ආසන්නයේ දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති ශ්‍රීනගර් - ජම්මු අධිවේගී මාර්ගයේ ආරක්ෂක හමුදාව ගමන් කරමින් තිබූ වාහන පෙළක් අසලට පුපුරන ද්‍රව්‍ය පුරවා ගත් මෝටර් රථයක් ධාවනය කිරීමෙන් බෝම්බකරු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව බොහෝ රටවල් ගණනක් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ

"යුද හමුදා වාහන පෙළපසු කළ මෝටර් රථයක් බස් රියක වැදුණා" යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු බීබීසී උර්දු සේවයට පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව බොහෝ රටවල් ගණනක් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දැක තිබේ.

මෙම ගැටුමේ පසුබිම කුමක් ද?

1989 සිට මේ දක්වා කාශ්මීරය තුළ මරාගෙන මැරෙන ප්‍රහාර දහයක් පමණ සිදුව ඇති අතර, මෝටර් රථයක් භාවිත කළ දෙවන අවස්ථාව මෙයයි.

2002 දී ජම්මු නගරය ආසන්නයේ හමුදා මූලස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 31 දෙනෙකු මියගිය අතර එය බ්‍රහස්පතින්දා (පෙබරවාරි 14) සිදු වූ ප්‍රහාරයට පෙර ඉන්දියානු ආරක්ෂක හමුදා වෙත එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකේ. මෙහි දී මියගිය පිරිස අතරින් බොහෝ දෙනෙකු සාමාන්‍යය වැසියන් සහ හමුදා භටයින්ගේ ඥාතීන්ය.

2016 දී ඌරි ප්‍රදේශයේ පිහිටි හමුදා මූලස්ථානයකට කඩා වැදුණු පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් ආරක්ෂක හමුදාවේ 19 දෙනෙක් මිය ගියහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය පාලිත කාශ්මීරයේ ජම්මු නගර මායිමේ සිටින ආරක්ෂක හමුදා

ඉන්දියාව මෙම ප්‍රහාරය ගැන පාකිස්තානයට චෝදනා එල්ල කළ ද ඔවුහු එය ප්‍රතික්ෂේප කරති.

2016 වර්ෂයේ දී ඉන්දියානු ආරක්ෂක අංශ ජනප්‍රිය සටන්කාමියෙකු වන විසි දෙහැවිදිරි බුර්හාන් වානි ඝාතනය කිරීමත් සමග කාශ්මීරයේ ගැටුම්වල නැවත වැඩි වීමක් දක්නට ලැබේ.

2018 වර්ෂයේ දී ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් මියගොස් තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය තුන් වතාවක් යුද වැදී ඇති නමුත් 1947 බ්‍රිතාන්‍ය යටත්විජිතයෙන් නිදහස ලැබූ පසු එම ගැටුම් සීමා වී තිබේ. කෙසේනමුත්, කාශ්මීරය සම්බන්ධයෙන් දෙරට අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වෙමින් තිබේ.

තවත් තොරතුරු: