ඉන්දියාව: ඉතිහාසයේ පළමු වරට කාන්තාවෝ කෝවිලක් වෙත ඇතුළු වෙති

ඡායාරූප ශීර්ෂ වැකිය, කෝවිල වෙත ඇතුළු වූ බින්දු අම්මිනි
කියවීමේ කාලය: මිනිත්තු 2

ඉතිහාසයේ පළමු වරට මැදිවියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ප්‍රමුඛ හින්දු කෝවිලකට ඇතුළු වූහ.

සබරිමාලා කෝවිල වෙත ඇතුළුවීම සඳහා කාන්තාවන්ට අවසර ලබාදීමට එරෙහිව මාස ගණනාවක් විරෝධතා පැවැත්විණ.

වයස අවුරුදු 10 සිට 50 දක්වා "ඔසප් සීමාවේ" පසුවන කාන්තාවන්ට සබරිමාලා කෝවිලට ඇතුළු වීම තහනම් කර තිබිණි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තහනම ඉවත් කරනු ලැබූ නමුත් කෝවිල වෙත ඇතුළුවීම වළකාලමින් විරෝධතාකරුවන් කාන්තාවන්ට පහර දී තිබිණි.

ඒ බාධක නොතකමින් හතළිස් දෙහැවිරිදි බින්දු අම්මිනි සහ හතළිස් හතර හැවිරිදි කනකා දුර්ගා බදාදා (ජනවාරි 02) අලුයම කෝවිලට ඇතුළු වූහ.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

"අපි උදේ පාන්දර ඇතුළු වුනා. මිනිත්තු කිහිපයකට ප්‍රතිමාව දැක ගන්න හැකි වුනා," බින්දු අම්මිනි බීබීසී වෙත කියා සිටියාය.

කෝවිල 'කෙලෙසීම'

ඉහත කී කාන්තාවන් දෙදෙනා පසුගිය දෙසැම්බර් 24 වෙනිදා ද කෝවිලට ඇතුළුවීමට උත්සහ කළ නමුත් විරෝධතාකරුවන් හමුවේ පසුබැසීමට ඔවුන්ට සිදුවිය.

කාන්තාවන් කෝවිල "කෙලෙසා" ඇති බව කී කෝවිලේ බලධාරියෙක් "පවිත්‍ර කිරීමේ පිළිවෙත්" සිදු කිරීම සඳහා පූජ්‍ය ස්ථානය පැයකට වසා තැබුණු බව සඳහන් කළේය.

ඉන් අනතුරුව පූජ්‍ය ස්ථානය යළි විවෘත කර ඇති බව කෝවිලේ ජ්‍යෙෂ්ඨ බලධාරියෙක් බීබීසී වෙත කියා සිටියේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් පෙළ ගැසුණු ඉන්දීය කාන්තාවෝ

කේරල ප්‍රාන්තයේ මහ ඇමති ප්‍රියානි විජයන් වාර්තාකරුවන් වෙත අදහස් දක්වමින් කියා සිටියේ කාන්තාවන් කෝවිල වෙත ඇතුළුවීම ඓතිහාසික අවස්ථාවක් බවය.

කෝවිල වෙත ඇතුළුවීමට කාන්තාවන්ට අවසර ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට මහ ඇමති ඇතුළු ආණ්ඩුව සහය පළ කරයි.

කාන්තාවන් දෙදෙනා ඇතුළුවීමෙන් පසු කෝවිල වසා දැමීමට එහි බලධාරීන් ගත් තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව "උල්ලංඝනය" කර ඇති බව මහ ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

ආර්තවය සිදු නොවන කාලයේ කෝවිල තුළට ඇතුළුවීමට ඉන්දියාවේ බොහෝ හින්දු කෝවිල් කාන්තාවන්ට ඉඩ ලබා දෙයි.

නමුත් අසාමාන්‍ය ලෙස සබ්රිමාලා ඇතුළු කෝවිල් කිහිපයක් පුළුල් වයස් සීමා දක්වමින් කාන්තාවන්ට ඒ වෙත ඇතුළුවීමට ඉඩ ලබා නොදේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කෝවිල වෙත කාන්තාවන් ඇතුළුවීමට විරෝධය පළ කළ පිරිසෙන් වැඩි දෙනෙකු ද කාන්තාවන්ය

කඳු මුදුනක පිහිටා ඇති වසර 800ක් පමණ පැරණි සබ්රිමාලා කෝවිල වන්දනාමාන කිරීම සඳහා සෑම වසරකම පිරිමි බැතිමතුන් මිලියන ගණනක් පැමිණෙති.

"ශුද්ධ පියගැටපෙළ" දහඅටක් නැගීම කෝවිලට ඇතුළු වීම සඳහා ඇති එක් මගකි.

පියගැටපෙළ නැගීම ශුද්ධ කටයුත්තක් බවත් වන්දනා ගමනට පෙර, දින 41ක් උපවාසයක යෙදීමෙන් තොරව එය සිදු කළ නොහී බවත් සබ්රිමලා කෝවිලේ වෙබ් අඩවියේ සඳහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සබ්රිමාලා කෝවිල වන්දනාමාන කිරීම සඳහා සෑම වසරකම පිරිමි බැතිමතුන් මිලියන ගණනක් පැමිණෙති

වන්දනාකරුවන්ගෙන් පිරී ඉතිරී තිබූ බැවින් සහ ඔවුන් තමන්ට පහර දෙනු ඇතැයි බියෙන් පියගැටපෙළ භාවිත නොකළ බව බින්දු අම්මිනි පැවසුවාය.

සබ්රිමාලා කෝවිල විවෘතව තැබෙන්නේ වසරේ කෙටි කාලයකට පමණි.

2018 වසරේ ඔක්තෝබර් 17 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දීමත් සමග ආරම්භ වූ විරෝධතා සමග මේ දක්වා ඒ වෙත ඇතුළුවීමට කාන්තාවන්ට හැකියාව නොලැබිණි. ඒ සඳහා උත්සාහ කළ කිහිප දෙනෙකුටම ඉන් පසුබෑමට බල කෙරිණි.