ලොව ප්‍රථම වරට 3D මුද්‍රිත නිවසක දිවි ගෙවීම ඇරඹු ප්‍රංශයේ පවුලක්

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම නිවස මුද්‍රණය කිරීමට පැය 54ක් ගත වී තිබේ

ලෝකයේ ප්‍රථම වරට ත්‍රිමාණ මුද්‍රිත නිවසක ජීවත් වීම ආරම්භ කිරීමට ප්‍රංශයේ වෙසෙන පවුලකට අවස්ථාව සැලසී තිබේ.

අනාගතයේදී දැවැන්ත ගොඩනැඟිලි ව්‍යාපෘති කඩිනමින් සහ ලාභදායී ලෙස නිමකර ගැනීම සඳහා නිදන කාමර හතරකින් සමන්විත මෙම ත්‍රිමාණ මුද්‍රිත නිවස මූලාකෘතියක් ලෙස භාවිත කෙරෙනු ඇත.

මෙය ගොඩනැගිලි කර්මාන්තයේ නව ඇරඹුමක් විය හැකිද?

ආර්ද්‍රතාව අවම කිරීම සඳහා වක්වූ හැඩයේ බිත්ති සහ ආබාධිත පුද්ගලයන්ගේ පහසුව සඳහා ස්වයංක්‍රීය ඩිජිටල් උපාංගවලින් යුතු මෙම නිවස ගෘහ නිර්මාණ ශිල්පීන්ට අනුව මිලෙන් අධික නිර්මාණයක් වනු ඇත.

නමුත් මෙය මුද්‍රණය කිරීමට ගතවන්නේ පැය 54ක් පමණි. ඉන්පසු ජනේල, දොරවල් සහ වහලය වැනි දේ සවි කරමින් එය ගොඩ නැගීමට තවත් මාස හතරක කාලයක් ගත වේ. මේ සඳහා පවුම් 176,000 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් ) පමණ වැය වන අතර, එය සම්ප්‍රදායික ක්‍රම භාවිත කෙරෙන ඉදිකිරීම්වලට වඩා 20% කින් ලාභදායී වේ.

මෙම ත්‍රිමාණ මුද්‍රිත නිවස හා සමාන තවත් නිවසක් පැය 33ක කාලයක් ඇතුළත නිම කළ හැකි බව නිර්මාණ කණ්ඩායම විශ්වාස කරති.

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම නිවස කාමර හතරකින් සහ විශාල විසින්ත කාමරයකින් යුක්තය
ඡායාරූප ශීර්ෂ වැකිය, පොළොවේ සිට ඉහළට පිළිවෙලින් තට්ටු වශයෙන් මුද්‍රණය කිරීම ආරම්භ කරයි

ප්‍රංශයේ Nantes නගර මධ්‍යයේ තනා ඇති මෙම නිවස වර්ග අඩි 1022ක විශාලත්වයකින් යුක්තය. කාමර හතරකින් සමන්විත මෙම නිවසේ පස් දෙනෙකුගෙන් යුත් පවුලකට ජීවත් විය හැකිය. Nantes නගර සභාව, නිවාස සංගමය සහ Nantes විශ්ව විද්‍යාලයේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

ඉදිරියේදී මෙම ක්‍රමය උපයෝගී කරගෙන මූලිකව නිවාස සෑදිය හැකිද යන්න පිළිබඳ අවධානය යොමු කිරීම ව්‍යාපෘතියේ පරමාර්ථය වී ඇති අතර ක්‍රීඩාගාර වැනි පොදු ගොඩනැගිලි සෑදීම සඳහා එහි මුලධර්ම උපයෝගී කරගත හැකිදැයි විමසන බව තාක්ෂණය සහ නව නිර්මාණ පිළිබඳ Nantes නගර සභා ප්‍රධානී ෆ්‍රෑන්කි ට්‍රිචෙට් පැවසීය.

කෙසේවෙතත්, මෙම ක්‍රියාවලිය ඉදිකිරීම් කර්මාන්තයට බාධා පමුණුවනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, සෑම බිත්තියක්ම පරිවාරක පොලියුරතේන් (polyurethane) ස්ථර දෙකකින් යුක්ත වන අතර, අතරමැදි ඉඩ සිමෙන්ති වලින් පුරවනු ලැබේ.

"වසර 2000කින් පමණ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු වෙලා නැහැ. අපිට අවශ්‍ය මේ සම්ප්‍රදායික ඉදිකිරීම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අතුගා දැමීමයි."

"එක තමයි මම කියන්නේ අපි කතාව ආරම්භ කළා කියලා. අපි තවම එහි මුල් පේළිය ලියා අවසන් කළා විතරයි" යැයි ඔහු පැවසුවේය.

ඡායාරූප ශීර්ෂ වැකිය, Nouria සහ Nordine Ramdani සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා මෙම නිවසේ ජීවත් වීම ඇරඹීමට වාසනාවන්තයෝ වූහ

නගරය උතුරු ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවස තැනීම සඳහා වැය වූ මුදලින් කොටසක් නගර සභා අරමුදලෙන් ලබා දී තිබේ.

නූරියා සහ නූර්දීන් රම්දානි සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා මෙම නිවසේ ජීවත් වීම ඇරඹීමට වාසනාවන්තයෝ වූහ.

"මෙම ව්‍යාපෘතියේ කොටසක් වීමට ලැබීම විශාල ගෞරවයක්" යැයි නූර්දීන් පැවසීය.

" 1960 ගණන්වල ඉදන් අපි ජීවත් වුණේ නගර සභා ගොඩනැගිල්ලක. ඒක නිසා මෙය ඉතා විශාල වෙනසක්"

"ගෙවත්තක් සහිත වෙනම පිහිටා තිබෙන නිවසක ජීවත් වීමට ලැබීම ඇත්තෙන්ම සතුටට කාරණයක්" යැයි ඔහු තවදුරටත් පැවසුවේය.

ත්‍රිමාණ මුද්‍රිත නිවසක් සාදන්නේ කෙසේද?

ගෘහ නිර්මාණ ශිල්පීන් සහ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මැදිරියක් තුළ මෙම නිවස නිර්මාණය කරනු ලැබීමෙන් පසු ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකට දත්ත සහ ක්‍රියාවලිය ඇතුළත් කෙරිණි.

ඉන්පසු, මුද්‍රණ යන්ත්‍රය නිවස තැනීමට වෙන් වූ ඉඩමට රැගෙන එන ලදී.

පොළොවේ සිට ඉහළට පිළිවෙලින් තට්ටු වශයෙන් මුද්‍රණය කිරීම ආරම්භ කරයි. සෑම බිත්තියක්ම පරිවාරක පොලියුරතේන් (polyurethane) ස්ථර දෙකකින් යුක්ත වන අතර, අතරමැදි ඉඩ සිමෙන්ති වලින් පුරවනු ලැබේ.

මෙම ක්‍රියාවලියෙන් ඉතා ඝන, පරිවරණය කළ, කල් පවතින බිත්ති නිර්මාණය කරයි.

ජනෙල්, දොරවල් සහ වහලය සවි කළ පසු නිවස සම්පූර්ණ වේ.

මේ තොරතුරුද දැනගන්න:

ත්‍රිමාණ මුද්‍රිත නිවසක් පිළිබඳ අදහස ප්‍රථමයෙන් එළි දැක්වූයේ Nantes විශ්වවිද්‍යාලයේ මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ Benoit Fouretය.

වසර පහක කාලයක් ඇතුළත මෙවැනි ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමට දැනට වැයවන මුදල 25% කින් අඩුකිරීමටත්, වසර 10 සිට 15 දක්වා කාලයක් ඇතුළත 40% කින් අඩු කිරීමටත් හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කරයි. මෙයට හේතු ලෙස ඔහු දක්වන්නේ තාක්ෂණය වැඩි වශයෙන් භාවිතා කරන විට එය මිලෙන් අඩු වීම සහ නිවාස වැඩි වශයෙන් ඉදිකිරීමෙන් ආර්ථිකයට ඇතිවන බලපෑමය.

ඡායාරූප ශීර්ෂ වැකිය, 3D මුද්‍රිත නිවසේ විසින්ත කාමරය

නිවාස මුද්‍රණය කිරීම තුළින් විවිධ හැඩයේ ගෙවල් සැකසිය හැකි නිසා ගෘහ නිර්මාණ ශිල්පීන්ට වඩාත් නිර්මාණශීලී වීමට අවස්ථාව සැලසේ.

උදාහරණයක් ලෙස, වසර සියයක් පැරණි ගස් කීපයක් වට කර නන්ටැට්ස් හි නිවස ඉදිකර ඇත.

වක්‍ර හැඩයේ නිවසක වායු සංසරණය වැඩි වන අතර, එය වාතයේ ආර්ද්‍රතාව අවම කොට තාප ප්‍රතිරෝධයක් ලෙස ක්‍රියා කරයි.

නන්ට්ස් හි නිවාස රෝද පුටු භාවිතා කරන ආබාධිත පුද්ගලයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයෙන් සකසා ඇති අතර, නිවසේ සෑම කාර්යක්ම ස්මාර්ට් දුරකථනයකින් පාලනය කළ හැකිය.

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම නිවසේ කාමර හතරක් තිබේ

සාම්ප්‍රදායක ඉදිකිරීම්වලදී මෙන් මෙම ක්‍රමය යටතේ අපද්‍රවය ඉවත ලෑමක් සිදු නොවන නිසා ත්‍රිමාණ මුද්‍රිත නිවාස වඩාත් පරිසර හිතකාමී වේ.

Benoit Fouretගේ මීළඟ සිහිනය මෙවැනි ගොඩනැඟිලි සමූහයක් නිර්මාණය කිරීමයි.

ඔහු දැනට පැරිසියේ උතුරු ප්‍රදේශයේ නිවාස දහඅටක් සහ විශාල වාණිජ ගොඩනැගිල්ලක් මුද්‍රණය කිරීමේ ව්‍යාපෘති දෙකක කටයුතු කරමින් සිටී.

ඡායාරූප ශීර්ෂ වැකිය, ත්‍රිමාන මුද්‍රිත නිවසක් පිළිබඳ අදහස ප්‍රථමයෙන් එළි දැක්වූයේ Nantes විශ්වවිද්‍යාලයේ මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ Benoit Fouretය

"පුද්ගලයන්ට නිවාස ලබා දීම මට ඉතා සංවේදී කාරණයක්"

"මම ඉපදුණේ කම්කරු පන්තියේ නගරයක"

"මම ජීවත් වුණේ ඉතා කුඩා නිවසක. මගේ දෙමාපියන්, දැන් ඒ අය හුඟක් වයසයි, නමුත් තවමත් ජීවත් වන්නේ එම නිවසේමයි"

"මගේ නිවස පිහිටලා තිබුණ වීදියේ කුඩා නිවාස පේළියක් තිබුණා. ඒ සියල්ල එකකට එකක් සමානයි"

"නමුත් මෙතැනදී මට අවශ්‍ය වන්නේ වඩාත් නිර්මාණශීලී ආකෘති යටතේ නිවාස ඉදිකිරීමයි" යනුවෙන් ඔහු පැවසුවේය.

තවත් තොරතුරු: