මැලේසියාව: හිටපු අගමැති සතුවූ අබරණ, මුදල් හා භාණ්ඩ වටිනාකම 'ඩොලර් මිලියන 273ක්'

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම භාණ්ඩ අතර ආභරණ 12,000ක් තිබූ අතර, ඩොලර් මිලියන 1.6 ක රන් මාලය ඒ අතුරෙන් වඩාත්ම මිල අධික භාණ්ඩයයි

මැලේසියානු හිටපු අගමැති නජිබ් රසාක් (Najib Razak) සහ ඔහුගේ බිරිඳ රොස්මා මැන්සෝ (Rosmah Mansor) සතුව තිබූ ඩොලර් මිලියන 273ක් පමණ වටිනා ආභරණ, අත්බෑග් සහ මුදල් පොලිසිය භාරයට ගෙන තිබේ.

රාජ්‍ය ආයෝජන අරමුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිට එරෙහිව පැවැත්වෙන දූෂණ විමර්ශන සඳහා මෙම භාණ්ඩ රැගෙන ගොස් ඇත. ඒ අතර ඩොලර් මිලියන 1.6ක රන් සහ දියමන්ති මාලයක්, කුඩා ඔටුනු 14ක් සහ හර්මීස් (Hermes) වර්ගයේ අත්බෑග් 272 තිබී ඇත.

නජිබ් රසාක් විසින් පිහිටුවන ලද අරමුදලට ලැබුණු ඩොලර් බිලියන ගණනක් ගිණුම්වලට ඇතුළත් කර නොමැත.

මැයි මාසයේ දී පැවැත්වූ මැතිවරණයෙන් පරාජය වීමෙන් පසුව ඔහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලදී.

මැලේසියානු ඉතිහාසය තුළ අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමක් ඇති භාණ්ඩ තොගය මෙය වන බව පොලිසිය පවසයි.

මෙම භාණ්ඩ අතර ආභරණ 12,000ක් තිබූ අතර, ඩොලර් මිලියන 1.6 ක රන් මාලය ඒ අතුරෙන් වඩාත්ම මිල අධික භාණ්ඩය ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර, අත්බෑග් 567 ක්ද අත් ඔරලෝසු 423 ක්ද අව් කණ්ණාඩි 234 ක් සහ ඩොලර් මිලියන 30ක මුදලක් තිබූ බව පොලිසිය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිස් අපරාධ අංශයේ ප්‍රධානී අමාර් සිං

"අපිට භාණ්ඩ තිබූ ස්ථානයේ තියා ගණනය කිරීම කළ නොහැකි වුණා. ඒ තරමට ඒවායේ වටිනාකම වැඩියි" යැයි පොලිස් අපරාධ අංශයේ ප්‍රධානී අමාර් සිං ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

එම භාණ්ඩ ගණන් කිරීමට මෙන්ම ඒවායේ අගය ගණනය කිරීමට නිල වශයෙන් සති පහක් ගත වූ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මේ තොරතුරුද කියවන්න:

හිටපු අගමැති බිරිඳ රොස්මා සුපිරි සාප්පු සවාරි සහ ප්‍රසිද්ධ වෙළෙඳනාම යටතේ ඇති භාණ්ඩ පරිහරණය කිරීම සම්බන්ධයෙන් මහත් ප්‍රසිද්ධියට පත්ව සිටියාය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රොස්මා මැන්සෝ ඉතා වටිනා භාණ්ඩවලට ඇළුම්කරන බව රහසක් නොවේ

බොහෝ දෙනෙකු රොස්මා මැන්සෝව, පාවහන් හා සුඛෝපභෝගී භාණ්ඩ කෙරෙහි දැක්වූ ඇල්ම හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි පිලිපීනයේ හිටපු ජනාධිපති බිරිඳ ඉමෙල්ඩා මාකෝස්ට සමාන කර තිබේ.

නජිබ් රසාක්ට එරෙහිව නැගුණු දූෂණ චෝදනා ඔහුගේ මැතිවරණ පරාජයට ප්‍රධානතම හේතුවක් විය.

රාජ්‍ය ආයෝජන අරමුදලෙන් ඩොලර් මිලියන 700ක මුදලක් වංචා කර ඇති බවට නජිබ් රසාක්ට චෝදනා එල්ල වී ඇතත්, ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටී.

දූෂණ විමර්ශන අංශය විසින් නජිබ් රසාක් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කරන අතර, ඔවුන්ට රටින් පිටවීම තහනම් කර තිබේ.

තවත් තොරතුරු: