සිංගප්පූරුවේ ඓතිහාසික හමුවට සූදානම් වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන්

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය, ඓතිහාසික සමුළුව පැවැත්වීම සඳහා සිංගප්පූරුවට පැමිණි ඇමරිකානු ජනාධිපති සහ උතුරු කොරියානු නායකයා
කියවීමේ කාලය: මිනිත්තු 4

ලෝකයෙන් හුදෙකලා කරන ලද රටක්ව තිබූ උතුරු කොරියාව එක්සත් ජනපදය සමග "නව සම්බන්ධතා" ගොඩනැගීමට ඉඩ ඇති බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මෙම මාධ්‍ය වාර්තාව පළ වී ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වීමට නියමිත ඓතිහාසික සාකච්ඡාවට දිනකට පෙරය.

මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මෙම හමුවීම ගැන තමාට "යහපත් හැඟීමක්" තිබෙන බවය.

දෙරට අතර පැවැත්වෙන පළමු සමුළුවට සහභාගි වීම සඳහා කිම් ජොන් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා (ජූනි 10) සිංගප්පූරුවට ලඟා වූහ.

ඡායාරූප මූලාශ්‍රය, REUTERS/CAPELLA SINGAPORE

ඡායාරූප ශීර්ෂ වැකිය, සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා (Sentosa) දිවයිනේ පිහිටි හෝටලයකදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය

සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා (Sentosa) දිවයිනේ පිහිටි හෝටලයකදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

හෙක්ටෙයාර 500 ක් පමණ විශාල සෙන්ටෝසා, සිංගප්පූරුව නිර්මාණය වී ඇති දූපත් 63 කින් එකකි. සුඛෝපභෝගී හෝටල්, පෞද්ගලික වරාය සහ ගොල්ෆ් පිටිවලින් සමන්විත සෙන්ටෝසා ප්‍රධාන දූපතට ආසන්නව පිහිටා තිබේ.

එසේම, මුහුදු මංකොල්ලකරුවන් මෙන්ම ලේ වැගිරීම් හා යුද පිළිබඳ අඳුරු අතීතයක් ද එම දූපත හා බැඳී පවතී.

මෙම ඓතිහාසික හමුව අඟහරුවාදා (ජුනි 12) වෙනිදා පැවැත්වීමට නියමිත නමුත් මේ දක්වා වැඩිදුර තොරතුරු හෙළි කර නොමැත.

ආසියානු රටක් සමග පැවැත්වෙන මෙම සමුළුව ගැන සඳුදා (ජූනි 11) ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ තමන් "ඉතා උද්දාමයට" පත් වී සිටින බවය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

මේ තොරතුරුද කියවන්න:

උතුරු කොරියාව පවසන්නේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, KCNA

ඡායාරූප ශීර්ෂ වැකිය, "නව යුගයේ වෙනස් වන ඉල්ලීම් සපුරාලීම සඳහා අප නව සම්බන්ධතාවක් ගොඩනඟනවා"

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සාමාන්‍යයෙන් සිය නායකයාගේ ක්‍රියාකාරකම් සැබෑ වේලාවට වාර්තා කරන්නේ නැත. මේ හේතුවෙන් ඔවුන් ඇමරිකාව සමග පැවැත්වෙන සමුළුව ගැන වැඩි තොරතුරු මෙතෙක් හෙළි කර නොමැත.

'රොඩොන්ග් සින්මුන්' (Rodong Sinmun) පුවත් පතෙහි කතුවැකියෙන් තහවුරු කර තිබූ පරිදි කිම් ජොන් අන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ඇති අතර, "නව යුගයේ වෙනස් වන ඉල්ලීම් සපුරාලීම සඳහා අප නව සම්බන්ධතාවක් ගොඩනඟන බව" එහි තවදුරටත් සඳහන් විය.

දැන් කුමක් සිදුවන්නේ ද?

මෙම සමුළුව සඳහා ඇති සූදානම පෙර නොවූ විරූ ලෙස ඉතා කලබලකාරී සහ අසාමාන්‍ය ස්වරූපයක් ගත්තේය. සාමාන්‍යයෙන් මෙවැනි සමුළුවකට පෙර මාස ගණනාවක් පුරා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට කටයුතු කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, SONG BYEOK

සමුළුවට අදාළ න්‍යාය පත්‍රයේ තොරතුරු සුළු වශයෙන් නිකුත් කර ඇති අතර සාකච්ඡා පැවැත්වෙන අතරතුර අනෙක් කරුණු හෙළි කෙරෙනු ඇත.

දෙරටේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයන් සඳුදා සිංගප්පූරුවේ දී රැස්වී සිය නායකයින් වෙත ඉදිරිපත් කිරීම සඳහා ගිවිසුමක් කෙටුම්පත් කිරීමට උත්සාහ කරන බව දකුණු කොරියානු යෝනාප් (Yonhap) ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී.

එක්සත් ජනපද ජනාධිපති හා උතුරු කොරියානු නායකයා එකිනෙකට ආසන්නයේ පිහිටි හෝටල් දෙකක නවාතැන් ගෙන සිටින අතර, සිංගප්පූරු ප්‍රධාන භූමියේ සිට මීටර් සිය ගණනක දුරින් පිහිටි ජනප්‍රිය සංචාරක දිවයිනක් වන සෙන්ටෝසාහි හෝටලයක දී හෙට දින හමුවීමට නියමිතය.

තවත් තොරතුරු:

පසුගිය මාස දහඅටක් පුරා දෙරටේ නායකයින් අතර අසාමාන්‍ය සබඳතාවක් පැවතුනි. විටෙක මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කළ ඔවුන් තවත් විටෙක එකිනෙකා ඉතා දැඩිව විවේචනය කිරීමට පෙළඹිණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 2017 සැප්තැම්බර් මාසයේ දී උතුරු කොරියාව සිය හයවෙනි න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කරන ලදී

ජාත්‍යන්තරයෙන් නැඟුණ විරෝධය නොතකා බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම හේතුවෙන් උතුරේ කොරියානු නායකයා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඔහු ජනාධිපති පදවියට පත් වී පළමු වසර තුළ දැඩි වාග් ප්‍රහාර හුවමාරු විය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්බාධක දැඩි කිරීමට ද කටයුතු කළේය.

උතුරු කොරියාවෙන් ඇමරිකාවට දිගින් දිගටම තර්ජන එල්ල වුවහොත් "ගින්නක් සමග ඇතිවෙන වියරුවක්" දැකිය හැකි බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු විය. එයට පිළිතුරු ලබා දෙමින් කිම් ජොන් අන් පැවසුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප් "මානසික අවපීඩනයෙන් පසුවන" අතර "සිහිය මඳ මහල්ලෙකු" යනුවෙනි.

2017 සැප්තැම්බර් මාසයේ දී උතුරු කොරියාව සිය හයවෙනි න්‍යෂ්ටික අත්හදා බැලීම සිදු කරන ලදී. ඉක්බිති එක්සත් ජනපදය කරා ළඟා විය හැකි මිසයිල තමන් සතු බැවින් සිය රට න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයක් බවට පත්ව ඇතැයි කිම් ජොන් අන් ප්‍රකාශ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියාවේ පැවැත්වුන ශීත ඍතුවේ ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියාව මෙන්ම ඇමරිකානු ජනාධිපති දියණිය ඉවන්කා ට්‍රම්ප් ද සහභාගී විය

2018 ආරම්භයේදී දෙරට අතර සම්බන්ධතාවයේ කැපී පෙනෙන වෙනසක් සිදු විය. විශේෂයෙන්ම දකුණු කොරියාවේ පැවැත්වුන ශීත ඍතුවේ ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියාවේ සහභාගිත්වය කැපී පෙනිණ.

පසුගිය මාර්තු මාසයේ ලෝක ප්‍රජාව පුදුමයට පත් කරමින් උතුරු කොරියානු නායකයා දෙරට අතර හමුවීමට කළ ආරාධනය පිළිගැනීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය මාර්තු මාසයේදී ලෝක ප්‍රජාව පුදුමයට පත් කරමින් උතුරු කොරියානු නායකයා දෙරට අතර හමුවීමට කළ ආරාධනය පිළිගැනීමට ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේය

දෙපාර්ශවයටම අවශ්‍ය වන්නේ කුමක්ද?

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි ඉවත් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධානතම මාතෘකාව වනු ඇත.

උතුරු කොරියාව න්‍යෂ්ටික ආයුධ අත්හැරීම ඇමරිකාවේ ඉල්ලීම වුවද, මෙම යෝජනාවට බොහෝ විට උතුරු කොරියාව විරුද්ධ වනු ඇතැයි බලාපොරොත්තු වේ.

මේ අතර, උතුරු කොරියාව ඇමරිකාවෙන් ඉල්ලා සිටින්නේ කුමක්දැයි තවමත් පැහැදිලි නැත.

හෙට දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවල දී උතුරු කොරියානු ආර්ථිකය ගොඩනැඟීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති අතර, දැනට පනවා ඇති සම්බාධක ලිහිල් කරමින් ජාත්‍යන්තර ආයෝජන ලබා ගැනීමට අවශ්‍ය බව කිම් ජොන් අන් පවසා තිබේ.

නමුත් ඔහු මේ වෙනුවෙන් ලබා දීමට සැරසෙන සහන පිළිබඳ සහ ඔහුගේ පොරොන්දු ඉටු කිරීමට බලාපොරොත්තු වන්නේ දැයි මෙතෙක් ප්‍රකාශ කර නැත.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම හමුව විස්තර කර ඇත්තේ "තත්වය දැනගැනීමට" පැවැත්වෙන්නක් ලෙසය

කෙසේවෙතත්, සිංගප්පූරුවේ දී සිදුවන සාකච්ඡාවල දී අවසන් ගිවිසුමකට එළැඹීමට එක්සත් ජනපදය බලාපොරොත්තු නොවේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම හමුව විස්තර කර ඇත්තේ "තත්වය දැනගැනීමට" පැවැත්වෙන්නක් ලෙසය.

මෙය "ක්‍රියාවලියක් වනු ඇති" බව ඔහු වැඩිදුරටත් පැවසීය.