ට්‍රම්ප්-කිම් හමුව: ඇමරිකාව සහ උතුරු කොරියාව සූදානම් වෙති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 2

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නායක කිම් ජොන්ග් අන් අතර යෝජිත සාකච්ඡාව සඳහා සූදානම් වනුවස් ඇමරිකානු කණ්ඩායමක් උතුරු කොරියානු බලධාරීන් සමග සාකච්ඡා පවත්වමින් සිටිති.

සාකච්ඡා පැවැත්වෙන කොරියානු රටවල් දෙක අතර පිහිටි යුද මුක්ත කලාපයට අයත් පැන්මුන්ජොම් ගම්මානය තුළදීම නායකයන් දෙපලගේ හමුවීම සිදුවනු ඇති බවට අලුතින් ඉඟි පළවේ.

ජුනි මස සිංගප්පූරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබූ සාකච්ඡාව ජනාධිපති ට්‍රම්ප් විසින් බ්‍රහස්පතින්දා අවලංගු කරනු ලැබුවේ උතුරු කොරියාව "එදිරිවාදී" බවක් ප්‍රදර්ශනය කරන්නේ යයි චෝදනා කරමිනි.

කෙසේ නමුත් සාකච්ඡාව යථාර්තයක් බවට පත් කිරීම සඳහා දෙපාර්ශවයම කටයුතු කරමින් සිටියහ.

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් අතර සෙනසුරාදා අනපේක්ෂිත හමුවක් සිදුවිය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නායක කිම් ජොන්ග් අන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉ

"කොරියානු අර්ධද්වීපය සම්පුර්ණයෙන් න්‍යෂ්ටික අවිවලින් තොර කිරීම සඳහා වන කැපවීම" උතුරු කොරියානු නායකයා එහිදී යළි අවධාරණය කළ බව ජනාධිපති මූන් පැවසීය.

සාකච්ඡාව සිදුවිය යුතු බවට වන සිය "ස්ථීරසාර කැමැත්ත" පිළිබඳ නායක කිම් පසුව අදහස් පළ කර තිබිණි.

උතුරු කොරියාවට කිසියම් දිනක මහා ආර්ථිකයක් සහිත රටක් බවට පත්වීමේ හැකියාව පවතින බව සඳහන් කරමින් ජනාධිපති ට්‍රම්ප් ඉරිදා (මැයි 27) ට්විටර් පණිවුඩයක් නිකුත් කළේය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

නවතම සාකච්ඡාවල අරමුණ කුමක්ද?

දකුණු කොරියාවේ හිටපු තානාපතිවරයෙකු වන සුන්ග් කිම් සාකච්ඡාව මෙහෙයවන බව වාර්තාවේ.

ට්‍රම්ප්-කිම් හමුව සඳහා න්‍යාය පත්‍රයක් සැකසීම සාකච්ඡාවල අරමුණය.

සැලසුම් කළ පරිදි සාකච්ඡාව සිදුවනු ඇති බවට බලධාරීන් සුබවාදීව පසුවන අතර ඉතා සීග්‍රයෙන් සබඳතා වෙනස් විය හැකි බව මෑත සති කීපයේදී දැකගත හැකි වූ බව වොෂිංටනයේ සිටින බීබීසී වාර්තාකරු ක්‍රිස් බට්ලර් පැවසීය.

සාකච්ඡාවට ප්‍රථම විසඳා ගතයුතු දේ මොනවාද?

බොහෝ කරනු සම්බන්ධයෙන් එකඟතාවන්ට පැමිණිය යුතු අතර එකඟතාවයකට පැමිණිය නොහැකි බව තමන්ට වැටහෙන්නේ නම් සාකච්ඡාවට නොයන බව ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි ලෙස ප්‍රදර්ශනය කර ඇත.

න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් අත්හැර දැමීම සම්බන්ධයෙන් නායක කිම් එකඟතාවකට පැමිණෙයි ද නැද්ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත. අතීතයේදී ලබා දුන් ඒහා සමාන පොරොන්දු ඒ ආකාරයෙන් පැවතී නොමැත.

පළමුව න්‍යෂ්ටික අවි අත්හැර දැමීම ඇමරිකාවේ අවශ්‍යතාව වී ඇති බව පවසන විශ්ලේෂකයෝ ඊට ඇගයීමක් වශයෙන් උතුරු කොරියාව මත පනවා ඇති සම්බාධක සහ ආර්ථික ආධාර කප්පාදු ඉවත් කරනු ඇති බවට මත පළ කරති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ධවල මන්දිරයේදී

ප්‍රධාන වශයෙන් සම්බාධක ඉවත් කිරීමත් දකුණු කොරියාවේ යොදවා ඇති ඇමරිකානු හමුදා අවම කිරීමත් ඇතුළුව එකඟතාවන් දෙසට පියවරෙන් පියවර ළඟා විය යුතු බව නායක කිම් අඟවා ඇත.

එවැනි පිවිසීමක් සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් තීන්දුවකට පැමිණ නොමැත.

2006 වසරේ සිට උතුරු කොරියාව ජාත්‍යන්තර සම්බාධක සම්බන්ධයෙන් විෂය වී ඇති අතර එහි අපනයන වැඩි ප්‍රමාණයක් කප්පාදුවට ලක්වී ඇත. එමෙන්ම ඛනිජ තෙල් ආනයනය සම්බන්ධයෙන් සීමා පනවා තිබේ.

රාජ්‍යයක් වශයෙන් සිය පැවැත්මට කිසිදුනක බාධා එල්ල නොවනු ඇති බවට ද උතුරු කොරියාවට සහතිකයක් අවශ්‍ය වී ඇත.