ඩයනා සහ ඩොඩීගේ පිළිරුව හැරඩ්ස් වෙළඳ මන්දිරයෙන් ඉවතට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හැරඩ්ස් වෙළඳසැලේ පැරණි හිමිකරු වන මොහොමඩ් අල් ෆයිඩ් විසින් ප්‍රතිමාව නිරාවරණය කරනු ලැබුවේ 2005 වසරේදීය

ලන්ඩනයේ සුඛෝපභෝගී 'හැරඩ්ස්' වෙළඳ මන්දිරයේ තබා ඇති ඩයනා කුමරිය සහ ඩොඩී අල් ෆයිඩ්ගේ රුව සහිත ලෝකඩ ප්‍රතිමාව ඉන් ඉවත් කිරීමට නියමිතය.

ඩයනා-ඩොඩී ලෝකඩ ප්‍රතිමාව 'හැරඩ්ස්' වෙළඳසැලේ පැරණි හිමිකරු වන මොහොමඩ් අල් ෆයිඩ් වෙත භාර දීමට නියමිතව ඇත.

1997 වසරේ අගෝස්තු 31 වෙනිදා ඩයනා කුමරිය සහ ඇයගේ සමීප මිතුරෙකු වූ ඩොඩී අල් ෆයිඩ් පැරිසියේ දී මාරක රිය අනතුරකින් මරණයට පත්විය.

ඉන් අනතුරුව ඔවුන් දෙපලගේ රුව සහිත ලෝකඩ ප්‍රතිමාව නිර්මාණය කර ඇත්තේ ඩොඩී අල් ෆයිඩ්ගේ පියා, මොහොමඩ් අල් ෆයිඩ්ගේ උපදෙස් පරිදිය.

ඉහත කී ප්‍රතිමාව අල් ෆයිඩ් පවුල වෙත යළි ලබා දීමට කාලය එළඹ ඇති බව 'හැරඩ්ස්' සමාගම පැවසීය.

මොහොමඩ් අල් ෆයිඩ් විසින් කටාර් රාජකීය පවුල වෙත 'හැරඩ්ස්' වෙළඳ මන්දිරය පවුම් බිලියන 1.5 මුදලකට අලෙවි කරනු ලැබුවේ 2010 වසරේදීය.

'අවිහිංසක ගොදුරු' නමින් හැඳින්වුණු ප්‍රතිමාව 2005 වසරේ දී මහජන ප්‍රදර්ශනය සඳහා තැබුණු අතර ඩයනා කුමරිය සහ ඩොඩී අල් ෆයිඩ් පරෙවියෙකුගේ සෙවනේ හිඳ නර්තනයේ යෙදෙන අයුරු එහි දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හැරඩ්ස් වෙළඳ මන්දිරය තුළ ඇති ඩයනා කුමරිය සහ ඩොඩී අල් ෆයිඩ්ගේ ඡායාරූප

සිය මෑණියන් අනුස්මරණය කිරීම සඳහා කෙන්සින්ටන් මාලිගයේ මහජනතාවට විවෘත කොටස තුළ පිළිරුවක් ස්ථාපනය කිරීම සඳහා වන නව සැලසුමක් පිළිබඳ ඩයනා කුමරියගේ පුතුන් වන විලියම් කුමරු සහ හැරී කුමරු පසුගිය වසරේ දී නිවේදනය කළහ.

ඩයනා කුමරිය මෙලොවින් සමුගෙන වසර 20 ගතව ඇති අතර මොහොමඩ් අල් ෆයිඩ්ගේ මතය වූයේ එය හදිසි අනතුරක් නොවන බවය.

ඩයනා-ඩොඩී ප්‍රතිමාව මේ දක්වා සුරැකිව තබා ගැනීම පිළිබඳ අල් ෆයිඩ් පවුල ටයිම්ස් පුවත්පත වෙත නිවේදනයක් නිකුත් කරමින් කටාර් දේපළ සමාගමට ස්තූතිය පළ කර තිබේ.

"දසලක්ෂ සංඛ්‍යාත මිනිසුන්හට මේ විශිෂ්ට පුද්ගලයන් දෙදෙනාට ගෞරව දැක්වීමට සහ අනුස්මරණය කිරීමට මෙමගින් අවස්ථාව ලැබුණා"

"දැන් ඔවුන් නිවහන වෙත රැගෙන ඒමට කාලයයි" යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සබැඳි යොමු: