"සමාජ මාධ්‍ය අවභාවිතය මගින් වැරදි තොරතුරු සමාජගත කෙරෙනවා" - ඔබාමා

ඡායාරූප ශීර්ෂ වැකිය, හැරී කුමරු 'ටුඩේ' (Today) බීබීසී ගුවන් විදුලි වැඩ සටහන සමඟ

බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්නා වන හැරී කුමරු බීබීසී ගුවන් විදුලි වැඩ සටහනක් ඉදිරිපත් කිරීමට දායක විය.

හැරී කුමරුන්ගේ සංස්කරණ සහයෝගය ලද්දේ බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ 'රේඩියෝ - 4' චැනලයේ 'ටුඩේ' (Today) වැඩසටහනයි.

ඔහු ඊට දායක වුණේ 'ටුඩේ' (Today) වැඩ සටහනේ ආරාධිත සංස්කාරකවරයා හැටියටය.

යුද හමුදාව, මානසික සෞඛ්‍යය, තරුණයන් අපරාධවලට යොමුවීම සහ දේශගුණ විපර්යාසයන් වැනි මාතෘකා එම වැඩ සටහන තුළ සාකච්ඡාවට ගනු ලැබුණි.

හැරී කුමරු 'ටුඩේ' (Today) වැඩ සටහන සඳහා ඔහුගේ පියා වන චාර්ල්ස් කුමරුන් සහ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමාත් සහභාගී කර ගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/jeff overs

ඡායාරූප ශීර්ෂ වැකිය, හැරී කුමරු වැඩ සටහන ඉදිරිපත් කරන ජස්ටින් වෙබ් සහ සාරා මොන්ටේගු සමඟ

කුමරා විසින් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දුන් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා, වගකීම් විරහිතව සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරනු ලැබීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කරයි.

සමාජ මාධ්‍ය අවභාවිතය මගින් වැරදි තොරතුරු සමාජගත කෙරෙන අතර සමාජ සාරධර්ම විනාශ කෙරෙන බව හිටපු ජනාධිපති ඔබාමා පෙන්වා දුන්නේය.

ජනාධිපති බරක් ඔබාමා ගේ අනුප්‍රාප්තිකයා වන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද 'ට්විටර්' පණිවුඩ කීපයක්ම පසුගිය අවධියේ සමාජ ආන්දෝලනයට ලක් විය.

ඡායාරූප ශීර්ෂ වැකිය, හැරී කුමරු ජනාධිපති ඔබාමා සමඟ සාමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව සාකච්ඡා කරයි

එහෙත් ජනාධිපති බරක් ඔබාමා ඉහත කී සාකච්ඡාවේ දී කිසිදු විටක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නමින් සඳහන් කළේ නැත.

මහජනයා ඉලක්ක කර ගනිමින් පණිවුඩ නිකුත් කිරීමේ දී සමාජ නායකත්වයේ සිටින්නන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කළේය.

"සමාජ නායකත්වයේ ඉන්න අපි සියලු දෙනාට අන්තර්ජාලයේ පොදු අවකාශයක් නිර්මාණය කර ගත හැකි මාවත් සොයාගත යුතු වෙනවා. අන්තර්ජාලය මගින් සිදු කෙරෙන එක් අනතුරක් වන්නේ මිනිසුන්ට වෙනස් වෙනස් යථාර්තයන් පැවැත්ම. පවතින අගතීන් යළි බල ගැන්වීම සඳහා ඔවුන්ට තොරතුරු විකෘති කරන්න පුළුවන් කම තියෙනවා" බරක් ඔබාමා හැරී කුමරාට පිළිතුරු දෙමින් විග්‍රහයක නිරත විය.

සිය පුත්‍රයාට පිළිතුරු දුන් ඔටුන්න හිමි චාර්ල්ස් කුමරා දේශගුණ විපර්යාසය ලෝකයේ විවිධ කලාප වලට බිහිසුණු ප්‍රතිවිපාක අත් කරන බව පෙන්වා දුන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/jeff overs

ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩ සටහන මෙහෙයවමින්

එම වැඩ සටහන ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් වන ජස්ටින් වෙබ් සහ සාරා මොන්ටේගු විශේෂාංගය අවසානයෙහි හැරී කුමරාගෙන් ප්‍රශ්න කළ අතර "මෙවර නත්තල් සමය තමාට මනරම් කාලයක්" විනැයි ඊට පිළිතුරු දුන් කුමරා කියා සිටියේය.

හැරී කුමරු ලබන වසරේ විවාහ වීමට නියමිතය.

2018 'අති විශේෂ වසරක්' වනු ඇතැයි කුමරා සඳහන් කළේය.

"ඒ අතරම සමාජය වෙනුවෙන් ඉටු කළ යුතු මගේ කාර්යභාරය දිගටම ඉටු කරනවා" හැරී කුමරු පවසයි.

"මාකෙල් නත්තලේ දී ඇත්තෙන්ම හොඳට විනෝද වුනා. ඇය අපට එක්වීම ගැන කවුරුත් සතුටු වුනා" හැරී කුමරු සඳහන් කළේය.

සිය සොහොයුරා වන විලියම් කුමරු සහ ඔහුගේ දරුවන් සමඟ සෙල්ලමින් ගත කළ නත්තල් දින කීපය තිස්තුන් හැවිරිදි හැරී කුමරුන් විසින් විග්‍රහ කරන ලද්දේ "ප්‍රීතිමත්ම දින කීපයක්" හැටියටය.

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය පියා - චාර්ල්ස් කුමරු ප්‍රශ්න කරන හැරී කුමරු

සබැඳි පුවත්;