"වැඩකටම නැති ගුවන් තොටුපල" වෙත පැමිණි පළමු මගී යානය

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, අලුතින් ඉදි කළ ගුවන් තොටුපල 2016 වසරේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද තද සුළං හමුවේ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද විය

අති විශාල මුදලක් වැය කොට ඉදි කළ ද බලාපොරොත්තු වූ ආර්ථික ප්‍රතිලාභ නොලද අසාර්ථක ගුවන් තොටුපල ව්‍යාපෘති පිළිබඳ ලොව ඇතැම් රටවලින් වාර්තා වේ.

බ්‍රිතාන්‍ය යටතේ පවතින සෙන්ට් හෙලෙනා දූපතේ ඉදි කරන ලද ගුවන් තොටුපල බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් හඳුන්වනු ලැබුවේ "ලොව ප්‍රයෝජනයක් නොමැතිම ගුවන් තොටුපල" ලෙසය.

දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි දූපතේ ඉදි වූ නව ගුවන් තොටුපල වෙත සෙනසුරාදා (ඔක් 14) පළමු වරට මගී ගුවන් යානයක් ගොඩ බස්සනු ලැබීය.

මීට පෙර සෙන්ට් හෙලෙනා දූපත වෙත ළඟා වූයේ නැව් මාර්ගයෙනි. දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් සිට ඒ වෙත යාත්‍රා කිරීම සඳහා ගත වන කාලය දින පහකි.

ඇමරිකානු ඩොලර් මිලියන 380 වියදමින් ඉදි කරන ලද ගුවන් තොටුපල සඳහා ප්‍රතිපාදන ලබා දී ඇත්තේ එක්සත් රාජධානියේ විදේශ සංවර්ධන දෙපාර්තමේන්තුව විසිනි.

අලුතින් ඉදි කළ ගුවන් තොටුපල 2016 වසරේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද තද සුළං හමුවේ පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් එය ප්‍රමාද විය.

කෙසේ නමුත් අවසානයේ ජොහැන්ස්බර්ග් සහ සෙන්ට් හෙලෙනා අතර ගුවන් ගමන සඳහා අවසර හිමි වූයේ මාස කිහිපයක් පුරා පැවති පරීක්ෂණ ගුවන් ගමන් ගණනාවකින් අනතුරුවය.

1815 වසරේ 'වෝටර්ලූ' සටනින් පරාජයට පත් වීමෙන් පසු ප්‍රංශයේ නැපෝලියන් බොනොපාට් අධිරාජයා පිටුවහල් කරන ලද්දේ සෙන්ට් හෙලෙනා දූපතටය. පසුව ඔහු මිය ගියේ ද එම දූපතේදීමය.

සෙනසුරාදා උදෑසන ජොහැන්නස්බර්ග් නුවර සිට සෙන්ට් හෙලෙනා බලා පැමිණි ගුවන් යානයේ මගීන් 78 දෙනෙක් ගමන් ගත්හ.

නව ගුවන් තොටුපල සෙන්ට් හෙලේනාහි සංචාරක කර්මාන්තයට පිටිවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සෙන්ට් හෙලෙනා දූපතේ ජනගහනය 4,255 වන අතර ඒ වෙත සහ ඉන් පිටත යාම සඳහා මින් පෙර යොදා ගනු ලැබුවේ 'RMS සෙන්ට් හෙලේනා' නෞකාවය.

ශ්‍රී ලංකාවේ සහ ස්පාඤ්ඤයේ

ඡායාරූප ශීර්ෂ වැකිය, මධ්‍යම ස්පාඤ්ඤයේ වෙන්දේසි කරන ලද ගුවන් තොටුපල

මේ අතර බංකොලොත් වීම හේතුවෙන් වෙන්දේසි කළ ගුවන් තොටුපලක් පිළිබඳ 2015 වසරේ දී ස්පාඤ්ඤයෙන් අසන්නට ලැබිණි.

මධ්‍යම ස්පාඤ්ඤයේ පිහිටි එම ගුවන් තොටුපල සඳහා ලැබී තිබුණු වැඩිම ලංසුව යුරෝ දසදහසකි.

එය, ඒ සඳහා වැය කළ මුදල මෙන් ලක්ෂ ගුණයකින් අඩු අගයකි.

ඡායාරූප ශීර්ෂ වැකිය, මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් යානා පැමිණෙන්නේ ඉතාමත් අඩු වශයෙනි

එමෙන්ම චීන ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ඉදි කළ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල ද ප්‍රයෝජනයට ගනු ලබන්නේ ඉතාමත් අඩු වශයෙනි.

2013 වසරේ විවෘත කරන ලද එම ගුවන් තොටුපල සඳහා වැය කරන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 240 කි.

2016 වසරේ දී වී ගබඩා කිරීම සඳහා ද මත්තල ගුවන් තොටුපලට අයත් ගොඩනැගිලි යොදා ගැනිණි.

මේ අතර මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව පසුගියදා උද්ඝෝෂණ ද පැවැත්විණි.

සබැඳි යොමු: