ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ'

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මාධ්‍ය ආයතනවල වෑන් රථවලට පහරදෙන පූජකවරයාගේ අනුගාමිකයෝ

උතුරු ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පූජකයෙකු වන ගුර්මීත් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh) ස්ත්‍රී දූෂණ චෝදනාවලට වැරදිකරු බව අධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 23 දෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ.

ඒ අතරින් පිරිසක් මරුමුවට පත්වූයේ හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරවලිනි.

මිය ගිය සියලු දෙනා ගුර්මීත් රාම් රහීම් සිං පූජකවරයාගේ අනුගාමිකයන් බව විශ්වාස කෙරේ.

ප්‍රචණ්ඩ ගැටුම් හේතුවෙන් ඔහුගේ අනුගාමිකයන් 2500 දෙනෙකුවත් අත්අඩංගුවට ගන්නා ලද බව පොලිසිය පවසයි. කෙසේ නමුත් තත්වය දැන් පාලනය කර තිබෙන බව ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා පැවසීය.

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුර්මීත් රාම් සිං ඇඟලන දිලිසෙන ඇදුම් ආයිත්තම් නිසා "රොක් තාරුකා බාබා" ලෙසින් ද ඔහු හැඳින්වේ

ප්‍රදේශයේ පාසල් සහ රජයේ කාර්යාල සියල්ල වසා දමා තිබෙන අතර, මහාමාර්ග වසා දමා දුම්රිය ධාවනය ද නතර කොට තිබේ.

ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවුවහොත් අත්අඩංගුවට ගන්නා පිරිස රැඳවීම පිණිස ක්‍රීඩාංගන තුනක් වෙන කරනු ලැබ තිබුණි.

අධිකරණ තීන්දුවෙන් අනතුරුව කෝපයට පත් ඔහුගේ අනුගාමිකයන් පන්ච්කුලා (Panchkula) නගරය පුරා ප්‍රචණ්ඩ උද්ඝෝෂණවල නිරතව සිටින අතර, පොදු දේපොළවලට අලාභහානි කරමින් සිටින බවත් වාර්තා වේ.

දුම්රිය ස්ථාන දෙකකටවත් ගිණි තැබූ උද්ඝෝෂකයන්, මෝටර් රථවලට පහර දී මාධ්‍ය ආයතනවල වෑන් රථවලට ද ගිණි තබා තිබේ.

ගුර්මීත් රාම් රහීම් සිං ආගමික නායකයාට ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් පිරිසක් සිටින බව විශ්වාස කෙරේ.

2002 දී දෙර සාචා සවුදා (Dera Sacha Sauda) නම් සිය නිකායේ මූලස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු බව අධිකරණය සිකුරාදා (අගෝස්තු 25) තීන්දු කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ආගමික නායකයාගේ මූලස්ථානය පිහිටි සිර්සා නගරයේ රඳවා සිටින කැරලි මර්ධක හමුදාව

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථම ලක්ෂ දෙකකට අධික ඔහුගේ අනුගාමිකයන් පිරිසක් චන්දිගාර් නගරයට රැස්ව සිටියහ.

තීන්දුව සමග ප්‍රචණ්ඩ ගැටුම් හටගනු ඇතැයි අපේක්ෂාවෙන් දහස් ගණන් හමුදා භටයන්, පොලිසිය සහ නිල නොවන හමුදා භටයන් නගරයට කැඳවා තිබුණි.

තත්ත්වය පාලනය කිරීම පිණිස ඔවුන් මහා ජනකාය වෙතට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් සිටින බව පන්ච්කුලා නගරයේ සිටින බීබීසී වාර්තාකරු රොබින් සිං පවසයි.

නගරයේ ප්‍රදේශ කිහිපයක සහ පන්ජාබ් ප්‍රාන්තය පුරාම ඇඳිරි නීතිය පනවනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, MANOJ DHAKA

ඡායාරූප ශීර්ෂ වැකිය, චන්ද්ගාර් නුවර විරෝධතා දක්වන අනුගාමිකයෝ

හමුදා වෙඩි ප්‍රහාරයෙන් මියගිය පස් දෙනා හැරුණු විට තවත් පිරිසක් තුවාල ලැබූහ.

මේ අතර ප්‍රචණ්ඩ ගැටුම් දිල්ලි අගනුවර දක්වා ද පැතිරගොස් තිබෙන අතර, අගනුවර දුම්රිය ස්ථාන දෙකකටවත් ගිණි තබා තිබේ.

ස්ත්‍රී දූෂණ චෝදනාවට ගුර්මීත් රාම් රහීම් සිං වැරදිකරු බව තීන්දු කිරීමෙන් අනතුරුව 50 හැවිරිදි ආගමික නායකයා දැන් හමුදා ආරක්ෂාව භාරයේ පසුවේ.

අධිකරණය විසින් ඔහුට ලබන සඳුදා (අගෝස්තු 28) දඬුවම් නියම කරනු ඇතැයි අපේක්ෂිතය.

කවුද මේ ගුර්මීත් රාම් රහීම් සිං?

  • ඔහු නායකත්වය දෙන 'දෙර සාචා සවුදා' නිකාය ලොව පුරා වෙසෙන ලක්ෂ 60 කට ආසන්න පිරිසක් අනුගමනය කරන බව පැවසේ
  • ගුර්මීත් රාම් රහීම් සිං "සමාජ සුබසාධනය උදෙසා කැපවූ ආධ්‍යාත්මික සංවිධානයක්" බව පැවසෙන එම නිකායේ නායකත්වයට පත්වූයේ 23 හැවිරිදි වියේදීය
  • රොක් සංගීත ප්‍රසංගවල ගයන, රිදී තිරයේ රඟන තමන්ගේම වූ ආහාර නිෂ්පාදන සමාගමක් ද ඔහුට තිබේ
  • ර්මීත් රාම් සිං ඇඟලන දිලිසෙන ඇදුම් ආයිත්තම් නිසා "රොක් තාරුකා බාබා" ලෙසින් ද ඔහු හැඳින්වේ
  • සීක් සහ හින්දු ආගම් අපහාසයට ලක් කරන බවට ඔහුට චෝදනා එල්ල වේ
  • මිනීමැරීම සහ ස්ත්‍රී දූෂණ පිළිබඳව ඔහුට එරෙහිව පරීක්ෂණ පැවැත්විණ. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි
  • "දෙවියන්ට සමීපවීම සඳහා" වෘෂණ කෝෂ ඡේදනය කරගන්නා මෙන් සිය අනුගාමිකයන්ට බල කරන බවට ඔහුට චෝදනා එල්ල වේ