දුම්වැටියේ හානිය නූපන් දරුවාගේ අක්මාවටත්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රසායන ද්‍රව්‍ය බොහොමයක මිශ්‍රණයක් දුම්වැටියක

දුම්පානය හේතුවෙන් නූපන් දරුවාගේ අක්මාවට හානි සිදුවන බව නවතම පියවි සෛල (stem cell) පර්යේෂණයකින් තහවුරු වෙයි.

රසායන ද්‍රව්‍ය බොහොමයක මිශ්‍රණයක් දුම්වැටියක පවතින අතර ඒවා මව්කුස සිටින දරුවාගේ අක්මාවේ වර්ධනයට හානි පමුණුවන බව විද්‍යාඥයින් සොයා ගෙන තිබේ.

මව්වරුන් දුම්බීමේ දී කුස තුළ සිටින දරුවාට ඉන් ඇතිවන බලපෑම සොයා බැලීම සඳහා විද්‍යාඥයෝ කලල පියවි සෛල (embryonic stem cells) යොදා ගත්හ.

මෙම පර්යේෂණය මෙහෙයවනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍යයේ එඩින්බරා විශ්ව විද්‍යාලය විසිනි.

මෙහිදී හෙළිදරව් වී ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ දුම්වැටියක ඇති රසායනික මිශ්‍රණයේ බලපෑම කලලයේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වන බවය.

රසායන ද්‍රව්‍ය 7000ක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, දුම්වැටියක රසායන ද්‍රව්‍ය හත් දහසක්

එමෙන්ම දුම්වැටියක ඇති රසායන ද්‍රව්‍ය වෙන වෙනම ගත්කළ ඉන් ඇතිවන හානියට වඩා වැඩි හානියක් එම රසායන ද්‍රව්‍ය එකට මිශ්‍රවූ දුම ශරීරගත වීමෙන් කලලයට සිදුවන බව විද්‍යාඥයෝ පවසති.

සිගරැට්ටුවකින් පිටවන දුම මව්කුස තුළ ඇති කලලයට හානිකර බව මීට පෙර සිට දැන සිටි නමුත් එහි හානිය සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීමට මෙම අධ්‍යයනයෙන් අවස්ථාව ලැබී තිබේ.

දුම්වැටියක රසායන ද්‍රව්‍ය හත් දහසක් පමණ අඩංගුවන බව විද්‍යාඥයෝ පවසති.

එම රසායන ද්‍රව්‍ය සම්මිශ්‍රණය වීමෙන් කලලයට ඇතිවන හානිය දරුවාට දීර්ඝ කාලීනව බලපානු ඇති බව මෙම පර්යේෂණ වාර්තාවේ සඳහන් වෙයි.