මියන්මාරය: බෞද්ධ, මුස්ලිම් කලහකරුවන්ට 'අහසට වෙඩි'

ඡායාරූප මූලාශ්‍රය, AFP/getty images

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙපාර්ශවය අතර ගැටුම මැඩ පැවැත්වීම පිණිස කැරලි මර්ධක පොලිසියද කැඳවා තිබුණි

මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගුන්හි කලහකාරී ලෙස හැසිරුණු බෞද්ධ සහ මුස්ලිම් කණ්ඩායම් දෙකක් විසුරුවා හැරීම සඳහා එරට පොලිසිය අහසට වෙඩි තබා තිබේ.

මුස්ලිම් කණ්ඩායම වෙසෙන ප්‍රදේශය වෙත පැමිණි භික්ෂූන් වහන්සේ කිහිප නමක් ඇතුළු බෞද්ධ කණ්ඩායම පවසන්නේ ඔවුන් මියන්මාරයේ සුළුතර ප්‍රජාවට අයත් රෝහින්ග්‍යා වැසියන් බවය.

එම පිරිස නගරයේ නැගෙනහිර මින්ගලාර් තවුන්ග් නියුන්ට් ප්‍රදේශයේ නීති විරෝධී ලෙස සැඟවී සිටි බවත් බෞද්ධ කණ්ඩායම පවසා තිබේ.

දෙපාර්ශවය අතර ගැටුම මැඩ පැවැත්වීම පිණිස කැරලි මර්ධක පොලිසියද කැඳවා තිබුණි

සබැඳි යොමු:

අදාළ පිරිස නීති විරෝධී ලෙස රැඳී නොසිටි බවත් ඔවුන් රෝහින්ග්‍යා වැසියන් නොවන බවත් පොලිසිය පැවසීමත් සමග එහි කලහකාරී වාතාවරණයක් හට ගෙන තිබේ.

බංග්ලාදේශයෙන් සංක්‍රමණය වූ පිරිසක්වන රෝහින්ග්‍යා ප්‍රජාව සිය රටට අවශ්‍ය නොමැති පිරිසක් වශයෙන් මියන්මාරයේ බොහෝ දෙනෙක් සලකති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, බංග්ලාදේශයට පලා ගිය රෝහින්ග්‍යා මුස්ලිම්වරු

දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔවුන් වද බන්ධනවලට ලක්වන අතර, පූර්ව නිගමණ හේතුවෙන් පීඩා විඳිති.

මියන්මාරයේ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව එරට හමුදාව සහ පොලිසිය "මානුෂීයත්වයට එරෙහි අපරාධවල" යෙදී ඇති බව එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක පසුගියදා චෝදනා කළාය.

මියන්මාරයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාකරන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත යැන්ග්හී ලී ඒ බව සඳහන් කළේ බංග්ලාදේශ් වෙත පැමිණ සිටින සරණාගතයින් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව බීබීසී වෙත අදහස් පළ කරමිනි.

මේ අතර කාන්තාවන් හත් දෙනෙකු සහ දරුවන් 16 දෙනෙකු ඇතුළු රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් 30 දෙනෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු පසුගිය අප්‍රේල් 30 වෙනි දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

දැනට මිරිහාන ආගමන, විගමන රැඳවුම් කඳවුරේ රඳවා සිටින ඔවුන් ලබන මැයි 16 වෙනි දින යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.