බෝම්බයකට "අම්මා" කීම ලැජ්ජාවක් - පාප්වහන්සේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මේ මස අගදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය

ඇමරිකානු හමුදා විසින් සටනක දී මෙතෙක් භාවිත කරන ලද න්‍යෂ්ටික නොවන වඩාත් විනාශකාරී බෝම්බය, 'සියලු බෝම්බවල මව' ලෙස නම් කිරීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගේ විවේචනයට ලක් වී තිබේ.

"ඒ නම අහපු මොහොතේ මම ලැජ්ජාවට පත් වුණා" යනුවෙන් වතිකානයේ පැවති ශිෂ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ කියා සිටියහ.

"මව ජීවය ලබා දෙනවා, මෙය මරණය ගෙන දෙනවා. අපි මේ අවියට මව කියනවා. මොකක්ද මේ සිද්ධ වෙන්නේ?" උන්වහන්සේ ප්‍රශ්න කළහ.

ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් ඉලක්ක කොට ඇමරිකානු හමුදා විසින් පසුගිය මාසයේ දී කිලෝග්‍රෑම් 9,800 බරැති බෝම්බයක් හෙළනු ලැබීය.

අයිඑස් උමං ජාලයක්

වීඩියෝ ශීර්ෂ වැකිය, 2003 වසරේ ෆ්ලොරිඩාවේදී අත්හදා බලන ලද MOAB බෝම්බය

පෙන්ටගනය කියා සිටියේ අයිඑස් කැරලිකරුවන් භාවිත කළ නන්ගර්හාර් පළාතේ උමං ජාලයක් ඇමරිකානු හමුදා ගුවන් යානයක් විසින් හෙළන ලද බෝම්බයේ ඉලක්කය වූ බවය.

එම බෝම්බය 'GBU-43/B Massive Ordnance Air Blast Bomb' හෙවත් 'MOAB' ලෙස නිල වශයෙන් හඳුන්වනු ලබන නමුත් බොහෝ දෙනෙකු එය හඳුන්වනු ලබන්නේ 'සියලු බෝම්බවල මව' ලෙසය.

'MOAB' බෝම්බය 2003 වසරේ දී පළමු වරට අත්හදා බැලූ නමුත් ඇමරිකානු හමුදා විසින් සටන් බිමකදී එය යොදා ගනු ලැබුවේ පළමු වරටය.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉහත කී අදහස් පළ කළේ මැයි 24 වෙනිදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග හමුවක් පැවැත්වීමට නියමිතව තිබියදීය.