කොටියා ගොදුරු රැගෙන ගස් නගින්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'දැවැන්තයන් පස් දෙනා' ලෙස හඳුන්වනු ලබන අලිඇතුන්, සිංහයන්, කොටියන්, රයිනෝසරයන් සහ අප්‍රිකානු මී ගවයන් ඇතුළු සතා සිව්පාවෝ අප්‍රිකානු වනාන්තර තුළ කෑම සොයා ඒ මේ අත සැරිසරති.

එවැනි සතුන් සාමාන්‍යයෙන් නොගැවසෙන ස්ථාන වලදී දැක ගැනීමට ලැබෙන අවස්ථා ද නැතුවා නොවේ.

වරක දකුණු අප්‍රිකාවේ 'සාබි' රක්ෂිතයේ මගපෙන්වන්නෙකුට ගස් දෙබලක් මත සිරවූ ජිරාෆ් නාම්බෙකුගේ මළකුණක් හමු විය.

ජිරාෆ් මළකුණ ගසේ මීටර කිහිපයක් ඉහළට ගෙන ගොස් ඇත්තේ කොටියෙකු විසිනි.

දින කිහිපයක් සිය භෝජනය භුක්ති විඳීමෙන් අනතුරුව කොටියා ඉතිරි කර ගොස් තිබුණේ ඇටකටු, හම සහ බිම වැටී විසිරී ගිය කුඩා මස් කැබලි කිහිපයක් පමණි.

කිලෝග්‍රෑම් 300 ක් බරැති ජිරාෆ් මළකුණ ඝාතකයාට වඩා පස් ගුණයක් බරින් වැඩිය.

නමුත් එවැනි බරක් ඔසවා ගෙන යාමට කොටියාට සාධාරණ හේතුවක් ඇත.

කොටියෙකු තම උදර පෝෂණය සඳහා දඩයම් කර ගත් සතෙකු ගසක් මුදුනට රැගෙන නොයෑම සිංහයකුට හෝ හයිනා රංචුවකට වාසි ගෙන දිය හැක.

සොරකමේ යන විලෝපිකයන්

ඡායාරූප මූලාශ්‍රය, James Tyrrell, Panthera

2017 වසරේ පෙබරවාරි මාසයේ පළ කරන ලද අධ්‍යයන වාර්තාවකට අනුව දඩයම් කළ සතෙකු ගසක් මතට ගෙන යාම, සෙසු විලෝපිකයන්ගෙන් එල්ල වන තර්ජන මඟහැර ගැනීමට කොටියාට උපකාර වේ.

බිළාල කුලයේ වන සතුන් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන 'Panthera' නමැති ලාභ අරමුණු කර නොගත් ආයතනයට අනුව 'සාබි' රක්ෂිතයේ වෙසෙන කොටි, දඩයම් වශයෙන් ජිරාෆ් සහ මුවන් ඇතුළු සත්ව විශේෂ 40 ක්වත් ගොදුරු කර ගනිති.

කොටි, එම ගොදුරුවලින් අඩක් ගස් මතට ඔසවා ගෙන යති.

කොටියකු විසින් ගස් මුදුන් මතට ගෙන යන ගොදුරු වෙනත් විලෝපිකයෙකු විසින් සොරකම් කර ගැනීමට ඇති හැකියාව 67% කින් අඩුය.

නමුත් කොටියෙකු විසින් දඩයම් කර ගනු ලබන සෑම සතුන් පස් දෙනෙකුගෙන් එක් සතෙකු හයිනා, සිංහයන් හෝ තම වර්ගයාටම අයත් වෙනත් පිරිමි කොටියෙකු වැනි විලෝපිකයන්ගේ සොරා කෑමට ලක් වේ.

වැඩි නැඹුරුව

ඡායාරූප මූලාශ්‍රය, Wim van den Heever/naturepl.com

තම බරින් අඩක් හෝ තමාගේ බරට එක හමාර ගුණයකින් වැඩි සතකු ගසක් වෙත ඔසවා ගෙන යාමට කොටි වැඩි නැඹුරුවක් දක්වන බව අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයෝ පවසති.

ගොදුරු කර ගත් සතෙකුගේ ශරීර ප්‍රමාණය ඉතා කුඩා නම් හෝ වඩාත් විශාල නම් පොළොවේ සිටම කොටි එය භුක්ති විඳිති.

හයිනා රංචුවක් හෝ වෙනත් පිරිමි කොටියෙකු ඇස ගැටීම දඩයක්කාර කොටියාට සිය ගොදුර ගසක් මතට ගෙන යාමට රුකුලක් වනු ඇත.

ඉන්දියාව වැනි විලෝපිකයන් අඩු, සැඟවී සිටිය හැකි ඝන වනාන්තර සහිත කලාපවල වෙසෙන කොටි තම දඩයම ගස් මතට ඔසවා ගෙන යන්නේ අඩු වශයෙනි.