කාබුල් නුවර නේටෝ රථ පෙළකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඇෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර නේටෝ සංවිධානයේ රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අටදෙනකුවත් මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති.

ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාම සාමාන්‍ය වැසියන් බව ඇෆ්ඝනිස්තාන ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඇමෙරිකානු සොල්දාදුවන් තිදෙනකු ඇතුළු තවත් 25 දෙනකුට පමණ තුවාල සිදු විය.

බදාදා උදෑසන අගනුවර කාර්ය බහුලම අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේදීය.

කිසිම කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැතත්, විදේශීය හමුදාවලට ප්‍රහාර එල්ල කරන බවට තාලිබාන් සංවිධානය අනතුරු අඟවා තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් නේටෝ සංවිධානයකට අයත් රථ දෙකක් විනාශ වී තිබෙන අතර, ඒ අසලින් ගමන් කරමින් තිබුණු තවත් රථ කිහිපයකටත් හානි සිදු වී තිබෙන බව ඒඑෆ්පී පුවත් සේවය පවසයි.

එම ස්ථානයේ සිට මීටර සිය ගණනක් දුරට මෝටර් රථවල වීදුරු කැබලි විසි වී තිබුණි.

බරපතල පිපිරීම්වලට ඔරොත්තු දෙන සන්නද්ධ සෙබල ප්‍රවාහක යානා සියල්ල නිරුපද්‍රිතව සිය කඳවුර කරා ලඟා වූ බව ඇෆ්ඝනිස්තානයේ සිටින නේටෝ හමුදාව ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබේ.

සුළු තුවාල ලබා සිටින සොල්දාදුවන් පිරිසට කඳවුරේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින බවත් එහි සඳහන් වේ.