ළමා විවාහවලට එරෙහිව ඉස්ලාම් පූජකවරියන්ගෙන් 'ෆට්වා' නියෝගයක්

ඡායාරූප මූලාශ්‍රය, BBC Indonesia

ඡායාරූප ශීර්ෂ වැකිය, ජාවා දූපතේ පැවති සම්මන්ත්‍රණය මුස්ලිම් පූජකවරියන්ගේ සහභාගීත්වයෙන් පැවති පළමු ප්‍රධාන හමුව ලෙස විශ්වාස කෙරේ

ඉන්දුනීසියාවේ ඉස්ලාම් පූජකවරියන් විසින් ළමා විවාහවලට එරෙහිව පෙර නොවූවිරූ ෆට්වා නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එරට ඉස්ලාම් පූජකවරියන්ගේ සහභාගිත්වයෙන් පැවති තෙදින සම්මන්ත්‍රණයකින් අනතුරුව නිකුත් කරන ලද අදාළ ෆට්වා නියෝගයට නෛතික බැඳීමක් නොමැති නමුත් එය ළමා විවාහ සම්බන්ධයෙන් බලපෑමක් සිදු කළ හැකි ප්‍රබල සාධකයක් වනු ඇත.

ෆට්වා නියෝගයක් යනු ඉස්ලාමීය රටවල ආගමික කරුණක් සම්බන්ධ අධිකාරවත් නියෝගයකි.

එම නියෝගය ප්‍රකාරව දැනට පවතින අවුරුදු දාසයේ විවාහ විය හැකි අවම නෛතික වයස් සීමාව අවුරුදු දහඅට දක්වා වැඩි කරන ලෙස පූජකවරියෝ එරට ආණ්ඩුවට බල කර සිටිති.

මුස්ලිම් භක්තිකයන් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව ලොව වැඩි වශයෙන්ම ළමා විවාහ සිදුවන රටවල් අතරින් එකකි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) වාර්තාවලට අනුව ඉන්දුනීසියාවේ කාන්තාවන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු විවාහ වන්නේ වයස අවුරුදු දහඅටට අඩුවෙනි.

ජාවා දූපතේ පැවති සම්මන්ත්‍රණය මුස්ලිම් පූජකවරියන්ගේ සහභාගීත්වයෙන් පැවති පළමු ප්‍රධාන හමුව ලෙස විශ්වාස කෙරේ.

උලමා සභාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මුස්ලිම් භක්තිකයන් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව ලොව වැඩි වශයෙන්ම ළමා විවාහ සිදුවන රටවල් අතරින් එකකි

ෆට්වා නියෝග ඉන්දුනීසියාව තුළ නිතර ප්‍රකාශයට පත්වන නමුත් සාමාන්‍යයෙන් එවැනි නියෝග නිකුත් කරනු ලබන්නේ සම්පූර්ණයෙන් පාහේ පුරුෂයන්ගෙන් සැදුම්ලත් උලමා සභාව විසිනි.

"කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන බාධා සහ ගැටලු සම්බන්ධයෙන් මේ පූජකවරියන් හොඳින්ම දන්නවා. මේ දරුවන් ආරක්ෂා කර ගන්න ආණ්ඩුව ක්‍රියාමාර්ග ගන්න තුරු සිටිය යුතු නැහැ, අපිට ක්‍රියාමාර්ග ගත හැකියි" යනුවෙන් සම්මන්ත්‍රණයේ සංවිධායකවරිය නිනික් රහායු රොයිටර් පුවත් සේවයට කියා සිටියාය.

මේ අතර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහ සිදු කිරීම ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව මානව හිමිකම් ක්‍රියාධාරිනියක් පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසුවාය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ළමා විවාහ වසරක් ඇතුළත දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව තමන් කළ සමීක්ෂණයකදී දක්නට ලැබුණු බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් කියා සිටියාය.