ලන්ඩන් ප්‍රහාරය: පොලිස් නිලධාරියාගේ 'අවසන්' ඡායාරූපය

ඡායාරූප මූලාශ්‍රය, Staci Martin

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිස් නිලධාරියාගේ 'අවසන්' ඡායාරූපය

බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරී කීත් පාමර් 'අවසන් වරට' පෙනී සිටි ඡායාරූපය ප්‍රකාශයට පත් වී තිබේ.

ඛලිඩ් මසුඩ් නමැති ප්‍රහාරකයා පාර්ලිමේන්තුව ඉදිරිපිට දී පොලිස් නිලධාරියාට පිහි පහර එල්ල කිරීමට මිනිත්තු 45 කට පෙර ස්ටේසි මාටින් නමැති ඇමරිකානු සංචාරක කාන්තාවක් විසින් එම ඡායාරූපය ගනු ලැබ තිබේ.

මේ අතර ලන්ඩන් ප්‍ර‍හාරයෙන් මිය ගිය සංඛ්‍යාව 5 දක්වා ඉහළ නගිද්දී පොලිසිය වේල්ස් හි කාමාතන්ෂයර් ප්‍රාන්තයේ ගොවිපලක් සෝදිසියට ලක් කළේය.

බ්‍ර‍හස්පතින්දා (මාර්තු 23) සවස ලන්ඩන් නාගරික පොලිසිය තහවුරු කළ පරිදි, ප්‍ර‍හාරය හමුවේ මියගිය 5 වැන්නා වූයේ 75 හැවිරිදි පුද්ගලයෙකි.

මේ අතර, කාමාතන්ෂයර් හි ස්ථානයක් මෙන් ම බර්මිංහැම් හි ස්ථාන දෙකක් සහ ලන්ඩනයේ ස්ථානයක් පොලිසියේ සෝදිසිකිරීම්වලට ලක්විය.

ප්‍රහාරකයා ඇතුළු පහක් මරුට

ඡායාරූප ශීර්ෂ වැකිය, (වමේ සිට) පොලිස් නිලධාරී කීත් පාමර්, ඇමෙරිකානු සංචාරකයකු වූ කර්ට් කොච්රාන්, ගුරුවරියක වූ අයිෂා ෆ්රේඩ් ප්‍රහාරයෙන් මරණයට පත් විය

ඒ අනුව, ලන්ඩන් හා බර්මිංහැම් සෝදිසි කිරීම්වලදී අට දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඉන් තිදෙනෙකු ම කාන්තාවෝ වූහ.

ලන්ඩන් ප්‍ර‍හාරයේ වගකීම අයිඑස් සංවිධානය විසින් භාරගනු ලැබීය.

මේ අතර, ප්‍ර‍හාරයේදී මිය ගිය පොලිස් නිලධාරී කීත් පාමර් වෙනුවෙන් ඔහුගේ පවුලට රුකුලක් වනු පිණිස කෙරෙන මුල්‍ය පරිත්‍යාගවල වටිනාකම පවුම් 300,000 දක්වා ඉහළ නැග තිබේ.

එම ප්‍ර‍මාණය රැස් වූයේ පරිත්‍යාග කිරීම අරඹී පැය 12ක් ඉක්ම යද්දීය.

30,000 ක නිලදරුවන් පිරිසකගෙන් සාමාජිකත්වයෙන් යුතු නාගරික පොලිස් සම්මේලනය අනුස්මරණීය වෙබ් පිටුවක් දියත් කරනු ලැබුවේ, සහය වීමට අවස්ථාවක් දෙන්නැයි සාමාජිකත්වයෙන් කෙරුණු ආයාචනය හේතුවෙනි.

මේ අතර, ලන්ඩනයේ ට්‍රැෆල්ගාර් චතුරශ්‍ර‍යට එක්වූ විශාල පිරිසක් ප්‍රහාරයේදී මියගිය පුද්ගලයින් සන්සුන්ව හා ගෞරවාන්විතව සැමරූහ.

අනුස්මරණ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ලන්ඩනයේ ට්‍රැෆල්ගාර් චතුරශ්‍ර‍යට එක්වූ විශාල පිරිසක් ප්‍රහාරයේදී මියගිය පුද්ගලයින් සන්සුන්ව හා ගෞරවාන්විතව සැමරූහ

ලන්ඩන් වාසීන් සහ නගරයට පැමිණියවුන් මෙන් ම පොලිසිය ද එම සැමරුමට එක්ව සිටියහ.

විපතට පත්වූවන් සිහිකොට එහිදී ඉටි පහන් දැල්විණ.

මේ අතර සාමාන්‍ය වැසියන් තිදෙනා සහ පොලිස් නිලධාරියා ඝාතනයට ලක් කළ ඛලිඩ් මසුඩ් නමැති දැඩි මතධාරි මුස්ලිම් ප්‍රහාරකයාගේ මුල් නම අද්‍රියාන් රසල් අජාඕ බව පොලිසිය හෙළි කළේය.