කටාරය: 'කෆාලා' කම්කරු අනුග්‍රහ ක්‍රමය අවසන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2022 දී පැවැත්වීමට නියමිත ජගත් පාපන්දු කුසලානයට සූදානම් වීම පිණිස ලක්ෂ සංඛ්‍යාත විදේශීය කම්කරුවන් කටාර් රාජ්‍යයට ගෙන්වාගෙන තිබේ

රැකියාවක නිරතව සිටින අතරවාරයේ රැකියාව වෙනස් කිරීම හෝ රටින් පිටවයාම සඳහා සිය හාම්පුතාගේ අවසරය අවශ්‍ය බව දැක්වෙන 'කෆාලා' කම්කරුවන්ට අනුග්‍රහය දැක්වීමේ ක්‍රමවේදය නිමා කරන බව කටාරය පවසයි.

විදේශීය කම්කරුවන් අදාළ විධිවිධාන දැනට වඩා නම්‍යශීලී ආකාරයෙන් සහ ඔවුන්ට වඩා ආරක්ෂාවක් සැලසෙන පරිදි පවත්නා ක්‍රමය වෙනස් කිරීම් මෙහි අරමුණ බව කටාර් බලධාරීහු පවසති.

එහෙත් නව සංශෝධන මගින්ද පැවති ක්‍රමයේ ප්‍රබල වෙනසක් වී නැති බවට ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය චෝදනා කරයි.

කටාරයේ පවත්නා කම්කරු විධිවිධාන 'නූතන යුගයේ වහල් මෙහෙයක්' බවත් එම සංවිධානය පවසයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලාංකික කාන්තාවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද කටාරය ඇතුළු මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කරති

2022 දී පැවැත්වීමට නියමිත ජගත් පාපන්දු කුසලානයට සූදානම් වීම පිණිස ලක්ෂ සංඛ්‍යාත විදේශීය කම්කරුවන් කටාර් රාජ්‍යයට ගෙන්වාගෙන තිබේ.

එහෙත් කම්කරුවන්ට සේවයේ යෙදීම සඳහා කටාරයේ පවතින ඉතාමත් අයහපත් පහසුකම් හේතුවෙන් එයින් විශාල පිරිසක් මරුමුවට පත් වී ඇති බවත් මානව හිමිකම් සංවිධාන පවසති.

'කෆාලා' ක්‍රමය වෙනුවට හඳුන්වා දෙන නව නීතිය අඟහරුවාදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

කෙසේ නමුත් හාම්පුතාගේ 'අනුග්‍රහය' තවදුරටත් අවශ්‍ය නොවන නමුත් නව නීතිය යටතේත් යළි සිය රට යාම සඳහා සංක්‍රමණික කම්කරුවන් හාම්පුතාගේ අවසරය ලබාගත යුතු බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකික කාන්තාවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද කටාරය ඇතුළු මැදපෙරදිග රටවල ගෘහ සේවිකාවන් වශයෙන් සේවය කරති.