ජපන් කිරුළ අකිහිතෝගෙන් නරුහිතෝට

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අකිහිතෝ ජපාන අධිරාජයා

මහළු බව සහ පිරිහුණු සෞඛ්‍ය තත්වය හේතුවෙන් තමන්ගෙන් රටට ඉටුවිය යුතු වැඩ කොටස සපිරීමට අපහසු තත්වයක සිටින බැවින් කිරුළ අත්හැරීමට බලාපොරොත්තු වන බව ජපානයේ අකිහිතෝ අධිරාජයා ප්‍රකාශ කළේය.

අසූ දෙහැවිරිදි වියේ පසුවන අධිරාජයා මේ බව කියා සිටියේ රූපවාහිනිය ඔස්සේ ජපාන ජාතිය අමතමින්.

මේ පියවර දේශපාලන බලපෑමක් මත සිදු වූවක් බවට අර්ථකථනය කළ හැකි බැවින් අකිහිතෝ අධිරාජයා පදවියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සවිස්තරාත්මකව අදහස් පළ කිරීමෙන් වැළකුණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අකිහිතෝ ජපාන අධිරාජයා ජාතිය අමතා කළ කතාව ටෝකියෝ අගනුවර මාධ්‍යයේ විශාල තිරයක ප්‍රචාරය කරනු ලැබීය.

කෙසේ වෙතත් ජපාන අගමැති ශින්සෝ අබේ කියා සිටියේ අධිරාජයාගේ ප්‍රකාශය ඉතා බැරෑරුම් ආකාරයෙන් සලකා බලන අතර ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර සම්බන්ධයෙන් රජයේ සාකච්ඡාවක් පවත්වන බවයි.

අකිහිතෝ අධිරාජයා පසුගිය කාලයේ හෘද සැත්කමකට භාජනය කරනු ලැබූ අතර පසුව පුරස්ථි ග්‍රන්ථියේ හට ගත් පිළිකාවකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තේය.

මීළඟ අධිරාජ්‍යයා?

1989 හිරෝහිතෝ අධිරාජයා මිය යාමෙන් පසු රජ පදවිය භාර ගත් ඔහුගේ පුත් අකිහිතෝ, අධිරාජයා වශයෙන් වසර විස්සකට වැඩි කාලයක් ජපාන කිරුළ හොබවයි.

අකිහිතෝ අධිරාජයාගේ වැඩිමල් පුතු පනස් හය හැවිරිදි නරුහිතෝ ඔටුන්න හිමි කුමාරයා වන අතර සිහසුනට උරුමකම් කීම අතින් සුදුසුකම් ලබන දෙවැන්නා වන්නේ නරුහිතෝගේ බාල සොයුරු අකිශිනෝ කුමරුයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අකිහිතෝ අධිරාජයාගේ වැඩිමල් පුතු පනස් හය හැවිරිදි ඔටුන්න හිමි නරුහිතෝ කුමරු

කෙසේ වෙතත් නරුහිතෝ කුමරුගේ පළමු දරුවා අකියෝ කුමරිය සිය පියාගෙන් පසු ඔටුන්නට හිමිකම් කීමට සුදුසු නොවන්නේ ජපානයේ සංස්කෘතියට අනුව කාන්තාවකට රජ පදවිය හෙබවීම තහනම් වන බැවිනි.

අකිහිතෝ අධිරාජයා කිරුළ අත්හැර දැමීමට කටයුතු කළොත් 1817 කොකාකු අධිරාජයාගෙන් පසු මිය යාමට ප්‍රථම ඔටුන්නෙන් සමු ගන්නා දෙවන ජපාන අධිරාජයා ලෙස ඉතිහාසයට එක් වෙනු ඇත.