පසුගිය වසරේ ඉන්දියාවේ 146,133 දෙනෙක් මහමගදී මරුට

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, මාර්ග අනතුරු වලට හේතුව දුර්වල රිය පැදවීම හෝ අබලන් වූ වාහන සහ මහාමාර්ග බවයි හෙළිවී ඇත්තේ.

පසුගිය වසරේ පමණක් ඉන්දියාවේ මාර්ග අනතුරුවලින් පුද්ගලයන් එක්ලක්ෂ හතලිස් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇති බව රජය මගින් නිකුත්කළ වාර්තා අනුව හෙළිවී තිබේ.

මෙම සංඛ්‍යාව පසුගිය වසරට වඩා 4.6% ක වැඩිවීමකි.

ලක්ෂ පහකට අධික මාර්ග අනතුරු වලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාවෙන් අඩකට වඩා වයස 15 ත් 34 ත් අතර වූ බවයි මෙම දත්ත මගින් වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.

ප්‍රවේසමෙන් තොර රිය පැදවීම සහ නියමිත ලෙස නඩත්තු නොකළ වාහන මෙන්ම මහාමාර්ග හේතුවෙන් ඉන්දියාවේ මාර්ග අනතුරු සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගනියි. නොගැලපෙන මාර්ග සැලසුම් ද මෙයට හේතුවී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාමාර්ග සැලසුම් වල දුර්වලතා හේතුවෙන්ද මාර්ග අනතුරු වැඩිවී තිබේ

ඉන්දියාවේ ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යංශයෙන් නිකුත් කළ වාර්තාවේ පහත කරුණු අඩංගු වේ;

  • 2015 වසරේ දී මහාමාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 1,46,133 ක් මියගොස් තිබේ. 2014 වසරේ දී එය 1,39,671 ක් විය.
  • එම වසරේ දී මාර්ග අනතුරු 5,01,423 වාර්තා වී ඇත. (සෑම දිනකම අනතුරු 1,374 කි) 2014 වසරේ එය 4,89,400 ක් විය.
  • 2015 වසරේ දී පුද්ගලයන් 500,279 දෙනෙකු මාර්ග අනතුරු වලින් තුවාල ලබා ඇති අතර 2014 වසරේ දී එම සංඛ්‍යාව 493,474 කි.
  • සෑම දිනකම 400 දෙනෙකු ඉන්දියාවේ මහාමාර්ග වල දී මියයති.
  • මෙම මාර්ග අනතුරු වලින් 80% ක් තමිල්නාඩු, මධ්‍යප්‍රදේශ්, කර්ණාටක, කේරළ සහ උත්තර ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත 13 කට අයත් ඒවා වේ.
  • මෙම අනතුරු වලින් 62% ක් අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් වූ ඒවා වන අතර අනතුරු දහයකින් අටක් රියැදුරන්ගේ වරදින් සිදුවී තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍ය නිතින් ගද්ක්හාරි පැවසුවේ ඉන්දියාවේ මරණ සඳහා හේතුවන විශාලතම හේතුව වන මහාමාර්ග යටිතළ පහසුකම් ඉහළ නැංවීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගතයුතු බවයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ලක්ෂ පහකට අධික පිරිසක් 2015 වසරේ දී මාර්ග අනතුරු වලින් තුවාල ලබා තිබේ.

කිලෝමීටර 96,000 සිට කිලෝමීටර 200,000 දක්වා ඉන්දියාවේ මහාමාර්ග පද්ධතිය පුළුල් කිරීමට කටයුතු කරන බව මහාමාර්ග අමාත්‍යවරයා සැලසුම් කර ඇති බවයි AFP පුවත්ආයතනය අමාත්‍යවරයා උපුටා දක්වමින් පවසන්නේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳව නව නීති මාලාවක් සැකසෙන යෝජනාවක් මීළඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත බවද එම වාර්තාවේ සඳහන් වේ.