ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "දරුවන් වෙනුවෙන් මේ රට ඉතුරු කරන්න" - කාන්තාවෝ ජනපති මෛත්‍රීගෙන් ඉල්ලති

ඡායාරූප මූලාශ්‍රය, Lanka Bandaranayake/ Facebook

කියවීමේ කාලය: මිනිත්තු 5

ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන දේශපාලන අර්බුදය දිනෙන් දින උග්‍ර වීම හේතුවෙන් රට අරාජික තත්වයකට ඇද වැටී ඇතැයි පවසමින් කාන්තාවන් 50 දෙනෙකුට අධික පිරිසක් බදාදා (නොවැම්බර් 28) කොළඹ ගාලුමුවදොර පිටියේ දී විරෝධතාවක නියැලී සිටියහ.

මෙම විරෝධතාවෙන් අනතුරුව කාන්තාවන් විශාල පිරිසක් අත්සන් කළ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබිණ. විරෝධතාවට සහභාගි වූ කාන්තාවන් අතරින් පස් දෙනෙකුට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසීමට පොලිසිය අවසර දුන්නේය. ඒ අනුව, රංගන ශිල්පිනියන් වන නදී කම්මැල්ලවීර, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, ට්‍රේසි හෝල්සිංගර් සහ නාට්‍යවේදිනියක් වන රුවන්ති ද චිකේරා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් හමුවට ගොස් සිය ලිපිය භාර දුන්හ.

මහාචාර්යවරියන්, කථිකාචාර්යවරියන්, නීතීඥවරියන්, රංගන ශිල්පිනියන්, මාධ්‍යවේදිනියන්, ලේඛිකාවන්, මෝස්තර නිර්මාණ ශිල්පිනියන්, නාට්‍යවේදිනියන්, නර්තන ශිල්පිනියන්, ගායිකාවන්, සමාජ ක්‍රියාකාරිනියන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරියන්, ගුරුවරියන්, ගෘහ නිර්මාණ ශිල්පිනියන්, ව්‍යාපාරික කාන්තාවන් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ද මෙම විරෝධතාවට සහභාගි වී සිටියහ.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/VIKALPA

මහ වැසි මධ්‍යයේ පැවැත්වුන විරෝධතාව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කෙරුණ අතර, එයට සහභාගි වූ සියලු කාන්තාවෝ කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ.

"පසුගිය ඔක්තෝබර් 26 වනදා ඔබ විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණය හේතුවෙන් අද වන විට අපගේ රට මහත් ඛේදනීය තත්ත්වයකට පත්ව ඇත. ආර්ථික වශයෙන් රට දිනෙන් දිනම උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතී. දේශපාලන සදාචාරය ද පෙර නොවූ විරූ ලෙස සෝදාපාළුවට හසුවී ඇත. තව දින කිහිපයක් මේ ආකාරයෙන්ම ගෙවෙන්නට හැරියහොත්, රාජ්‍ය ආයතන ඇතුළු මුළු මහත් සමාජය තුළ ප්‍රචණ්ඩත්වය ඇවිලී, මහත් විනාශකාරී තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක," යනුවෙන් එම කාන්තාවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ ලිපියේ ආරම්භක ඡේදයේ සඳහන් වෙයි.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, චන්ද්‍රා කලුආරච්චි, මහාචාර්ය දුෂී මෙන්ඩිස්, ආචාර්ය සුභා මල්ලිකාහේවා, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, දිල්හානි අශෝකමාලා, දුලීකා මාරපන, ආචාර්ය කෞශල්‍යා පෙරේරා, අනෝමා රාජකරුණා, සුබෝධ්‍යා වැලිඅමුණ, රුවන්ති ද චිකේරා, ලංකා බණ්ඩාරනායක, ජයනි සේනානායක, දමිතා අබේරත්න, අමා විජේසේකර, නදී කම්මැල්ලවීර, ට්‍රේසි හෝල්සිංගර්, සීතා රංජනී, කුමුදු කුමාරසිංහ, නදීශානි පේලිආරච්චි, සුරංගා රණවක, නදී වාසලමුදලිආරච්චි, තරිදි ෆොන්සේකා, කුමාරි කුමාරගමගේ, තනුජා ජයවර්ධන, චිරන්ති මල්ලිකාරච්චි, නිල්මිණි බුවනෙක, සමාධි ලක්සිරි, චුලක්ෂි රණතුංග, රුවී ලක්මාලි හේරත්, කාංචනා තල්පාවිල, සුජානි මේනකා දහනායක, නිල්මිණි සිගේරා, සමනලී ෆොන්සේකා, බිම්සරා ප්‍රේමරත්න, වෙනුරි පෙරේරා, නිරංජලා මංජරී, ශ්‍යාමලිකා නානායක්කාර, අනුරාධා කෝදාගොඩ, රන්දුලා ද සිල්වා, හනා ඊබ්‍රහිම්, සෙල්වි සචිතානන්දන්, විශාඛා වේහැල්ල, කත්‍යානා අමරසිංහ, ප්‍රසාදිනී අතපත්තු, විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි, හර්ෂිකා රත්නායක, සුලෝචනා වීරසිංහ, කෞමදී ජයවීර, ද්‍රෞපදී ජයවීර, භවනීතා ලෝගනාදන්, තුෂාරි සෙව්වන්දි, අනුෂයා කොල්ලුරේ, මනෝහාරී හේවාවසම්, නදීරා නල්ලපෙරුම, හර්ෂණී පුෂ්පමාලා ආරච්චිගේ, ආරියවතී ජයකොඩි, තිළිණි රොද්‍රිගු, අමන්දා උදානි රොද්‍රිගු, රුචිරා තරංගනී රොද්‍රිගු, ඉන්ද්‍රා ද සිල්වා, සිරියාවති අතුකෝරළ, මනෝ මංජරී, සමදරා මාබුලගේ, තිලක්ෂණී රත්නායක සහ යශෝධා රසදුනි එම ලිපියට අත්සන් තැබූ කාන්තාවන්ය.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/VIKALPA

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම විරෝධතාවෙන් පසු කාන්තාවන් විශාල පිරිසක් අත්සන් කළ ලිපියක් ජනාධිපතිවරයාට භාර දීමට කටයුතු කර තිබිණි

විරෝධතාව පැවැත්වෙන අතරතුර ඔවුහු සිය ෆේස්බුක් පිටු ඔස්සේ සජීවී වීඩියෝ ද නිකුත් කළහ.

"ජනාධිපතිතුමනි, අපි ඉල්ලන්නේ අපේ දරුවන් සහ රටේ අනාගතය වෙනුවෙන් කරුණාකර මේ රට ඉතුරු කරන්න කියලා" යැයි රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර එක් වීඩියෝ පටයක පවසන්නීය.

බොහෝ පැසසුම් සේම මෙම විරෝධතාව දැඩි විවේචනයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැමුන් අදහස් පළ කර තිබෙනු දක්නට ලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/VIKALPA

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතාවට සහභාගී වූ සියලු කාන්තාවෝ කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ

මේ අතර, විවිධ පුද්ගලයන් අසභ්‍ය සහ අශෝභන වැකි බොහොමයක් ද පළ කර තිබෙනු දක්නට ලැබිණ.

මාධ්‍යවේදියෙකු සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ධර්මන් වික්‍රමරත්න මෙම කාන්තා විරෝධතාව විවේචනය කරමින් සිය ෆේස්බුක් පිටුවේ අදහස් පළ කර තිබුණි.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

මේ තොරතුරුද කියවන්න:

එමෙන්ම, මාධ්‍යවේදියෙකු සහ නාට්‍යවේදියෙකු වන නිස් මන් රණසිංහ ද මෙම විරෝධතාව ගැන ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර තිබුණේ පහත දැක්වෙන අදහසය.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

"මෛත්‍රීපාල සිරිසේන මහතාණනි, මේ අන්ධකාර අනාගතයට රට ඇදගෙන නොයන ලෙස අපි මේ රටේ දූ දරුවන්ගේ නාමයෙන් ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු. මේ තත්ත්වය ඇති වූයේ ඔබ විසින් ගන්නා ලද අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන තීරණ නිසාවෙනි. එය විසඳිය යුත්තේත් ඔබමය. විධායක බලතල උසුලන ඔබට අංශුමාත්‍රයක හෝ උවමනාවක් ඇත්නම් මේ අර්බුදය විසඳීමට බැරිකමක් නෑ," යනුවෙන් ද කාන්තා කණ්ඩායම ජනාධිපතිවරයා වෙත භාර දුන් ලිපියේ සඳහන් වේ.

"අපටත් අපේ දරුවන්ටත් ජීවත්වීමට ඇත්තේ මේ රට පමණි. මේ රට, ආර්ථික වශයෙන් විනාශකාරී තත්ත්වයකට ඇද වැටුණහොත්, එහි බලපෑමට ගොදුරු වන්නෝ අපි වෙමු. දේශපාලනඥයන්ට මෙන්, නීති විරෝධීව එක් රැස් කරගත් ධනස්කන්දයක් අපට නැත. දේශපාලන බල පොරය නිසා ඇතිවන ආර්ථික අගාධයේ ගොදුර වන්නේ මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ ආදී දේශපාලනඥයන් නොව, මේ රටේ සාමාන්‍ය ජනතාවයි,"

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/WOMENOFSRILANKA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති වෙත යොමු කළ ලිපිය

කාන්තාවන් සහ දේශපාලන ක්‍රියාකාරකම්

කාන්තාවන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වීම සහ ඊට සම්බන්ධ සංවිධානවලට නායකත්වය දීම ඉතා අවම මට්ටමක පවතී.

දැනට ක්‍රියාකාරී දේශපාලනයේ සහ නොයෙකුත් සංවිධානවලට නායකත්වය දරන කාන්තාවන්ට සමාජයේ ඇතැම් කොටස්වලින් එල්ල වන දරුණු චෝදනා සහ අපහාස ද නව කාන්තා නායිකාවන් බිහි වීම අවම වීමට එක් හේතුවක් බව ක්‍රියාකාරිනියෝ පවසති.

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලැබී ඇති අදහස් පළ කිරීමේ නිදහස අයුතු ලෙස භාවිත කරමින් දරුණු අපහාසාත්මක වැකි පළ කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතා පෙළපාලිය ජනාධිපති මන්දිරය අසල දී නවත්වමින් ආරක්ෂක වළල්ලක් ලෙස සිටින පොලිස් නිලධාරිනියන්

"සමාජයෙන් අඩක් වන කාන්තාව කෙරෙහි සමාජයේ ඇති පසුගාමී ආකල්පය මැන බැලීමට විශේෂ විශ්ලේෂණාත්මක දත්ත අවශ්‍ය යයි මම සිතන්නේ නැහැ. සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් තුනම අඩු වැඩි වශයෙන් කාන්තාව පුරුෂයාගේ දේපළක් ලෙස, පුරුෂයාගෙන් පාලනය විය යුතු, පුරුෂයන්ට වඩා පහළ මනුෂ්‍යන් කොටසක් ලෙස සමාජීය වශයෙන් මෙන්ම ආගමික, සහ නීතිමය රාමු තුළත් අර්ථ දක්වා තිබීම මෙන්ම, කාන්තාවන්ට කළ හැකි සහ කළ යුතු රැකියා ලෙස නම් කළ ක්ෂේත්‍ර කිහිපයක් සමාජය තුල උත්කර්ෂයට නංවා තිබීම එයට හොඳම උදාහරණ වෙනවා," යනුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂිකා ලංකා බණ්ඩාරනායක මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කළාය.

"එබැවින් එය පැහැදිලිවම කාන්තාව රටේ තීරණාත්මක දේශපාලනමය මැදිහත්වීම් වල නිරත වීම අධෛර්යය කරන්නක් බව අමුතුවෙන් සඳහන් කරන්න ඕනෙ නැහැ."

මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී කෞශල්‍යා හේරත් බීබීසී සිංහල සේවය වෙත ලිපියක් යොමුකරමින් මෙසේ සඳහන් කළාය.

"කාන්තාවගේ ප‍්‍රධාන භූමිකාව ඇගේ ජීව විද්‍යාත්මක සහ ප‍්‍රජනන කාර්යය බව ශ්‍රී ලංකාවේ පොදු ජන සමාජයේ බොහෝ දෙනා තවමත් සළකන බව ප‍්‍රසිද්ධ කාරණයක්. මෙය සෑම සමාජ ස්ථරයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එසේම ඇගේ දේශපාලනික හා සමාජයීය දැනුම සම්බන්ධයෙන් "ගෑණුන්ගේ නුවණ හැඳි මිටේ දිගයි" යන ආකල්පය තවමත් බොහෝ පිරිස් විද්‍යමාන කරනවා."

"මේ නිසා කාන්තාවට දේශපාලන අවකාශයට පිවිසෙන දොරගුළු සෘජුව මෙන්ම වක‍්‍රාකාරවත් වසා දමනු ලැබ තිබෙනවා."

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකයේ පළමු අගමැතිනිය තේරී පත්වූයේ 1960දී , එනම් මීට අවුරුදු 57කට පෙරදී ලංකාවේය

කෙසේවෙතත් ලේඛිකාවක වන කුමාරි කුමාරගමගේ පළ කළ අදහස් අනුව මෙම තත්වයට කාන්තාවන් ද වගකිව යුතුය.

"රටේ මුල්ම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට හැම වරකම පාර්ලිමේන්තුවේ ගැහැනුන් කිහිප දෙනෙකුවත් සිටියා. ඒත් රටේ ගැහැනුන්ගේ තත්ත්වය ද රට තුළ ගැහැනු පිළිබඳ මතවාදයන් ද එන්න එන්නම පහළටම වැටුනා විනා යහපත් වීමක් නම් දකින්නට ලැබුණේ නැහැ," කුමාරි කුමාරගමගේ පවසන්නීය.

"දැන් ඉඳහිට මේ ආයතනවලට තේරී පත්වෙන ගැහැනුන් එකා දෙන්නාවත් එක්කෝ ගැහැනු නියෝජනය යන්නෙහි අර්ථය දන්නේ නැහැ. නැත්නම් දන්නා වුවද නොදන්නා සේ පිරිමින් වල ඉහ ගන්නා මඩ ගොහොරුවේම ලැග ඉන්නට කැමැත්තක් දක්වනවා."

කෙසේවෙතත්, දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා පසුගිය ඡන්දවලදී නොයෙකුත් ක්‍රමවේද සහ නීති රෙගුලාසි අනුගමනය කිරීමට රජය ක්‍රියා කළ අතර, පවතින දේශපාලන තත්වයට පක්ෂව සහ විරුද්ධව බොහෝ කාන්තා සංවිධාන බිහිවෙමින් පවතී.