ඉරාන යුද්ධය නිසා කිම් ජොන් උන් උතුරු කොරියාවේ අනාගතය ගැන බියකින් පසු වනවා ද?

North Korean leader Kim Jong Un, in a grey suit jacket and a white shirt, at the centre in a red background showing an Iranian flag and damaged buildings

ඡායාරූප මූලාශ්‍රය, BBC / Andro Saini

    • Author, සංමි හන්
    • Role, බීබීසී කොරියානු සේවය
    • වාර්තාකරණය, සෝල්
  • කියවීමේ කාලය: මිනිත්තු 7

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීමෙන් පසු කිම් ජොන් උන් තුළ සංකීර්ණ සිතුවිලි තිබිය යුතු ය.

"සාධාරණීකරණය කළ නොහැකි ආක්‍රමණශීලී යුද්ධයක්" ලෙස උතුරු කොරියාව එම ප්‍රහාර ක්ෂණිකව හෙළා දැක්කේ ය. සියල්ලට පසු 1979 වසරේ සිට මෙම රටවල් දෙක "ඇමෙරිකා විරෝධී පෙරමුණේ ලේ බැඳීමක්" ගොඩ නගාගෙන ඇති අතර මිසයිල සංවර්ධනය මත හවුල්කාරිත්වයක් ගොඩනගා ගෙන ඇත.

බීබීසී පුවත් සේවය වෙත අදහස් දැක්වූ උතුරු කොරියාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට අනුව ඉරානය, ඔවුන්ගේ අවි අපනයනය සඳහා ප්‍රමුඛතම ගමනාන්තය වේ.

කෙසේ වෙතත්, ඉරානයට වඩා උතුරු කොරියාව බොහෝ වාසිදායක තත්ත්වයකට පත් කරන කරුණු දෙකක් ඇති බව විශ්ලේෂකයෝ පවසති.

එම කරුණු දෙක වන්නේ, න්‍යෂ්ටික අවි සහ චීනයයි.

2003 ඉරාක යුද්ධය අතරතුර හිටපු නායක කිම් ජොන් ඉල් දින 50ක් පුරා අතුරුදන්ව සිටියේ ය. දකුණු කොරියානු බුද්ධි අංශවලට අනුව ඔහු ඉන් වැඩි කාලයක් පියොන්යැං අගනුවර සිට කිලෝමීටර් 600ක් පමණ දුරින් පිහිටි සම්ජියොන් සංකීර්ණයේ බංකරයක් තුළ සැඟවී සිටිමින් වැඩි කාලයක් ගත කර තිබේ.

ඊට ප්‍රතිවිරුද්ධ ලෙස ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ප්‍රහාරවලින් ඝාතනය වීමෙන් අනතුරුව පවා ඔහුගේ පුත් කිම් ජොං උන් මහජනයාගේ දසුනෙන් ඈත් වී නොමැත.

එවැනි වෙනස් ප්‍රතිචාරයක් මගින් එක්තරා ආකාරයකින්, උතුරු කොරියාවේ ශක්තිය පිළිබඳ වර්ධනය වන විශ්වාසය පිළිබිඹු කරන බව දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය යටතේ උතුරු කොරියානු විශ්ලේෂණ කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂ ජැං යොං-සුක් පවසයි.

'යම් පමණකට න්‍යෂ්ටික බලවතෙක්'

A long-rang strategic cruise missile is fired in the darkness during a drill by North Korea in December 2025

ඡායාරූප මූලාශ්‍රය, AFP / KCNA VIA KNS

ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් ජොන් උන් යටතේ උතුරු කොරියාව නිරන්තර මිසයිල අත්හදා බැලීම්වල නිරත වෙයි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

උතුරු කොරියාව යනු න්‍යෂ්ටික රාජ්‍යයක් වන අතර 2025 වසරේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා පැවසුවේ, උතුරු කොරියාව "යම් පමණකට න්‍යෂ්ටික බලවතෙකු" බවත් ඔවුන් සතුව "විශාල න්‍යෂ්ටික ආයුධ ප්‍රමාණයක්" පවතින බවත් ය.

ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ 2025 වාර්තාවකට අනුව, උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික යුද අවි 50ක් පමණ ඇති අතර, තවත් 40ක් නිපදවීමට ප්‍රමාණවත් අමුද්‍රව්‍ය තිබේ. උතුරු කොරියාව කෙටි පරාසයක් ඇති සහ යුද පිටියේ භාවිතය සඳහා අදහස් කරන උපායශීලී න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කිරීමේ "අවසාන අදියරේ" සිටින බවට 2024 ජූලි මාසයේදී, දකුණු කොරියාව අනතුරු ඇඟවීය.

පසුගිය වසරේ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ ම්‍යුං ද උතුරු කොරියාව අමෙරිකාවට පවා ප්‍රහාර එල්ල කළ හැකි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් නිපදවීමට ආසන්න බව පැවසුව ද, එම මිසයිලයේ මගපෙන්වීමේ පද්ධතිය සහ වායුගෝලයට නැවත ඇතුළු වීමේදී අවිය ආරක්ෂා කර ගැනීමේ හැකියාව තවමත් ප්‍රශ්නගතව පවතී.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පැවසුවේ, ඉරානයට "ඉතා විශාල, අපේක්ෂාසහගත න්‍යෂ්ටික වැඩසටහනක්" තිබූ නමුත් ''න්‍යෂ්ටික ආයුධ නිපදවීම සඳහා වූ සංවිධානාත්මක වැඩසටහනක්" තිබූ බවට යෝජනා කෙරෙන සාක්ෂි නොදුටු බව ය.

2015 දී සන්ධිස්ථානීය න්‍යෂ්ටික ගිවිසුමකින් අනතුරුව ඉරානය එහි යුරේනියම් බලගැන්වීමේ වැඩසටහනට තවදුරටත් සීමා පැනවීමට එකඟ විය. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පරීක්ෂණ ද පුළුල් කරන ලද අතර එය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මන්දගාමී කිරීමට උපකාරී වූ බව අසාන් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (Asan Institute for Policy Studies) මැද පෙරදිග විශේෂඥයෙකු වන ජැං ජි-හියැං පවසයි.

නමුත්, 2018 වසරේදී න්‍යෂ්ටික ගිවිසුමෙන් ට්‍රම්ප්ගේ ඒකපාර්ශවික ඉවත් වීමෙන් අනතුරුව ඉරානය තම න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට ලබා දී තිබූ ප්‍රවේශය සීමා කිරීම ආරම්භ කළේ ය. පසුගිය මාසයේ AP පුවත් ඒජන්සිය වාර්තා කළේ, 2025 ජූනි මාසයේදී ඊශ්‍රායලය සමග ඇති වූ යුද්ධයෙන් අනතුරුව ඉරානය සියලු සහයෝගිතා නතර කර ඇති බව The watchdog රහසිගත වාර්තාවක සඳහන් කර ඇති බව ය.

කෙසේ වෙතත්, උතුරු කොරියාව 2006 වසරේදී සිය පළමු න්‍යෂ්ටික අත්හදාබැලීම සිදු කළ අතර ඉන් වසර 03කට පසුව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සි‍යේ සියලු පරීක්ෂකයින් රටින් නෙරපා හැරියේ ය. 2017 වසරේ සිදු කළ අවසන් අත්හදා බැලීමත් සමගින් ඔවුන් එතැන් සිට න්‍යෂ්ටික අත්හදා බැලීම් 05ක් සිදු කර තිබේ.

On the left, Kim Jong un in a dark "Mao" suit; Trump in a black suit and a red tie on the right. The two leaders are smiling and shaking hands in front of US and North Korean flags

ඡායාරූප මූලාශ්‍රය, AFP / KCNA VIA KNS

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් සහ කිම් 2018 දී සිංගප්පූරුවේදී ඓතිහාසික හමුවකට එක්වූහ

ඉන් අනතුරුව, උතුරු කොරියාව ඇමෙරිකාව සමග සම්බන්ධ වීමට උනන්දුවක් දැක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2018 සහ 2019 වසරවලදී දෙරටේ නායකයින්ගේ ඓතිහාසික හමුවීම් දෙකක් සිදුවිය. ජාත්‍යන්තර සම්බාධක ඉවත් කරවා ගැනීමට කිම්ට අවශ්‍ය වූ අතර යොන්ග්බ්යොන් න්‍යෂ්ටික බලාගාරය අක්‍රිය කිරීමට යෝජනා කළේ ය. නමුත් ට්‍රම්ප්ට ඊට වඩා දෙයක් අවශ්‍ය වූ අතර අවසානයේ සාකච්ඡා බිඳ වැටිණි.

යුක්‍රේන යුද්ධය හේතුවෙන් උතුරු කොරියාවට වැඩි වශයෙන් වුවමනා වන ආර්ථික සහ හමුදාමය සහයෝගීතාව සපයන රුසියාව වෙත සමීප වී ඇති බැවින්, උතුරු කොරියාව දැන් විශ්වාසයෙන් පසුවන බව පෙනෙන්නට ඇතැයි ඇමෙරිකානු චින්තන පර්ශදයක් වන Stimson Center's හි කොරියානු වැඩසටහන මෙහෙයවන ජෙනී ටවුන් පවසයි.

නමුත් ට්‍රම්ප් සහ කිම් අතර යහපත් සම්බන්ධතාවක් පවතින බව පෙනෙන්නට ඇති අතර, එක්සත් ජනපද ජනාධිපතිවරයා පසුගිය වසරේදී මෙන් ම මෑතකදී පවා උතුරු කොරියානු නායකයාට ප්‍රශංසා කළේ ය.

"ට්‍රම්ප් සමග ගනුදෙනු කිරීමේදී සුවිශේෂී අවස්ථා" කිම් හඳුනා ගන්නා නමුත්, ''එම සබඳතාව යළි පණ ගැන්වීමට කැපකිරීම් සිදු නොකරන" බව ටවුන් පවසයි.

එසේ වුව ද, ඉරාන යුද්ධය හෙළා දකින විටදී උතුරු කොරියාව ට්‍රම්ප්ට විවෘතව දොස් පැවරුවේ නැත. එමෙන් ම පසුගිය මාසයේ පැවැති පක්ෂ මහා සම්මේලනයේදී උතුරු කොරියාව ප්‍රකාශ කළේ, තමන්ගේ ස්ථාවරයන්ට ගරු කරන්නේ නම් ඇමෙරිකාව සමග යහපත් සබඳතාවක් පවත්වාගෙන යන බව ය. එය සැබවින් ම සාකච්ඡා සඳහා දොරටු විවෘතව තැබීමකි.

චීනය, රුසියාව සහ 'න්‍යෂ්ටික ප්‍රාණඇපකරුවන්'

භූ ගෝලීය පිහිටීම ද උතුරු කොරියාවට වාසිදායක ලෙස කටයුතු කරයි - එය චීනයට මායිම්ව පිහිටා ඇති අතර, එක්සත් ජනපදයට සහ එහි මිත්‍ර දකුණු කොරියාවට එරෙහිව තීරණාත්මක බලකොටුවක් ලෙස චීනය එය දකියි. උතුරු කොරියානු රාජ්‍ය තන්ත්‍රය බිඳ වැටුණහොත්, චීනයට මහා පරිමාණයෙන් සරණාගතයින් ගලා ඒමේ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනු ඇත.

ඓතිහාසිකව මෙම කොමියුනිස්ට් රටවල් දෙක අතර සබඳතාව "දෙතොල් සහ දත්" මෙන් සමීප බව විස්තර කර ඇත්තේ, එබැවිනි. 1961 වසරේ සිට ක්‍රියාත්මක වන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් මගින්, උතුරු කොරියාව ආක්‍රමණයකට ලක් වුවහොත් ඔවුන්ව ආරක්ෂා කරන බවට චීනය පොරොන්දු වී ඇති අතර, එය චීනය එවැනි ආකාරයේ අවබෝධතාවක් වෙනුවෙන් අත්සන් තබා ඇති එක ම ගිවිසුම ය.

පුළුල් වෙමින් පවතින න්‍යෂ්ටික අවි ගබඩාව කලාපය අස්ථාවර කරන බැවින්, චීනය සැමවිට ම උතුරු කොරියාව පරිපූර්ණ මිත්‍රයෙකු ලෙස දකින බව මින් අදහස් නොකෙරේ. සෝල් ජාතික විශ්වවිද්‍යාලයේ සංචාරක පර්යේෂකයෙකු වන ජැං යොං-සියොක් පෙන්වා දෙන පරිදි, විශේෂයෙන් ම 2024 වසරේදී දෙරට අතර අත්සන් තැබුණු ආරක්ෂක ගිවිසුමෙන් අනතුරුව රුසියාව සමග වර්ධනය වෙමින් පවතින උතුරු කොරියාවේ සබඳතා දැකීමට චීනය එතරම් සතුටු නොවනු ඇත.

"චීනයට උතුරු කොරියාවෙන් උපාය මාර්ගික වාසි තිබෙනවා... චීනය තමන්ගේ උපාය මාර්ගික අවශ්‍යතා පිළිබඳව දැඩි ස්ථාවරයක සිටින අතර කිම් ජොන් උන් මේ පිළිබඳව හොඳින් ම දන්නවා," ඔහු පවසයි.

භූගෝලීය සමීපත්වය නිසා උතුරු කොරියාව ද දකුණු කොරියාව සහ ජපානය "න්‍යෂ්ටික ප්‍රාණ ඇපකරුවන්" ලෙස තබාගෙන ඇතැයි අසාන් ආයතනයේ ජැං පවසයි.

කොරියානු රාජ්‍යයන් දෙක වෙන්ව පවතින්නේ, කිලෝමීටර් 250ක් දිග සහ කිලෝමීටර් 4ක් පළල හමුදාකරණය නොකළ කලාපයකින් පමණක් වන අතර, ඔවුන්ගේ අගනුවර දෙක අතර දුර කිලෝමීටර් 200ක් පමණි.

එයින් අදහස් කෙරෙන්නේ, ඉන්චියන් සහ ජියොංගි පළාතෙන් සමන්විත සෝල් මෙට්‍රොපොලිටන් ප්‍රදේශය උතුරු කොරියාවේ ඍජු ප්‍රහාරක කලාපය තුළ පවතින බව යැයි දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවයේ හිටපු නිලධාරී ජැං පවසයි.

"ඊශ්‍රායලය, එක්සත් ජනපදය හෝ අනෙකුත් මැද පෙරදිග රටවල් වගේ මිසයිල අවහිර කිරීමට දකුණු කොරියාවට පුළුවන් ද කියන එක ප්‍රශ්නසහගත යි," ඔහු පවසයි.

ජපානය ද පිහිටා ඇත්තේ උතුරු කොරියාවේ ඍජු ප්‍රහාරක කලාපයේ වන අතර උතුරු කොරියාව සිය අත්හදා බැලීම් අතරතුර නිරන්තරයෙන් ජපාන මුහුදට මිසයිල එල්ල කර තිබේ..

එම ආසියානු රටවල් දෙකෙහි එක්සත් ජනපද හමුදා භටයින් 80,000කට පමණ සත්කාරකත්වය සපයන අතර, මැද පෙරදිග කලාපය තුළ එක්සත් ජනපද හමුදා භටයින් 50,000ක් පමණ ස්ථානගත කර ඇත.

වොෂිංටන් පදනම් කර ගත් චින්තන පර්ශදයක් වන කොරියානු-ඇමෙරිකානු ආර්ථික ආයතනයේ එලන් කිම් පවසන්නේ, අලි කමේනි ඉරාන යුද්ධයේදී "න්‍යෂ්ටික අවි නොතිබූ නිසා අසරණ වූ බවත්", ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමෙන් තම පාලන තන්ත්‍රයේ පැවැත්ම සහතික නොවන බවත් යන දැඩි මතය කිම් ජොන් උන් තුළ ඇති වීමට ඉඩ ඇති බව ය.

"න්‍යෂ්ටික මර්දන හැකියාවක් ලුහුබැඳ යාමේදී උතුරු කොරියාව වසර ගණනාවක් තිස්සේ බොහෝ දුක් විඳ තිබුණත් මේ වගේ අවස්ථාවලදී, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටකට පහර දීමේ අවදානම නිවැරදි විකල්පයක් නොවීම ඉතා ඉහළ නිසා කිම් ජොන් උන් නිසැකව ම විශ්වාස කරන්නේ ඔහු නිවැරදි තීරණයක් ගත් බව යි," ටවුන් පවසයි.

අතිරේක වාර්තාකරණය සහ සංස්කරණය - ග්‍රේස් ට්සෝයි සහ මාර්ක් ෂියා