ඩෝසෙට් පර්වත බෑවුම්වලින් ආදිකාලීන මුහුදු රකුසෙකු සොයාගැනෙයි

ඡායාරූප මූලාශ්‍රය, BBC/Tony Jolliffe

ඡායාරූප ශීර්ෂ වැකිය, හිස්කබල ස්ටීව් එචස් සන්තකයේ ඇත. ඔහුට දැන් සත්ත්වයාගේ සිරුරේ ඉතිරි කොටසා අවශ්‍යව තිබේ

එංගලන්තයේ ඩෝසෙට්හි ජුරාසික් වෙරළ තීරයේ කඳු ප්‍රපාතයන්ගෙන් දැවැන්ත මුහුදු රකුසෙකුගේ හිස්කබලක් සොයාගෙන තිබේ.

එය, මීට වසර මිලියන 150කට පමණ පෙර මහා සාගරය ත්‍රස්ත කළ දරුණු සාගර උරගයෙකු වන ප්ලයෝසෝරයෙකුගේය.

මීටර දෙකක් දිගු මේ ෆොසිලය මෙතෙක් හමුවූ එම වර්ගයේ සත්ත්වයෙකුගේ වඩාත්ම සම්පූර්ණ ෆොසිලයන්ගෙන් එකක් වන අතර, මේ ආදිකාලීන විලෝපිකයා පිළිබඳව නව අවබෝධයක් ලබාදෙයි.

මේ හිස්කබල අලුත් අවුරුදු දිනයේ දී BBC Oneහි ඩේවිඩ් ඇටෙන්බරර් විශේෂ වැඩසටහනක දී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, BBC Studios

ඡායාරූප ශීර්ෂ වැකිය, කලා නිර්මාණයක්: අනෙකුත් විශාල සාගර උරගයින් බිම හෙළීමට තරම් වේගයක් සහ බලයක් ප්ලියෝසෝරයන්ට තිබුණි

"ඕ වාව්!"

ෆොසිලය ආවරණයකර තිබූ ඇතිරිය ඉවතට ඇද, හිස්කබල පළමු වරට ප්‍රදර්ශනය කළ අවස්ථාවේ දී බොහෝ දෙනාගෙන් හුස්ම ඉහළට ඇදගැනීම් හා පුදුමය ප්‍රකාශ කිරීම් නිකුත්විය.

මේ ප්ලයෝසෝරයා අතිවිශාලබවත්, ඉතා හොඳින් සංරක්ෂණයවී ඇතිබවත් බැලූ බැල්මට පෙනෙයි.

මීට සමාන කළ හැකි වෙනත් නිදර්ශකයක් කොහිවත් නැතැයි, ප්‍රදේශයේ පාෂාණිධාතු විද්‍යාඥයෙකු වන ස්ටීව් එචස් විශ්වාස කරයි.

"මේක මම මෙතෙක් වැඩ කරලා තියෙන හොඳම ෆොසිලවලින් එකක්. මේකෙ විශේෂත්වය වෙන්නේ ඒක සම්පූර්ණ එකක් වෙන එක යි," ඔහු බීබීසී පුවත් හා පවසයි.

"යටි හනුව යි, හිස්කබලේ ඉහළ කොටසයි [තවමත්] එකට බැඳිලා තියෙනවා, හරියට [සතා] ජීවත්ව ඉඳිද්දි තියෙන්න ඇතිවා වගේ."

ලොව වටෙන්ම, මෙතරම් හොඳින් තොරතුරු සංරක්ෂණය වී පවතින මට්ටමේ කිසිදු නිදර්ශකයක් සොයාගත නොහැකි තරම් ය. එවැනි ඒවා තිබේ නම්, ඒවා ද බොහෝ කැබලි අතුරුදන්වී ඇති ඒවා ය. එනමුත් මේ ෆොසිලය ගත්කල, එය මඳ වශයෙන් විකෘතිවී ඇතත්, එහි සියලුම අස්ථි කොටස් අඩංගුව පවතියි.

ඡායාරූප මූලාශ්‍රය, BBC Studios

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ටීව් එචස්, ඔහු සොයාගත් පළමු කැබැල්ල වන හොඹුව ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරර්ට පෙන්වයි

හිස්කබලෙ බොහෝ මිනිසුන්ගේ උසට වඩා දිගු අතර, මේ සත්ත්වයා මුළුමනින්ම ගත්කල කෙතරම් විශාලදැ යි ඔබට අදහසක් ලබාදෙයි.

ඔබට මෙහි දත් 130, විශේෂයෙන්ම ඉදිරි දත් ගැන අවධානය යොමු නොකිරීමට නොහැකි ය.

දිගු හා අතිතියුණු ඒවායින් සතෙකු එක් සැපුමකින් මරා දැමිය හැකි ය. නමුත් ඔබ තවත් සමීපව ඒවා දෙස බැලීමට එඩිතරවන්නේ නම්, මේ සෑම දතකම පිටුපස සියුම් වැටි ඇතිබව දැකගත හැකි ය. මේවා මේ මෘගයාට මස් සිදුරු කිරීමටත්, අනතුරුව වේගවත් දෙවන ප්‍රහාරයකට සූදානම්වීමට උගේ කිණිසි වැනි දත් ඉක්මනින් ඉවතට ඇදගැනීමටත් උපකාරී වන්නට ඇත.

ඡායාරූප මූලාශ්‍රය, BBC/Tony Jolliffe

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ කට්ටයන් ඇත්ත වශයෙන්ම (ආහාර) කැපීමට සහ දත් ඉන් ඉවතට ඇදගැනීමට උපකාරීවනබව අත්හදා බැලීම්වලින් පෙනී යයි

ප්ලයෝසෝරයින් පරම ඝාතකයින් විය. මීටර 10 - 12ක් දිගු සිරුරකින් හා ඒ සිරුර අධිවේගයෙන් ඉදිරියට ගෙනගිය බලවත් අවල් පාද වැනි ගාත්‍රා හතරකින් යුතුවූ උහු සාගරයේ අග්‍ර විලෝපිකයෝ වූහ.

"මේ සතා කොච්චර විශාලෙට ඉන්න ඇත්ද කියනවා නම්, මම හිතන්නෙ ඌ අවටට එන්න තරම් අවාසනාවන්ත වුණු ඕනෑම සතෙක් ලේසියෙන්ම ගොදුරුකර ගන්න ඌට හැකිවෙන්න ඇති," බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයයේ ආචාර්ය ඔන්ඩ්‍රේ රෝව් ප්‍රකාශ කළේ ය.

"මෙයා නිකන් දිය යට ටී රෙක්ස් එකෙක් වගේ වෙන්න ඇති, මට ඒ ගැන කිසි සැකයක් නෑ."

මේ සත්ත්වයාගේ ආහාර අතරට උගේ දිගු බෙල්ලක් සහිත ඥාතියෙකු වන ප්ලෙසියෝසෝර්, සහ ඩොල්ෆින් සතෙකු වැනි ඉක්තියොසෝර් වැනි උරගයින් අයත්වන්නට ඇත. එසේම, උන් අනෙකුත් ප්ලයෝසෝර් සතුන් ද ආහාරයට ගන්නට ඇතැයි ෆොසිලමය සාක්ෂි අනාවරණය කරයි.

මෙම ෆොසිල හිස්කබල ගොඩගැනුණු ආකාරය ද අතිවිශේෂ ය.

දකුණු එංගලන්තයේ සුප්‍රසිද්ධ ලෝක උරුම ජුරාසික් වෙරළ තීරයේ කිමරිජ් බොක්ක ආසන්නයේ වෙරළක ඇවිදයෑමේ දී අහම්බෙන් සිදුකළ සොයාගැනීමකින් එය ඇරඹුණි.

ස්ටීව් එචස්ගේ මිතුරා ද, සහෘද ෆොසිලලෝලියෙකු ද වූ ෆිල් ජේකබ්ස්ට, වෙරළේ බොරළු කැට මත වැටී තිබූ ප්ලයෝසෝරයාගේ හොඹුවෙහි කොණ හමුවිය. එය ගෙනයෑමට නොහැකි තරම් බරින් අධිකවූ නිසා ඔහු ආපිට ගොස් ස්ටීව් කැඳවාගෙන ආ අතර, දෙදෙනා එක්ව ෆොසිල කොටස ආරක්‍ෂිත ස්ථානයකට ගෙනයෑම සඳහා ස්ට්‍රෙචරයක් සෑදූහ.

ඡායාරූප මූලාශ්‍රය, BBC Studios

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම මුළු කැණීමම ඩෝසෙට් වෙරළට ඉහළින් කඹවලින් එල්ලී සිටිමින් සිදුකෙරිණි

නමුත් මේ සත්ත්වයාගේ ඉතිරි කොටස තිබෙන්නේ කොහි ද? ඩ්‍රෝන යොදා සමීක්ෂණය කිරීමේ දී, එය තිබිය හැකි ස්ථානයක් වෙරළට ඉහළින් පිහිටි කඳු ප්‍රපාතයේ මුහුණතෙන් හඳුනාගැනුණි. ගැටළුව වූයේ, එය කැණීමට හැකි එකම ක්‍රමය පර්වත බෑවුමට ඉහළින් ගැටගැසූ කඹ මාර්ගයෙන් පහළට බැසීම වීම ය.

පර්වතයකින් ෆොසිලයක් ඉවත්කර ගැනීම හැමවිටම ඉතා වෙහෙසකර, සියුම් කටයුත්තක් වෙයි. නමුත්, කැඩි කැඩී වැටෙන පර්වත බෑවුමක, වෙරළේ සිට මීටර 15ක් උසින් කඹ මඟින් එල්ලී හිඳින අතරේම මෙය සිදුකිරීමට නම් වෙනත් අන්දමක දක්ෂතාවන් අවශ්‍යවෙයි.

ධෛර්යය, කැපවීම, හා හිස්කබල පිරිසිදු කිරීමට ගතවූ මාස ගණන නිසැකයෙන්ම අපතේ ගොස් නැත. මේ විස්මයජනක උරගයින් ජීවත්වූයේ කෙසේ ද, ඔවුන්ගේ පරිසර පද්ධතියෙහි ආධිපත්‍යය දැරුවේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් නව අවබෝධයක් ලබාගැනීම සඳහා, ලොව වටා විද්‍යාඥයින් ඩෝසෙට් ෆොසිලය නැරඹීමට පැමිණීම සඳහා මහත් හාහෝවක් නගනු ඇත.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පාෂාණිධාතු ජීව විද්‍යාඥවරියක වන මහාචාර්ය එමිලි රේෆීල්ඩ් දැනටමත් හිස්කබලෙහි පිටුපසට වන්නට පිහිටි විශාල, වෘත්තාකාර විවරයන් පරීක්ෂාකර ඇත. ඒවා, ප්ලයෝසෝරගේ හනුව ක්‍රියාත්මක කරවන පේශීන්හි විශාලත්වය ද, උගේ ගොදුර කුඩුකර දමමින් වේගයෙන් වැසෙන මුවෙන් ජනනය කරන බලය ගැනත් ඇයට පවසයි.

මෙහිදී ජනනය වන ඉහළම බලය සැලකුවහොත්, එය නිව්ටන් 33,000ක් පමණ වනු ඇත. වඩාත් පැහැදිලිව සසඳා පෙන්වුවහොත්, මිහිපිට වෙසෙන වැඩිම හකු බලයක් සහිත සතුන් වන්නේ ගැට කිඹුලන් ය. උන්ගේ හකු බලය නිව්ටන් 16,000ක් පමණි.

"ඉතාම බලවත් හැපීමක් සිද්ධ කරන්න ඔයාට පුළුවන් නම්, ඔයාට ඔයාගෙ ගොදුර අඩපණ කරලා දාන්න පුළුවන්; එතකොට ගොදුර පැනලා යන්න තියෙන ඉඩකඩ අඩු යි. බලවත් හැපීමක් තියෙනවා කියන්නේ, ඔයාට මස් සහ ඇටකටු ඉතා සාර්ථක ලෙස හපලා දාන්න පුළුවන් කියන එක යි," බ්‍රිස්ටල් සිට පැමිණි පර්යේෂිකාව පැවසුවා ය.

"ආහාර ගන්න උපක්‍රම ගැන සැලකුවොත්: කිඹුලො උන්ගෙ හකුවලින් යමක් තදින් අල්ලාගෙන, ඊට පස්සෙ කරකවලා අඹරලා ගන්නවා, සමහර විට ගොදුරේ ගාතයක් අඹරල ගලවලා ගන්න බලාගෙන. මේක, හිසේ පිටුපසින් පුළුල් සතුන් අතරෙ අපි දකින ලක්ෂණයක්. අපි මේක ප්ලයෝසෝර්ලගෙත් දකිනවා."

ඡායාරූප මූලාශ්‍රය, BBC/Tony Jolliffe

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ කුඩා කූපයන්, මේ සත්ත්වයාගේ සංවේදන පද්ධතියේ කොටසක් විය හැකි ය

මේ සත්ත්වයාට සුවිශේෂී ලෙස තියුණු සහ ඉතා ප්‍රයෝජනවත් සංවේදනයන් තිබූබව යෝජනා කරන ලක්ෂණ, අලුතින් සොයාගත් මෙම නිදර්ශකහි දක්නට ඇත.

එහි හොඹුව කුඩා කූපවලින් (pits) වැසී ඇත. ළඟ එන ගොදුරක් විසින් ජල පීඩනයෙහි සිදුකෙරෙන වෙනස්කම් හඳුනාගැනීමට ඌට උපකාර වන ග්‍රන්ථින් මෙම ස්ථානයන්හි පිහිටා තිබුණා විය හැකි ය. උගේ හිසෙහි පාර්ශ්වික, නොඑසේ නම් තෙවැනි ඇසක් පිහිටා තිබෙන්නට ඇති සිදුරක් වෙයි. අද ද කටුස්සන්, ගෙම්බන් හා ඇතැම් මත්ස්‍ය විශේෂයන්ට මේවායින් එකක් පිහිටා තිබේ. එය ආලෝකයට සංවේදී වන අතර, අනිත් සතුන් සිටිනා තැන් සොයාගැනීමට, විශේෂයෙන්ම ප්ලයෝසෝරයා ගැඹුරු, අපැහැදිලි ජලයෙන් මතුවන අවස්ථාවේ දී එසේ කිරීමට උපකාර වන්නට ඇත.

ස්ටීව් එචස් ලබන වසරේ දී කිමරිජ්හි පිහිටි ඔහුගේ 'Etches Collection' (එචස් එකතුව) නම් කෞතුකාගාරහි මේ හිස්කබල ප්‍රදර්ශනයට තබනු ඇත.

එහි හිස පිටුපසින් පිටතට එබී ඇති කශේරුකා කීපයක් ඇතත්, අස්ථි කීපයකින් පසු ඒවා විහිදී, අඩුවී යයි. ෆොසිලයේ තවත් කොටස් කඳු ප්‍රපාතයේ ඉතිරිව තිබිය හැකිබවට මේවා පොළඹවනසුළු ඉඟි සපයයි. ස්ටීව්, ඔහු ආරම්භ කළ දෙය අවසන් කිරීමට දැඩි උනන්දුවක් දක්වයි.

ඡායාරූප මූලාශ්‍රය, BBC/Tony Jolliffe

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩෝසෙට්හි පිහිටි මේ කිමරිජ් මැටි කඳු බෑවුම් වරක් උණුසුම් ජුරාසික මුහුදක පතුලෙහි පිහිටි මඩ විය

"මම මගෙ ජීවිතේ ඔට්ටුවට අල්ලලා කියනවා, සතාගෙ ඉතිරි කොටස එහෙ තියෙනවා," ඔහු බීබීසීයට කියයි.

"ඒ වගේම ඒක ඉක්මනට එළියට එන්න ඕන, මොකද ඒක ඉතා වේගයෙන් ඛාදනය වෙන පරිසරයක්. පර්වත බෑවුමේ මේ කොටස අවුරුද්දකට අඩිය ගාණෙ පස්සට එනවා. ඉතින් ප්ලයෝසෝර්ගෙ ඉතිරි කොටසත් එළියට වැටිලා නැතිවෙලා යන්න මහ කාලයක් යන එකක් නැහැ. ඒක ජීවිතේට එක සැරයක් විතරක් ලබෙන අවස්ථාවක්."