අධික උණුසුම් කාලගුණයෙන් ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීමට මේ පියවර අනුගමනය කරන්න

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍යමය ගැටලු මතු වීමේ අවදානමක් මතුව ඇතැයි වෛද්‍යවරු අනතුරු අඟවති.
එමෙන් ම, මේ දිනවල පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වෙන බැවින් දරුවන් හිරු එළියට නිරාවරණය වීම හේතුවෙන් රෝගී වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ඔවුන්ගේ අදහස යි.
එබැවින් දරුවන්ට දැඩි උෂ්ණත්වයෙන් බලපෑමක් ඇති නොවීම සඳහා අවදානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් මෙම ලිපියෙහි අන්තර්ගත වේ.
උෂ්ණත්වය අධික වේලාවලදී එළිමහනේ සිටී නම් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග
උණුසුම අධික වීම, හොඳින් පුරුදු පුහුණු නොවී ශක්තිය අධිකව වැය වන ක්‍රීඩා සඳහා යොමු වීම හේතුවෙන් මෙන් ම රස්නය අධික කාලයේදී ක්‍රීඩා කිරීමට ගැලපෙන ඇඳුම් භාවිත නොකිරීමෙන් විවිධ සෞඛ්‍යමය ගැටලු ඇති විය හැකි බව ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රොෂාන් වෙළඳගේ බීබීසී සිංහල සේවයට පැවසීය.
වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, උෂ්ණත්වය අධික වේලාවන්වලදී දරුවන් ශක්තිය වැය වන ක්‍රීඩා සඳහා යොමු වීමෙන් විජලනය සහ ලවණ අසමතුලිතතා ඇති විය හැකි බව ය.
"ඒගොල්ලෝ හොඳට දියර වර්ග අරගෙන ඉන්න ඕන. මහන්සි වෙලා, දාඩිය දාලා ඇඟේ තියෙන වතුර ටික අයින් වෙනවා. ඊට අමතරව අධික උෂ්ණත්වය නිසාත් ඇඟේ තියෙන වතුර ටික අයින් වෙනවා. අනවශ්‍ය විදියට වෙහෙස මහන්සි වෙන නිසාත් ඇඟේ තියෙන වතුර ටික අයින් වෙනවා. ඔය ඔක්කොම එකතු වෙලා ලවණ සහ ජලය ඇඟෙන් අනවශ්‍ය විදියට අයින් වෙන්න පුළුවන්. ඒ නිසා විජලන තත්ත්වයන්, ලවණ අසමතුලිතතා ඇති වෙන්න පුළුවන්."
එලෙස ලවණ අසමතුලතාව සහ විජලනය වීම හේතුවෙන් හදිසි රෝගී තත්ත්වයන්ට ගොදුරු විය හැකි බව ද ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා සඳහන් කළේ ය.
"උෂ්ණත්වය නිසා ඒගොල්ලෝ අධික වෙහෙසකට පත්වෙන්න පුළුවන්. ඒ නිසා තමුන් කරන ටාගට් එක එක පාරට කර ගන්න බැරි වෙනවා. මීටර් 100 දුවන ළමයා මීටර් 50න් වැටෙනවා වගේ. එහෙම වැටෙන්නේ එයාට දුවන්න බැරි නිසා ම නෙමෙයි, ශරීරය ඇතුළේ තියෙන වෙනත් පරිවෘත්තීය ක්‍රියා සඳහා අවශ්‍ය උෂ්ණත්වය වෙනස් වෙලා නිසා."
එවන් අවස්ථාවක වහා ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු බව වෛද්‍ය රොෂාන් වෙළඳගේ පැවසූ අතර, ක්‍රීඩා උත්සව පවත්වන විට ප්‍රථමාධාර ඒකකයක් පවත්වාගෙන යාම සුදුසු බව ද පෙන්වා දුන්නේ ය.
"ඒගොල්ලෝ එළිමහනට යවන්න කලින් ලවණ සහිත ජලය බොන්න දීලා, ජීවනී වගේ දේවල් දීලා, ඇඟේ සීනි මට්ටම අඩු වෙන්න දෙන්නේ නැතුව හොඳට කෑම කාලා ඒ වැඩ ටික කර ගන්න ඕනේ."
ජීවිත අවදානමක් ඇති කරන හීට් ස්ට්‍රෝක්
මෙලෙස අධික උෂ්ණත්වය නිසා තාප කම්පන (Heat Stroke) ඇති විය හැකි බව පෙන්වා දුන් වෛද්‍ය රොෂාන් වෙළඳගේ එය ජීවිත අවදානමක් ඇති කරන රෝගී තත්ත්වයක් බව කියා සිටියේ ය.
"අපේ රටේ එච්චර ම සුලභ නැති දෙයක් තමයි හීට් ස්ට්‍රෝක් කියන එක, ඒක ජීවිත අවදානමක් ඇති වන තත්ත්වයක්. ශරීර උෂ්ණත්වය එක පාර විශාල වශයෙන් ඉහළ යනවා. උණ ගත්තා ම අපේ ඇගේ උෂ්ණත්වය වැඩි වෙනවා වගේ, එතකොට ශරීරයට බෑ අවට පරිසරයේ තියෙන උෂ්ණත්වය එක්ක තමන්ගේ ශරීරයේ උෂ්ණත්වය සමහර වෙලාවට ගලප ගන්න. එහෙම ඇවිල්ලා හීට් ස්ට්‍රෝක් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්."
එවැනි තත්ත්වයකදී දහදිය දැමීම, ශරීර උෂ්ණත්වය වැඩිවීම සහ සමෙහි වේලීමක් ඇති වන බවත් එය ඉතා හදිසි තත්ත්වයක් ලෙස සලකන බැවින් එවන් අවස්ථාවක සිදුකළ යුතු ප්‍රතිකාර කළ යුතු බව ද වෛද්‍යවරයා පැවසීය.
"ඒ වගේ අවස්ථාවක ඇඟට අවශ්‍ය කරන සේලයින් දීලා, ඇඟ කූල් කරලා අවශ්‍ය මෙඩිකල් මැනේජ්මන්ට් එකක් තියෙනවා. ඒ වගේ වෙලාවකත් කවුරුහරි පළපුරුදු සෞඛ්‍ය සහයකයෙක් තියා ගන්න එකෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත් වෙන හෝ ලෙඩ වීම වළක්වා ගන්න උදව්වක් වෙන්න පුළුවන්."
සමෙ රෝග ඇති වීම වළක්වා ගන්නේ කෙසේ ද?
අධික හිරු එළියට නිරාවරණය වීමෙන් සමෙහි රෝග ඇති විය හැකි බවට අනතුරු ඇඟවූ ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රොෂාන් වෙළඳගේ, එය දීර්ඝ කාලීනව පැවතිය හැකි බව ද පැවසීය.
"සම ඩැමේජ් වෙන්න පුළුවන් සූර්ය ආලෝකය නිසා. ඒක දීර්ඝ කාලීනව පවතින්න පුළුවන්. සමහර දීර්ඝ කාලීන සමේ රෝගවලට ඒක අවස්ථාවක් වෙන්න පුළුවන්."
හිරු එළියට නිරාවරණය වූ ශරීර කොටස් හොඳින් සේදීම මෙන් ම ක්‍රීඩා කිරීමට පෙර හිරු එළියෙන් ආරක්ෂා වීමට භාවිත කරන ක්‍රීම් වර්ග භාවිත කිරීම තුළින් ද යම් තරමක ආරක්ෂාවක් ලබා ගත හැකි බව ද ඔහු කියා සිටියේ ය.
නිදන්ගත රෝග සහ වෙනත් රෝග ඇති දරුවන්ට උපදෙස්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
නොදැනුවත්ව රෝගවලින් පෙළෙන දරුවන්, ශ්වසන රෝග සහිත දරුවන් සහ යම් රෝගයකින් සම්පූර්ණයෙන් ම සුවය නොලැබූ දරුවන් මෙන් ම නිදන් ගත රෝග සහිත දරුවන් එක්වර ම දැඩි හිරු රශ්මියට නිරාවරණය වීමෙන් ගැටලුව හැකි බැවින් වෛද්‍ය උපදෙස් මත ඔවුන් ක්‍රීඩා කටයුතුවලට යොමු කිරීම සුදුසු බව වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.
"ඒගොල්ලන්ව ක්‍රීඩාවෙන් ඈත් කරලා තියෙන්න ඒක හේතුවක් නෙමෙයි. ඒ අයගේ ලෙඩේට ගැලපෙන ක්‍රීඩා මොනවා ද කියලා කලින් දැනගෙන වෛද්‍ය උපදෙස් අරගෙන තමයි ඒවාට සහභාගී කරවන්න ඕන."
"අපි හිතමුකෝ දියවැඩියාව තියෙන දරුවෙක් කියලා, එයාට දීර්ඝ කාලීනව දියවැඩියාව තියෙනවා. ක්‍රීඩා සඳහා යොමු වෙනවා නම් එයා ගන්න බෙහෙත් ප්‍රමාණ අඩුවෙන් දෙන්න ඕනේ. මොක ද එයා ශක්තිය කොහොමත් වැය කරනවා එයාට ඕන වෙලාවට එයාට කෑම හම්බවෙන්නේ නැහැ. ඉන්සියුලින් ගන්න දරුවෙක් නම් නොදන්න මොහොතක කෑම, ශක්තිය නැති වෙලා සීනි ඕනවට වැඩියෙන් අඩුවෙන්න පුළුවන්. ශක්තිය එන්න කියලා ග්ලූකෝස් දෙන එකෙන් අනවශ්‍ය විදියට සීනි වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා එහෙම වෙන්න දෙන්නේ නැතිව වෛද්‍ය උපදෙස් අරගෙන එදාට දෙන බෙහෙත් ප්‍රමාණය ටිකක් අඩු කරලා දෙනවා. එතකොට එයාට ඒ නිසා එන්න තියෙන කරදර අඩු කරගන්න පුළුවන්," රොෂාන් වෙළඳගේ පැවසීය.
එමෙන් ම ඉක්මනින් උෂ්ණත්වය පිටවන ක්‍රීඩාවට ගැලපෙන ඇඳුම් භාවිතය තුළින් ද රස්නය අධික කාලගුණයෙන් විය හැකි රෝගාබාධ වළක්වා ගත හැකි බව ද වෛද්‍යවරයා පැවසීය.
එමෙන් ම වැඩිහිටියෙකු දරුවන් සම්බන්ධව නිරන්තර අවධානයෙන් සිටීම ඉතා වැදගත් බවත්, එක දිගට ම අධික උෂ්ණත්වය යටතේ එළිමහනේ දරුවන් නොතබා සුළු විවේක ලබා දී ඔවුන් ක්‍රීඩාවට යොමු කිරීම මගින් ද ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු වළක්වා ගත හැකි බවත් වෛද්‍ය රොෂාන් වෙළඳගේ බීබීසී සිංහල සේවයට පැවසීය.
විජලනය වළක්වා ගැනීමට සුදුසු පාන වර්ග මොනාවා ද?
අධික රස්නය නිසා ඇති විය හැකි විජලනය වළක්වා ගැනීමට ලවණ සහිත පාන වර්ග දරුවන්ට ලබා දීම සුදුසු බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.
"ලවණ සහිත ජලය තමයි හොඳ. තැඹිලි, ජීවනී, දෙහි ඒ වගේ දේවල් හොඳයි. සමහරු ග්ලූකෝස් පාවිච්චි කරනවා, ග්ලුකෝස් පාවිච්චි කළත් හොඳට වතුර බොන්න ඕන. පැණි බීම නම් ඒ හැටි හොඳ නැහැ. පැණි බීම ඒ වෙලාවේ රසක් මිසක් ලවණ ලැබෙන්නේ නම් නැහැ."
ළමා රෝග පිළිබඳ වෛද්‍ය රොෂාන් වෙළඳගේ සඳහන් කළේ, උෂ්ණත්වය අධික අවස්ථාවක දරුවෙකු ක්‍රීඩා කරන අතරතුර සෞඛ්‍ය ගැටලුවක් මතු වුවහොත් වහා ම දරුවා එම ස්ථානයෙන් ඉවත් කර සෙවණ සහිත ස්ථානයකට ගෙන ගොස් සිහිය ඇත්නම් ජීවනී පානය කිරීමට දීම සුදුසු බව ය.
"ක්ලාන්තයක් වගේ නම් කඳට සාපේක්ෂව හිස පහළට ඉන්න සලස්වලා, ටිකක් තෙමලා, සිහිය තියෙනවා නම් ජීවනී ටිකක් පොවලා කොහොමත් වහා ම මෙඩිකල් ඇඩ්වයිස් ගන්න ඕන."
අධික උෂ්ණත්වයක් පවතින මෙවන් දිනවල ක්‍රීඩා උත්සව සංවිධානය කිරීමේදී පළපුරුදු සෞඛ්‍ය උපදේශයෙකු එම අවස්ථාවට සහභාගී කරවාගෙන, ප්‍රථමාධාර ලබා දීමට මෙන් ම හදිසි අවස්ථාවක රෝහලක් වෙත රෝගී වූ දරුවෙකු ගෙන යාමට අවශ්‍ය කටයුතු කල් තබා සූදානම් කර තබා ගැනීම ද වැදගත් බව ළමා රෝග පිළිබඳ වෛද්‍ය රොෂාන් වෙළඳගේ වැඩිදුරටත් කියා සිටියේ ය.


































