ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ට ඇති අවස්ථා මොනවා ද? අයැදුම් කරන්නේ කෙසේ ද?

ඊශ්‍රායල් රැකියා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින්ගේ දැඩි උනන්දුවක් පවතී.

කලාපයේ යුද ගැටුම් පැවතිය ද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගත් විදේශ රැකියා ගමනාන්තයක් වශයෙන් ඊශ්‍රායලය හඳුන්වා දිය හැක. විශේෂයෙන් ම ‍එරට රැකියා සඳහා හිමි වන වැටුප් හේතුවෙන් ඒ කෙරෙහි ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි ආකර්ෂණයක් මෙන් ම අවධානයක් යොමුව ඇත.

මෙම ලිපිය මගින් විමසා බැලෙන්නේ, ඊශ්‍රායල් රැකියා සඳහා යොමු වීමේදී ඔබට වැදගත් වන කරුණු පිළිබඳව ය.

දැනට නිෂ්පාදන හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා එරට නව රැකියා අවස්ථා පවතී.

ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා යාම පහසු කටයුත්තක් නොවේ. එය ලබා ගැනීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය (SLBFE) මැදිහත් වී සිදු කරනු ලබන අතර, එම ක්‍රියාවලිය හරහා ගමන් කිරීම සරල නොවේ.

මේ පිළිබඳව 2024 වර්ෂයේදී ඊශ්‍රායල් රැකියා සිහිනය සැබෑ කර ගත් පුබුදු නුවන් බීබීසී සිංහල වෙත මෙලෙස අදහස් දැක්වීය.

"ඊශ්‍රායලයට රැකියාවකට එනව නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා පමණක් එන්න. ඒක ගොඩක් සුරක්ෂිත ක්‍රමයක්. ඒ වගේ ම ඊශ්‍රායල් එන්න හිතන් ඉන්නව නම් ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න බලාගෙන එන්න. වැඩිහිටි සත්කාර, හෝටල්, ඉදිකිරීම්, කෘෂිකර්මාන්ත, සුපිරි වෙළෙඳසල් ආශ්‍රිත රැකියා සාපේක්ෂව වැඩි යි. එන්න කලින් ඉංග්‍රීසි හරි හීබෲ භාෂාවන් හරි දැනගෙන එන්න පුළුවන් නම් ඔයාලට මෙහේ දේවල් ගොඩක් ලේසියෙන් කර ගන්න පුළුවන්. මෙහේ වැඩි හරියක් ගෙවන්නේ වැඩ කරන පැය ගාණට අනුව. වැඩියෙන් වැඩ කළොත් වැඩියෙන් පඩි ගන්න පුළුවන්. මෙහේ එන්න මට ලොකු හීනයක් තිබ්බා. මම ඒ වෙනුවෙන් මහන්සි වුණා. කැපවුණා. මෙහේ ආවයින් පස්සෙත් අරමුණ අමතක නොකර වැඩ කරන්න පුළුවන් නම් ඔයාට ඇත්තට ම ඔයාගේ ජීවිතේ හීන හැබෑ කර ගන්න ඊශ්‍රායල් රැකියා ලොකු හයියක් වෙනවා."

ඊශ්‍රායල් රැකියා

ඡායාරූප මූලාශ්‍රය, David Silverman/Getty Images

වැඩි ම ඉල්ලුමක් ඇති රැකියා ක්ෂේත්‍ර මොනවා ද?

ඊශ්‍රායල් රජය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම් අනුව මෙරට පුරවැසියන් ඊශ්‍රායල් රැකියා සඳහා යොමු කිරීමට ජාතික මට්ටමේ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක වේ. ඉන් වැඩි ඉල්ලුමක් සහිත වැඩසටහනක් ලෙස රැකබලා ගන්නන්ගේ රැකියා වැඩසටහන (Caregiver Employment Program) හැඳින්විය හැකි ය.

ශ්‍රී ලංකා රජය මේ වන විට Caregiving අංශයට 2026 වසර තුළ පමණක් සාත්තු සේවක සේවිකාවන් 1000ක් යොමු කිරීමට කටයුතු කරමින් සිටියි. මේ සම්බන්ධව මූලිකව ම කරුණු සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය (SLBFE) හරහා ය. මෙම කෝටාවෙන් දැනටමත් 107 දෙනෙකු ඊශ්‍රායලය සඳහා පිටත්ව ගොස් ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, Government to Government ක්‍රමවේදය හරහා වන අතර විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා පමණක් මෙම රැකියා සඳහා යොමු කිරීම සිදුවේ. මෙවන් රැකියාවකට යාමට සපුරාලිය යුතු සුදුසුකම් සහ අනෙකුත් වැදගත් කරුණු මෙසේ ය.

  • ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මෙහෙයවන හෝ එම ආයතනය යට‌තේ ලියාපදිංචිය ලත් ආයතනයක් මගින් මෙහෙයවන Caregiving (NVQ Level III) පාඨමාලාව සම්පූර්ණ කර තිබීම.
  • Caregiving හෝ Nursing ක්ෂේත්‍රයේ හෝ මාස 11ක අත්දැකීම් හා පළපුරුද්ද සම්පූර්ණ කර තිබීම
  • වයස අවු 25 සහ 45 අතර වීම‍
  • අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී තිබීම
  • විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ඉංග්‍රීසි භාෂා පාඨමාලාව සම්පූර්ණ කිරීම

ඉහත සුදුසුකම් සම්පූර්ණ කරන සියලු දෙනාට මෙම රැකියා සඳහා අයැදුම් කළ හැකි අතර ඔවුන්ට වසර 05ක සේවා කාලයක් සඳහා වීසා හිමි වේ. මෙම වැඩසහටන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා පමණක් සිදුවේ.

ඊශ්‍රායලයේ රැකියා සඳහා මෙරට පුරවැසියන් යොමු කිරීමේ තවත් වැඩසටහනක් ලෙස Agricultural Employment Programme වැඩසටහන හඳුන්වා දිය හැක. මෙම වැඩසටහන ද මෙරට රජය සහ එරට රජය අතර ඇති කර ගත් එකඟතාව මත ක්‍රියාත්මක වන වැඩසටහනකි.

ඒ සඳහා අයැදුම් කිරීමේදී නිශ්චිත සුදුසුකම් දක්වා නොමැති අතර මනා ශරීර සුවතාවකින් යුක්ත වීම වඩාත් වැදගත් කොට සලකනු ලැබේ.

මෙම රැකියාවකට යාමේදී කෘෂිකර්මාන්තය පිළිබඳ මූලික අවබෝධයක් තිබීම ප්‍රමාණවත් වන අතර වඩා වැඩි රැකියා සංඛ්‍යාවක් හිමිව ඇත්තේ එරට ගොවිපළ ආශ්‍රිතව ය.

වර්තමානය වන විට උක්ත වැඩසටහන් දෙක සක්‍රීයව මෙරට රජය ක්‍රියාත්මක වන අතර රජයේ නිල නිවේදනයන්ට අදාළව සුදුසුකම් සම්පූර්ණ වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල නිවේදන අනුව අයැදුම් කළ හැකි ය.

රැකියා අහිමි විය හැක්කේ කෙසේ ද?

"අපි එන්න කලින් ගිවිසුම්ගත වන විදිහට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ උපදෙස්වලට අනුව වැඩ කළොත් කිසි ම ගැටලුවක් නැතුව වැඩ කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපට ලබා දුන්න වීසා අහිමි වෙලා ආයේ ලංකාවට යන්න වෙන්නත් පුළුවන්. එහෙම වෙන අවස්ථාත් අපි දැකල තියනවා."

පුබුදු පවසන පරිදි තම රැකියා අවස්ථාව අහිමි විය හැකි අවස්ථා පිළිබඳ දැනුවත් වීම අතිශය වැදගත් ය. එම අවස්ථා මෙසේ ය.

  • සේවා ආයතනය වැඩ කරන පුද්ගලයාගේ වැඩ හෝ හැසිරීම අසතුටුදායක බවට තීරණය කිරීම.
  • අසනීප තත්ත්වය නිසා සේවා ස්ථානය තුළ අඛණ්ඩව සේවයේ නිරත වීමට නොහැකි වීම.
  • රැකියාවට පැමිණීමට පෙර එකඟ වූ ගිවිසුමේ කොන්දේසි කුමක් හෝ කඩ කිරීම. මෙලෙස කඩ කිරීමකදී ගිවිසුම්ප්‍රකාරව රැකියාගත වූ පුද්ගලයාට වන්දි වශයෙන් රුපියල් මිලියන පහක මුදලක් පළමු පාර්ශවයට ගෙවීමට සිදුවේ.
  • ඊශ්‍රායලයට හෝ ශ්‍රී ලංකා රජයට විරෝධී කුමන හෝ ක්‍රියාවකට සම්බන්ධ වීම හෝ සම්බන්ධ වූ බවට සැක කිරීම.

මේ දිනවල පවතින වාතාවරණය හමුවේ සාමාන්‍ය පරිදි ඊශ්‍රායල් වැසියන් මෙන් ම ශ්‍රී ලාංකික ප්‍රජාව ද වැඩබිමට යන බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් පවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවත් පුබුදු පැවසීය.

ඉදිරියේදී කෘෂිකාර්මික හා සාත්තු සේවය පමණක් නොව තවත් ක්ෂේත්‍ර සඳහා රැකියා අවස්ථා උත්පාදනය කිරීමට සැලසුම් සකස් කර ඇත.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවකයින් රැසක් ඊශ්‍රායලයේ රැකියාවල

මේ අතර, මීට පෙර පැවති රජය ගත් තීන්දුවක් මත රජයේ සේවකයින් වසර තුනක කාලයක් සඳහා විදේශගත රැකියා සඳහා නිදහස් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

එම වැඩසටහන යටතේ, මේ වන විට රාජ්‍ය සේවකයින් රැසක් ඊශ්‍රායලයේ විවිධ රැකියාවල නිරත වෙති.

වැඩිදුර තොරතුරු දැනගන්නේ කෙසේ ද?

ඔබට ඊශ්‍රායල් රැකියා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ අවශ්‍ය උපදෙස් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලබා ගත හැකි ය. ඒ, 1989 හෝ 0112880500 යන දුරකතන අංක ඇමතීමෙනි.

එමෙන් ම, www.slbfe.lk වෙබ් අඩවියට පිවිස මේ සඳහා අවශ්‍ය විස්තර ලබා ගත හැක.

විශේෂයෙන් ම, අයැදුම් කිරීම පමණක් නොව ආදර්ශ ගිවිසුම් පත්‍රිකා ඇතුළු අවශ්‍ය සියලු තොරතුරු මේ හරහා බාගත කර ගත හැකි ය.

ඊට අමතරව, සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ද විදේශයන්හි ඇති රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැන ගැනීමේ අවස්ථාවක් පවතී.