සයිබර් අපරාධවල නිරත වූ බවට සැකපිට විදේශිකයන් රැසක් අත්අඩංගුවට: සයිබර් අපරාධකරුවන් ශ්‍රී ලංකාව තෝරාගන්නේ ඇයි?

ගාල්ලේදී හසුවූ විදේශිකයන්
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ශ්‍රී ලංකාව තුළ සංචාරක වීසා මත රැඳී සිටිමින් සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන විදේශිකයන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධි කිහිපයක් මෑතකාලීනව වාර්තා විය.

එහිදී බොහෝ අවස්ථාවල චීන ජාතිකයන් අත්අඩංගුවට ගැනුණු අතර, නැගෙනහිර ආසියානු රටවල් කිහිපයක පුද්ගලයන් පිරිසක් ද එලෙස අත්අඩංගුවට පත්ව තිබිණි.

විවිධ සයිබර් අපරාධවලට සම්බන්ධ විදේශිකයන් ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන්නේ මන්දැයි බීබීසී සිංහල සේවය විසින් සොයා බැලීමක් සිදු කරන ලදී.

ආසන්නතම සිදුවීම

මෙරට තුළ රැදී සිටිමින් සයිබර් ජාවාරම්වල නිරත වූ බවට සැක විදේශිකයන් පිරිසක් ඊයේ [මාර්තු 24] අත්අඩංගුවට ගෙන තිබිණි.

බූස්ස යුද හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ගාල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග සිදුකරන ලද ඒකාබද්ධ වැටලීමකදී පෝද්දල පොලිස් වසමේ ගොඩකන්ද ප්‍රදේශයේ කුඩා හෝටලයක කුලී පදනම මත රැඳී සිට ඇති චීන හා වියට්නාම් ජාතිකයන් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පෝද්දල ස්ථානයට භාර දී ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 05 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණක 04ක්, පරිගණක 04ක් සහ ස්මාර්ට් ජංගම දුරකතන 84ක් ද සොයාගෙන තිබේ.

මේ අතර, මාර්තු 17 වන දින අනුරාධපුර සහ මිහින්තලේ ලැගුම්හල් කිහිපයක සිදු කළ වැටලීම්වලින් විදේශිකයන් 134ක් අත්අඩංගුවට ගැනීමට යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමත් වී තිබිණි.

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ බුද්ධි නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඒකාබද්ධව අදාළ ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් 5ක් ඉලක්ක කර ගනිමින් මෙම විශේෂ වැටලීම් සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබූ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකතන සහ තවත් තාක්ෂණික උපකරණ රැසක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

පරිගණක 35ක්, ලැප්ටොප් පරිගණක 96ක්, ජංගම දුරකතන 194ක් හා ටැබ් 01ක් එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, චීන සහ වියට්නාම ජාතිකයින් 17 දෙනෙක් ගාල්ලේදී අත්අඩංගුවට

පොලිසිය පවසන්නේ කුමක් ද?

බීබීසී සිංහල සේවය විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර්ගෙන් කරන ලද විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, විදේශිකයන් පිරිසක් එක් ස්ථානයක රැස්වී සයිබර් අපරාධ සිදු කරන බවට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව ය.

"මේගොල්ලෝ ඇවිලා තියෙන්නේ විසිට් වීසා, ටුවරිස්ට් වීසා. මේ වීසා අප්‍රේල් 12, 13, 14 යන කාලවලදී අවසන් වෙනවා," මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

"විසිට් වීසා, ටුවරිස්ට් වීසාවලට ඇවිල්ලා කිසි කෙනෙක්ට වෘත්තීයක් කරන්න බෑ, ඒවා ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට මේ අයව භාර දෙනවා ඉදිරි අධිකරණ පියවර ගන්න හෝ, මේ අයව පිටුවහල් කරන්න."

මෙලෙස කිහිප වතාවක් ම විදේශිකයන් අත්අඩංගුවට ගෙන ඇති නිසා ඒ සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් පවත්වන්නේ ද යනුවෙන් එහිදී බීබීසී සිංහල සේවය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියේ ය.

එවැනි පරීක්ෂණයක් සිදු නොවන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

'ලංකාව දැන් හබ් එකක් වෙලා ඉවරයි'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුවගෙන් ද බීබීසී සිංහල මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළ අතර, ඔහු පැවසුවේ, මේ වන විට ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බව ය.

"මම හිතන්නේ හබ් එකක් බවට පත්වෙලා හමාර යි. ඒ නිසා තමයි මේ තරම් අත්අඩංගුවට ගන්නේ," ඔහු පැවසුවේ ය.

මියන්මාරය වැනි රටවල්වල මෙවැනි ජාවාරම් සඳහා දස දහස් ගණනක් වහල් ශ්‍රමය ලෙස යොදා ගනිමින් තිබෙන බව ද ආචාර්යවරයා සඳහන් කළේ ය.

"එක හේතුවක් තමයි මේ අයට සංචාරක වීසා දාගෙන ශ්‍රී ලංකාවට එන්න ලේසි යි, සංචාරකයෝ විදිහට ඇවිල්ලා කොහේ ගියත් එච්චර ලොකුවට බලන්නේ නෑ."

එමෙන් ම නීතිමය හිඩැසක් ද ශ්‍රී ලංකාවේ පවතින බව ඔහු විස්තර කළේ ය.

"ලංකාවේ සයිබර් අපරාධ නීතියක් නෑනේ. 2023දී ඩ්‍රාෆ්ට් එකක් තිබුණා, එතනින් පස්සේ මහජනතාවට දැකබලාගන්න පුළුවන් විදිහේ ලියවිල්ලක් ඉදිරිපත් වෙලා නෑ," ඔහු පවසයි.

"දැනට තියෙන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ පරිගණක අපරාධ පිළිබඳ පනත යි විතර යි. නමුත් ඒ නීති රාමුවලින් මේ තියෙන දේවල් සම්බන්ධයෙන් කරන්න හැකි දේවල් සීමා සහිත යි. මේ වගේ වැඩ කටයුතු කරද්දී එවැනි අය බලන්නේ ඒ සම්බන්ධ මනා නීති රාමුවක් නැති රටක්. මේ ප්‍රශ්නයත් මෙවැනි අපරාධ කරන අය ශ්‍රී ලංකාව තෝරා ගැනීමට හේතුවක් වී තිබෙනවා," ආචාර්ය සංජන හත්තොටුව පැවසුවේ ය.