මොරොක්කෝ භූ කම්පනය: මහමඟ කූඩාරමක දිවි අරඹන අලුත උපන් බිළිඳිය

ඡායාරූප ශීර්ෂ වැකිය, දහස් ගණනකට මරු කැඳවමින් මොරොක්කෝවේ සිදුවූ මාරාන්තික භූ කම්පනයට මිනිත්තු කිහිපයකට පෙර කදීජාගේ දරුවා උපත ලැබීය

කදීජාගේ බිළිඳියට තව ම නමක්වත් නැත. නමුත් ඇගේ පළමු නිවස බවට පත්ව ඇත්තේ මහමඟ අද්දර කූඩාරමකි.

සිකුරාදා රාත්‍රියේ මොරොක්කෝවේ සිදු වූ මාරාන්තික භූ කම්පනයට මිනිත්තු කිහිපයකට පෙර බිළිඳිය උපත ලැබුවා ය.

මව සහ දියණිය තුවාල ලබා නොතිබුණ ද, ඔවුන් සිටි මරාච්හි පිහිටි රෝහලේ සිටි පිරිස ඉවත් කෙරිණි. උපතින් පැය තුනකට පසු සිදුකෙරුණු ඉක්මන් පරීක්ෂාවකින් අනතුරුව රෝහලෙන් පිටව යන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබුණි.

"පසුකම්පන සිද්ධ වේවි කියන බය නිසා අපට යන්න වෙනවා කියල එයාලා කිව්වා," ඇය පැවසුවා ය.

කදීජා සහ ඇගේ සැමියා අලුත උපන් බිළිඳිය ද සමග, සෙනසුරාදා හිමිදිරියේ කුලී රථයකින් මරාච් සිට කිලෝමීටර් 65ක් පමණ දුරින් ඇට්ලස් කඳුකරයේ තෙද්දැර්ත්හි පිහිටි ඔවුන්ගේ නිවසට යාමට උත්සහ කළහ.

නමුත් යන මඟ දී ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ නායයෑම් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇති බව ය. ඒ හේතුවෙන් ඔවුන්ගේ ගමන අස්නි ගම්මානය දක්වා පමණක් සිදුවිය.

එතැන් සිට, මෙම පවුල ප්‍රධාන මාර්ගය අද්දර ඇති කූඩාරමක දිවි ගෙවයි.

"මට බලධාරීන්ගෙන් කිසි ම උදව්වක් හෝ සහයක් ලැබුණේ නැහැ," ඇය අපට පැවසුවේ, කූඩාරමේ ඉටි රෙදි අතරින් පැමිණෙන හිරු කිරණින් ඇගේ තුරුලේ සිටි බිළිඳිය ආරක්ෂාකර ගැනීමට උත්සහ දරමිනි.

"අපි මේ ගමේ ඉන්න මිනිස්සුන්ගෙන් පොරෝනා ඉල්ල ගත්තා. එතකොට අපිට අපිව වහගන්න මොකක් හරි දෙයක් තියෙනවා නේ."

ඉන්පසු ඔවුහු ඉතාම සරල කූඩාරමක් තනා ගැනීමට සමත්වූහ. නමුත් දරුවා සඳහා ඇත්තේ එකම ඇඳුම් කට්ටලයක් පමණකැ යි කදීජා පැවසුවා ය.

"අපිට ඉන්නේ දෙවියෝ විතරයි," ඇය කියා සිටියා ය.

ගමේ ඔවුන්ගේ නිවසට දැඩි ලෙස හානිවී ඇතැ යි එහි වෙසෙන ඔවුන්ගේ මිතුරන් මෙම පවුලට පවසා ඇත. ඔවුන්ට නවාතැන් ගැනීමට සුදුසු ස්ථානයක් කවදා ලැබේදැ යි අල්ප මාත්‍රයකවත් අදහසක් ඔවුනට නැත.

ඔඩුදුවන කෝපය

මරාච් නගරයට දකුණින් පිහිටි ග්‍රාමීය කඳුකර ප්‍රදේශවල පිහිටි නගර සහ ගම්මාන වෙත ලැබෙන අල්පමය උපකාරය ගැන ජනතාවගේ කලකිරීම වර්ධනය වන සලකුණු කදීජාගේ කූඩාරමට නුදුරින් දක්නට ලැබේ.

අස්නි ගම මරාච් සිට කි.මී. 50ක් දුරින් පිහිටා ඇති නමුත්, ජනතාව පවසන්නේ ඔවුන්ට ඉක්මනින් ආධාර ලැබිය යුතු බව ය.

කෝපයට පත් මිනිස්සු පිරිසක් ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වටා රැස් වී, ඔවුන්ගේ කලකිරීම් ඔහු දෙසට පිටකළහ.

ඡායාරූප ශීර්ෂ වැකිය, ආධාර බලාපොරොත්තුවෙන් සිටින කෝපාවිෂ්ඨ ජනකායක් අන්සිහි ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වටකරයි

"අපිට කෑම නෑ, අපිට පාන්වත් එළවළුවත් නැහැ. අපිට කිසි ම දෙයක් නෑ," නම සඳහන් කිරීමට අකමැත්ත පළ කළ පිරිස අතර සිටි අයෙක් පැවසීය.

"කිසි ම කෙනෙක් අපිව හොයාගෙන ආවේ නැහැ. අපිට කිසි ම දෙයක් නැහැ. අපිට ඉන්නේ දෙවියොයි රජ්ජුරුවොයි විතරයි."

භූ කම්පනය සිදුවූ දා සිට ඔහු ඔහුගේ දරුවන් සිව් දෙනා සමග ගම්මානයේ ප්‍රධාන මාර්ගය අද්දර දිවි ගෙවයි. ඔහුගේ නිවස කඩා වැටී නැති නමුත්, එහි බිත්ති සියල්ල දැඩිව ඉරිතලා ඇති බැවින් එය කඩා වැටීමට ඉඩ ඇති නිසා එහි රැඳීමට ඔවුහු බියෙන් පසුවෙති.

ඔවුන් ආපසු ගොස් පොරෝනා කිහිපයක් රැගෙන ඒමට සමත් වී ඇති අතර දැන් ඔවුන්ට නිදා ගැනීමට ඇත්තේ ඒවා පමණි.

ට්‍රක් රථයක් ඔවුන් පසු කර ගිය මොහොතේ, ඇතැම් පිරිස් එහි ආහාර ඇතුළු ද්‍රව්‍ය ඇතැ යි දැඩි බලාපොරොත්තුවෙන් එය නතර කිරීමට උත්සහ කළහ. නමුත් එය ඔවුන් පසුකර ගියේ ය.

පොලිසිය, සෙනඟ මධ්‍යයේ සිටි වාර්තාකරු එම ස්ථානයෙන් රැගෙන යන ලද අතර, ඔවුන්ගේ කෝපය පිට කිරීමට මඟක් සොයමින් සිටි පිරිස් ඔහු පසුපස ගියහ.

කූඩාරම්

ඔවුනට බලධාරීන්ගෙන් කූඩාරම් ලැබී ඇති නමුත් සියලුදෙනාගේ ඕනෑ එපාකම් සපුරාලීමට එය ප්‍රමාණවත් නොවන බව, ඇතැම් පිරිස් පවසයි.

ඒ අසල ම පිහිටි කූඩාරමක ජීවත් වන තවත් කාන්තාවකි ම්බර්කා.

ඇය අතුරු මාවත් කිහිපයක් ඔස්සේ, තවදුරටත් ජීවත්වීමට නුසුදුසු තත්ත්වයක පැවැති ඇගේ නිවස වෙත අප රැගෙන ගියා ය.

ඡායාරූප ශීර්ෂ වැකිය, භූ කම්පනයෙන් ම්බර්කාගේ නිවස විනාශ විය

"මට ආයෙත් මේ ගෙදර හදාගන්න පුළුවන් කමක් නැහැ. මම දන්නේ නෑ මොකක් වේවි ද කියලා," ම්බර්කා පැවසුවා ය.

"මේ මොහොතේ අපට උදව් කරන්නේ මේ පැත්තෙ මිනිස්සු විතරයි."

ඇය ඇගේ දියණියන් දෙදෙනා, බෑනා සහ මුණුබුරන් තිදෙනා සමග ජීවත්ව තිබුණි.

නිවස සෙලවීමට පටන්ගත් විට ඔවුන් වේගයෙන් පිටතට දිවගොස් තිබුණි.

"අපි හිතනවා රජය උදව් කරයි කියලා," ඇගේ බෑනා වන අබ්දිල්හාදි පැවසීය. "ඒත් මේ පැත්තෙ ගම්මාන 120ක් තියෙනවා."