සමාජ මාධ්‍ය ඇබ්බැහිය සම්බන්ධ නඩු විභාගයකින් Meta සහ YouTube සමාගම් පරාජයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, කාලි හේයිස් - තාක්ෂණ වාර්තාකරු, නාඩින් සාද්, රේගන් මොරිස් - ලොස් ඇන්ජලීස්
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ළමා වියේ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් මෙටා සහ යූටියුබ් සමාගම්වලට එරෙහිව නඩු පැවරූ තරුණියකට පක්ෂව ලොස් ඇන්ජලීස් ජූරි සභාවක් විසින් ලබා දෙන ලද පෙර නොවූ විරූ නඩු තීන්දුව පිළිබඳව දැඩි සමාජ මාධ්‍ය නීතිරීති ඉල්ලා සිටින දෙමාපියන් සහ ප්‍රචාරක කණ්ඩායම් සිය සතුට පළ කර තිබේ.

ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍යවල මව් සමාගම වන මෙටා සහ යූටියුබ්හි හිමිකාර සමාගම වන ගූගල්, මෙම 20 හැවිරිදි තරුණියගේ මානසික සෞඛ්‍යයට හානි කරන ඇබ්බැහි වනසුලු සමාජ මාධ්‍ය වේදිකා හිතාමතා ම නිර්මාණය කර ඇති බවට ජූරි සභිකයෝ තීරණය කළහ.

කේලි නම් මෙම තරුණියට ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක වන්දි මුදලක් පිරිනැමුණු අතර, මෙම ප්‍රතිඵලය එක්සත් ජනපද අධිකරණවල දැනට විභාග වෙමින් පවතින බොහෝ මීට සමාන නඩුවලට ද බලපෑම් එල්ල කළ හැකි ය.

තීන්දුවට එකඟ නොවන බවත් අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවත් මෙටා සහ ගූගල් සමාගම් පැවසීය.

මෙටා සමාගම මෙසේ පැවසීය: "නව යොවුන් වියේ මානසික සෞඛ්‍යය අතිශයින් සංකීර්ණ වන අතර එය තනි ඇප් එකකට සම්බන්ධ කළ නොහැකියි."

"සෑම සිද්ධියක් ම එකිනෙකට වෙනස්. ඒ නිසා අපි දැඩි ලෙස මේ වෙනුවෙන් සටන් කරනවා, ඒ වගේ ම ඔන්ලයින් අවකාශය තුළ යෞවනයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපට හොඳ වාර්තාවක් ඇති බවට අපි විශ්වාස කරනවා."

"වගකීම්සහගත ලෙස නිර්මාණය කරන ලද වීඩියෝ නැරඹුම් වේදිකාවක් මිස සමාජ මාධ්‍ය අඩවියක් නොවන යූටියුබ් ගැන මෙම නඩුව තුළ වැරදි අවබෝධයක් ඇති කර ගෙන තිබෙනවා," ගූගල් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසුවේ ය.

නමුත් සිය පුත්‍රයාගේ මරණයෙන් අනතුරුව ටික්ටොක් සමාගමට එරෙහිව නඩු පවරා ඇති එලන් රූම් BBC Breakfast වැඩසටහන සමග අදහස් දක්වමින් කියා සිටියේ, මෙම නඩු තීන්දුව "දැන් ඇති" යැයි පවසන අවස්ථාවක් වූ බව යි.

"මෙම වේදිකා නිසා තවත් මොන තරම් ළමයි පිරිසක් හානියට පත්වෙලා මිය යයි ද?" ඇය ප්‍රශ්න කළා ය.

"මේක ආරක්ෂිත නැහැ කියලා දැන් ඔප්පු වෙලා තිබෙනවා. ඒක නිසා සමාජ මාධ්‍ය සමාගම් මේක නිවැරදි කරන්න ඕනේ."

'වෛරීසහගත බව, මර්දනය හෝ වංචාව'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙටා සහ ගූගල් ඔවුන්ගේ සමාජ මාධ්‍ය වේදිකා ක්‍රියාත්මක කිරීමේදී "වෛරීසහගතව, මර්දනකාරීව හෝ වංචා සහගතව" ක්‍රියා කළ බව ඒත්තු ගැන්වී ඇති බැවින්, ජූරි සභාව කේලිට අතිරේක ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක් සහ වන්දි ලෙස තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක් ලැබිය යුතු බව තීරණය කළේ ය.

කේලි වෙත ගෙවිය යුතු වන්දි මුදලින් 70%ක් මෙටා සමාගම විසින් දරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉතිරි 30% ගූගල් සමාගම විසින් දරනු ඇත.

කේලිගේ නඩුවට සම්බන්ධ නොමැති නමුත්, සමාජ මාධ්‍ය මගින් තම දරුවන්ට ද හානි සිදු වූ බවට චෝදනා කරන අනෙකුත් දරුවන්ගේ දෙමව්පියෝ, සති පහක් පුරා නඩු විභාගය පැවති බොහෝ දිනවල මෙන් බදාදා දිනයේ ද අධිකරණ පරිශ්‍රය පිටත රැඳී සිටියහ.

තීන්දුව ප්‍රකාශයට පත් වුණු විට ඒමි නෙවිල් වැනි ඒ වෙනුවෙන් බලා සිටි මව්පියන් එය සමරමින් සහ අනෙකුත් මව්පියන් මෙන් ම ආධාරකරුවන් වැළඳ ගනිමින් සිටින අයුරු දක්නට ලැබිණි.

ලොස් ඇන්ජලීස්හිදී ලබා දුන් මෙම තීන්දුවට දිනකට පෙර, නිව් මෙක්සිකෝහි තවත් ජූරි සභාවක් තීන්දු කළේ, ළමයින් අනතුරේ හෙළීම සහ අසභ්‍ය අන්තර්ගත සහ ලිංගික අපරාධකරුවන් වෙත ඔවුන් නිරාවරණය කිරීම සම්බන්ධයෙන් මෙටා සමගම වගකිව යුතු බව ය.

උපදේශන සමාගමක් වන Forresterහි පර්යේෂණ අධ්‍යක්ෂ මයික් පෲ පැවසුවේ, අඛණ්ඩව ලැබෙන තීන්දු සමාජ මාධ්‍ය සමාගම් සහ මහජනතාව අතර සම්බන්ධයේ "බිඳවැටීමේ ලක්ෂ්‍යයක්" පෙන්නුම් කරන බව යි.

මෑත මාසවලදී, ඔස්ට්‍රේලියාව වැනි රටවල් දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම නැවැත්වීමට හෝ සීමා කිරීමට පියවර ගෙන ඇත. වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමේ හැකියාව පිළිබඳව එක්සත් රාජධානිය ද මේ වන විට නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියි.

"සමාජ මාධ්‍ය කෙරෙහි පවතින ඍණාත්මක ආකල්ප වසර ගණනාවක් තිස්සේ ගොඩනැගෙමින් පැවති අතර, දැන් එය අවසානයේදී අන්තයට ම ඇවිත් තිබෙනවා," පෲ පැවසීය.

නඩු තීන්දුවට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාර්මර් පැවසුවේ පවතින තත්ත්වය "ප්‍රමාණවත් නොවන" බව සහ දරුවන් ආරක්ෂා කිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව තිබෙන බව යි.

වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම පිළිබඳ රජයේ උපදේශන ක්‍රියාවලිය හුවා දක්වමින් පැවසුවේ: "දේවල් වෙනස් වෙනවා ද යන්න කියන එක නෙවෙයි, දේවල් අනිවාර්යයෙන් ම වෙනස් වෙයි," යනුවෙනි.

"ප්‍රශ්නය තමයි එය කොපමණ ප්‍රමාණයකින් සිදු වනවා ද සහ අප කරන්න යන්නේ මොකක් ද කියන එකයි."

මේ අතර, සමාජ මාධ්‍යවලින් සිදුවන හානිය පිළිබඳව දීර්ඝ ලෙස හඬ නැගූ සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය, තීන්දුව "වගවීම පැවරෙන අවස්ථාවක්" ලෙස හැඳින්වීය.

"අවසානයේ මේක අපේ දරුවන්ගේ ආරක්ෂාව ලාභයට වඩා ඉහළින් සලකන වෙනසක් විය යුතුයි."

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය, සමාජ මාධ්‍ය ඇබ්බැහිය පිළිබඳ නඩු විභාගයේදී, Meta සහ YouTube වගකිව යුතු බව හෙළි වෙයි

පෙබරවාරි මාසයේ ජූරි සභාව ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේදී මෙටා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, වයස අවුරුදු 13ට අඩු පරිශීලකයින්ට ඔවුන්ගේ කිසිදු වේදිකාවක් භාවිත කිරීමට ඉඩලබා නොදීම සම්බන්ධයෙන් වන ඔහුගේ සමාගමේ දිගුකාලීන ප්‍රතිපත්තිය පිළිබඳ පෙන්වා දුන්නේ ය.

කුඩා දරුවන් එම වේදිකා භාවිත කරන බවට මෙටා සමාගම දැන සිටි බව පෙන්වන අභ්‍යන්තර පර්යේෂණ සහ ලේඛන ඉදිරිපත් කළ විට, සකර්බර්ග් පැවසුවේ වයස අවුරුදු 13ට අඩු පරිශීලකයින් හඳුනා ගැනීම සඳහා මීට වඩා වේගවත් ප්‍රගතියක් තමන් "සැමවිට ම බලාපොරොත්තු වූ" බව යි. "කාලයාගේ ඇවෑමෙන් සමාගම නිවැරදි ස්ථානයට" පැමිණ ඇති බව ඔහු අවධාරණය කළේ ය.

වීඩියෝ වෙබ් අඩවියක් වන යූටියුබ්හි හිමිකාරීත්වය දරන සමාගම ලෙස ගූගල් ද මෙම නඩුවේ විත්තිකරුවෙකු වූ නමුත්, නඩු විභාගයේදී වැඩි අවධානයක් යොමු වූයේ ඉන්ස්ටග්‍රෑම් සහ මෙටා සමාගම වෙත ය.

ස්නැප් සහ ටික්ටොක් සමාගම් ද මුලින් විත්තිකරුවන් ලෙස නම් කර තිබූ නමුත් නඩු විභාගයට පෙර එම සමාගම් දෙක ම කේලි සමග සමතයකට එළඹ තිබිණි. නමුත් ඒ ගැන තොරතුරු හෙළි වී නැත.

කේලිගේ නීතීඥයින්ට අනුව, ඔවුන් තර්ක කර ඇත්තේ මෙටා සහ යූටියුබ් "ඇබ්බැහි කරවන උපකරණ" නිර්මාණය කර තිබූ බව සහ දරුවන් තම වේදිකාවලට පිවිසීමෙන් වළක්වා ගැනීම සඳහා වූ ඔවුන්ගේ වගකීම ඉටු කිරීමට අසමත් වී ඇති බවට යි.

කේලි පැවසුවේ ඇය වයස අවුරුදු නවයේ පසුවන විට ඉන්ස්ටග්‍රෑම් සහ වයස අවුරුදු හයේ පසුවන විට යූටියුබ් භාවිත කිරීම ආරම්භ කළ බවත් ඇගේ වයස නිසා ඇයව අවහිර කිරීමට සමාගම් කිසිදු උත්සහයක් ගෙන නොතිබූ බවත් ය.

"මම මගේ මුළු කාලය ම සමාජ මාධ්‍යවල ගත කළ නිසා මම පවුලේ අය සමග සම්බන්ධකම් පවත් වන එක නතර කළා," කේලි සිය සාක්ෂි ලබාදීමේ අවස්ථාවේදී පැවසුවා ය.

කේලි පැවසුවේ ඇයට කාංසාව සහ විශාදය වැනි හැඟීම් ඇති වන විට ඇයට වයස අවුරුදු 10ක් වූ බවත්, වසර ගණනකට පසු චිකිත්සකයෙකු විසින් ඒ සම්බන්ධව රෝග විනිශ්චය කරන ලද බවත් ය.

ළමා වියේදී ම ඉන්ස්ටග්‍රෑම් මාධ්‍ය වේදිකාව භාවිත කිරීමට පටන් ගත් වහා ම ඇය තම බාහිර පෙනුම පිළිබඳව උමතුවීමට පටන් ගත් අතර ඇගේ නාසය කුඩා කර පෙන්වන සහ ඇස් විශාල කර පෙන්වන ඉන්ස්ටග්‍රෑම් ෆිල්ටර් භාවිත කිරීමට පටන් ගත්තා ය.

එතැන් සිට කේලි ශරීර විකෘතිතා ආබාධය නමැති මානසික රෝගයෙන් පීඩා වින්දේය. එය තම පෙනුම ගැන ඕනෑවට වඩා සැලකිලිමත් වන සහ අන් අය තමා දෙස බලන ආකාරයට තමන්ට තමා දෙස බැලීමට නොහැකි වන මානසික තත්ත්වයකි.

ඉන්ස්ටග්‍රෑම්හි නොනවත්වා ස්ක්‍රෝල් කිරීමට ඇති හැකියාව වැනි විශේෂාංග නිර්මාණය කර ඇත්තේ පරිශීලකයන් එයට ඇබ්බැහි කරවීමට බව ඇගේ නීතීඥයෝ තර්ක කළහ.

කේලිගේ නීතිඥයින් පැවසුවේ, මෙටාහි වර්ධන ඉලක්ක තරුණ පිරිස් එහි වේදිකා භාවිත කිරීමට පෙළඹවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

තරුණ පරිශීලකයින් දීර්ඝ කාලයක් තම වේදිකා සමග රැඳී සිටීමට වැඩි ඉඩක් ඇති බැවින් සමාගමට ඔවුන්ව අවශ්‍ය වූ බව විශේෂඥයින් සහ මෙටා සමාගමේ හිටපු විධායක නිලධාරීන්ගේ සාක්ෂි උපුටා දක්වමින් ඔවුහු තර්ක කළහ.

කේලි එක් දිනකදී අඛණ්ඩව වැඩි ම වේලාවක් වේදිකාව භාවිත කළ කාලය පැය 16ක් බව ඇගේ නීතීඥයින් පැවසූ විට, ඉන්ස්ටග්‍රෑම් ප්‍රධානී ඇඩම් මොසේරි එය ඇබ්බැහි වීමක් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ ය.

ඒ වෙනුවට ඔහු පැවසුවේ නව යොවුන් වියේ පසුවන අයෙකු දවසේ වැඩි කාලයක් ඉන්ස්ටග්‍රෑම්හි ගත කිරීම "ගැටලුකාරී තත්ත්වයක්" බව යි.

"අපේ දරුවන් සම්බන්ධයෙන් කිසිදු සමාගමකට වගකීමෙන් මිදිය නොහැකි බව ජූරි සභාවේ තීරණය මගින් පැහැදිලිව ම පෙන්නුම් කරනවා," කේලිගේ නීතිඥයෝ බදාදා (මාර්තු 26) පැවසූහ.

දරුවන්ට සිදුවන හානිය සම්බන්ධයෙන් මෙටා සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකාවලට එරෙහිව පවරා ඇති තවත් නඩුවක් ජූනි මාසයේදී කැලිෆෝනියාවේ ෆෙඩරල් අධිකරණයක විභාග වීමට නියමිත ය.