QR ගෙවීම් ගැන පාරිභෝගික සහ ව්‍යාපාරික ඔබ දැන ගත යුතු ම කරුණු 3ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකාව තුළ 'QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක්' අප්‍රේල් 6 වන දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
ඒ අනුව, එහි මූලික පියවරක් ලෙස අප්‍රේල් 6 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලු ම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණ බව ය.
මූල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක සහයෝගය ඇතිව වෙළෙඳ මධ්‍යස්ථාන 450,000ක පිළිගැනීමට ලක්ව ඇති LankaQR පද්ධතිය අද වන විට සක්‍රීයව පැවතිය ද තවමත් ආර්ථිකය තුළ රුපියල් ට්‍රිලියන 1.48ක මුදල් නෝට්ටු සංසරණය වන අතර, 2025 තුන්වන කාර්තුව වන විට LankaQR මගින් සිදු වූයේ මසකට රුපියල් 395,000ක පමණ වූ ඉතා සුළු ගනුදෙනු ගණනක් බව ඔවුහු තවදුරටත් පැවසූහ.
ඒ අනුව, බීබීසී සිංහල මෙම ව්‍යාපෘතිය පිළිබඳව තවදුරටත් සොයා බැලීමක් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, PMD
1. පාරිභෝගිකයින් QR මගින් ගෙවීම් කරන්නේ කෙසේ ද?
මේ සඳහා පාරිභෝගිකයින් තමන් ගනුදෙනු කරන බැංකුවේ ජංගම දුරකතන යෙදුම තම දුරකතනයට භාගත යුතු බව ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියේ සාමාජික, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචීන්ද්‍ර සමරරත්න පැවසීය.
බීබීසී සිංහල සමග සංවාදයට එක්වෙමින් ඔහු පැහැදිලි කළේ, එහි ඇති QR කේත ස්කෑන් කිරීමේ පහසුකම භාවිත කර ගෙවීම් සිදු කළ හැකි බව ය.
"ඒ ඇප්වල QR කෝඩ් එකක් ස්කෑන් කරන්න පුළුවන්, මර්චන්ට් කෙනෙකුට ඒකෙන් ගෙවන්න පුළුවන්.
"ඇප් එක ඩවුන්ලෝඩ් කළාට පස්සේ ඒ අය ඒකට තමන්ගේ ඉතුරුම් ගිණුමක් සම්බන්ධ කර ගන්න ඕනේ, QR payment කිරීම සඳහා. ඒක තමයි කස්ටමර්ගේ පැත්තෙන් කරන්න තියෙන්නේ," ඔහු තවදුරටත් පැවසීය.
2. වෙළෙඳුන් කළ යුත්තේ කුමක් ද?
QR ක්‍රමවේදය මගින් මුදල් ගෙවීම් ලබා ගැනීම සඳහා වෙළෙඳුන් තමන් ගනුදෙනු කරන බැංකුවෙන් ඉල්ලුම් කර මේ සඳහා ලියාපදිංචි විය යුතු බව සචීන්ද්‍ර සමරරත්න පැවසීය.
"තමන්ගේ බැංකුවක් තියෙනවානේ, තමන් ගනුදෙනු කරන. ඒ බැංකුවකින් තමන් ඉල්ලුම් කරනවා තමන්ට QR සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ කියලා. ඒකෙදි තියෙනවා සාමාන්‍යයෙන් සිද්ධ වෙන බැංකුව තම ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ [KYC] ක්‍රියාවලියක්," ඔහු පැහැදිලි කළේ ය.
"ඊට පස්සේ බැංකුව, ඒ අයව ඒ ක්‍රමවේදයට සම්බන්ධ කර ගන්න සති තුනක් විතර කාලයක් [බැංකුව අනුව කාලය වෙනස් වේ] ගන්නවා."
කෙසේ වෙතත්, දැනටමත් ලියාපදිංචි වෙළෙඳුන් යළි ලියාපදිංචි වීම අවශ්‍ය නොවන අතර ඔවුන් සතුව දැනටමත් ඇති QR කේතය තම වෙළෙඳසලේ ප්‍රදර්ශනය කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.
3. P2P ගනුදෙනු පහසුකම්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
QR මගින් ගනුදෙනු කිරීම තවත් පහසු කිරීම සඳහා 'peer-to-peer' පහසුකම හඳුන්වා දීමට මෙවර බලධාරීන් පියවර ගෙන තිබේ.
බැංකු 7ක ජංගම දුරකතන යෙදුම් මගින් මෙම පහසුකම දැන් ගනුදෙනුකරුවන්ට භාවිත කළ හැක.
"ඒ බැංකු හතේ ඇප්ස් පාවිච්චි කරන අයට පුළුවන් දෙදෙනෙක් අතර මුදල් රු. 5000කට අඩුවෙන් හුවමාරු කරන්න.
"දැන් හිතමු ත්‍රීවීල් ගාස්තුව 5,000ට අඩු නම් එයාට පුළුවන් එයාගේ කස්ටමර් එක්ක, තමන්ගේ QR එකක් තමන්ට ජෙනරේට් කරලා අවශ්‍ය මුදල් ලබා ගන්න," ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචීන්ද්‍ර සමරරත්න පැවසීය.
"මෙච්චර කල් තමන්ට සල්ලි ලබා ගන්න පුද්ගලයෙකුට QR එකක් ජෙනරේට් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. දැන් ඒක පුළුවන්.
"උදාහරණයක් විදිහට සමන් කියන ත්‍රිරෝද රථ රියැදුරාට පුළුවන්, එයාගේ බැංකු ඇප් එකෙන් QR එක ජෙනර්ටේ කරලා, තමන්ගේ පාරිභෝගිකයාට අදාළ ගාස්තුව ගෙවන්න කියලා.
"එතකොට පාරිභෝගිකයා මොකද කරන්නේ, එයා එයාගේ QR ඇප් එකෙන් ස්කෑන් කරලා සල්ලි ට්‍රාන්සර් කරනවා," ඔහු එය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කළේ ය.
කෙසේ වෙතත්, මෙම ක්‍රමවේදය හරහා ගනුදෙනු කළ හැකි උපරිම වටිනාකම රු. 5000ක් පමණක් බව ඔහු පැවසීය.
"P2P කරන්න පුළුවන් දැනට 5000ට අඩු ගනුදෙනුවලට විතරයි. පාරිභෝගිකයාට කොහොමත් ගාස්තුවක් නැහැ. වෙළෙන්දාට ගාස්තුවක් නැති වෙන්නේ 5,000ට අඩු නම් විතරයි," සචීන්ද්‍ර සමරරත්න පැහැදිලි කළේ ය.
QR ක්‍රමවේදය තවදුරටත් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ බිම් මට්ටමේ කටයුතු බැංකු බැගින් සිදු කරන බවත් ස්වේච්ඡා තරුණ කණ්ඩායම් සම්බන්ධ කර ගෙන සති දෙකක පමණ කාලයකට පසු මෙම ක්‍රමවේදය ඇගයීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියේ සාමාජික, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සහය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචීන්ද්‍ර සමරරත්න පැවසීය.
ඊට අමතරව පෞද්ගලික ආයතන ද ඔවුන්ගේ භාණ්ඩ අලෙවි කරන සිල්ලර වෙළෙඳසල්වලට ද මෙම ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව පහු පෙන්වා දුන්නේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන QR ගනුදෙනුවලින් වැඩි ගණනක් සිදු කරන්නේ මෙරටට පැමිණෙන විදේශිකයින් බව ය.
"ලංකාවේ වැඩි ම ගණනක් QR ගනුදෙනු කරන්නේ විදේශිකයින්, UPI සහ WeChat හරහා, ඉන්දියානු සහ චීන සංචාරකයින්."


































