NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, NDB Bank / Facebook
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 7
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක් වන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන "රුපියල් බිලියන 13කට අධික" මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳුදා (අප්‍රේල් 6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, "නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බවටත්, ඒ මගින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදු විය හැකි බවටත් එම බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇති" බව ය.
කෙසේ වෙතත්, මෙම වංචාව නිසා කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතුවලට බලපෑම් සිදු වී නොමැති බව NDB බැංකුව විසින් තමන් වෙත දැනුම් දෙනු ලැබ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
මේ බව NDB බැංකුව ද සමාජ මාධ්‍ය ඔස්සේ තම ගනුදෙනුකරුවන් වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
මෙවැනි පසුබිමක දැනට අනාවරණය වී ඇති කරුණු මත පදනම්ව බීබීසී සිංහල මෙම මූල්‍ය වංචාව පිළිබඳව තවදුරටත් කරුණු සොයා බැලීය.
මුල් අනාවරණය
වාර්තාවල දැක්වෙන පරිදි NDB බැංකුව, මුල් වරට මෙම මූල්‍ය වංචාව පිළිබඳව අනාවරණය කරන තිබුණේ 2026 අප්‍රේල් 2 වන දාතමින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබුණු ලිපියක් මගිනි.
එම ලිපිය බැංකුවේ උපසභාපති / සමාගමේ ලේකම් ෂෙහානි රණසිංහ විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුක් කර තිබිණි.
"කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමේ නීතිරීතිවල 8 වන වගන්තියට අනුව, තෙවන පාර්ශවයක් හෝ පාර්ශවල ආධාර අනුබල ඇතිව සේවකයින් පිරිසක් විසින් සිදු කරනු ලැබ ඇති වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් බැංකුව අනාවරණය කර ගෙන ඇති බව අපි හෙළිදරව් කිරීමට කැමැත්තෙමු," යනුවෙන් එහි සඳහන් විය.
මෙම ලිපියට අනුව, බැංකුව මුල් වරට මෙම වංචාවේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 380ක් පමණ වන බව පැවසීය.
කෙසේ වෙතත්, මෙම වංචාවේ නිශ්චිත ප්‍රමාණය ගණනය කිරීමට බැංකුවට ඒ වන විට නොහැකි වී තිබුණු බව බැංකුව එම ලිපියේ එහි සඳහන් කර තිබිණි.
ඒ අනුව, මෙම කාරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත එය යොමු කර ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.

ඡායාරූප මූලාශ්‍රය, NDB Bank
දෙවන අනාවරණය
NDB බැංකුව 2026 අප්‍රේල් 6 වන දා තවත් ලිපියක් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබිණි.
එහි දැක්වෙන පරිදි, බැංකුව විසින් සිදු කරන ලද අභ්‍යන්තර විමර්ශනය අනුව මෙම සිදුවීම බැංකුවේ "එක් නිශ්චිත මෙහෙයුම් අංශයකට පමණක් සිමා වූවක්" වන අතර එම වංචාව ආසන්න වශයෙන් රුපියල් බිලියන 13.2ක් බවට හඳුනා ගෙන තිබේ.
බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය මෙම වංචාව "බරපතළ කාරණයක් බවට හඳුනාගෙන ඇති අතර, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ සහය ඇතිව එම අරමුදල් නැවත අය කර ගැනීමට විවිධ මට්ටමින්" උත්සහ කරමින් සිටින බවට එම ලිපියේ තවදුරටත් සඳහන් විය.

ඡායාරූප මූලාශ්‍රය, NDB Bank
බැංකුව මේ දක්වා ගෙන ඇති පියවර මොනවා ද?
NDB බැංකුව නිකුත් කර ඇති දෙවන ලිපිය අනුව, බලධාරීන් විසින් මෙම සිදුවීමට සම්බන්ධ බවට සැක කෙරෙන සිලු ම සේවකයින්ගේ සේවය අත්හිටුවා ඇති අතර ඔවුන්ට බැංකු පද්ධතිය වෙත ප්‍රවේශ වීමට ඇති හැකියාව අවහිර කරනු ලැබ තිබේ.
තව ද මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ද බැංකුව සඳහන් කර ඇත.
එමෙන් ම, NDB බැංකුව මෙම සිදුවීම පිළිබඳව සිය සමාජ මාධ්‍ය ඔස්සේ ද මහජනතාව දැනුවත් කර ඇත.
එම නිවේදනයට අනුව, පරීක්ෂණ කටයුතු සඳහා වශයෙන් සියලු ම වාර්තා සහ සාක්ෂි සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබේ.
වංචාව සිදු වූ බව කියන අංශය "වෙන ම අධීක්ෂණයක් යටතට පත් කර ඇති අතර ආයතනය පුරා වාර්තාකරණ ව්‍යුහයන් සහ ප්‍රවේශ පාලනයන් තවදුරටත් ශක්තිමත් කර ඇති බව" ද එහි සඳහන් කර ඇත.
බැංකුව පවසන්නේ, නියාමන උපදෙස් අනුව 2026 අප්‍රේල් 6 වන දින කොටස් හිමියන් වෙත ගෙවීමට තිබූ මුදල් ලාභාංශ ගෙවීම අත්හිටුවා ඇති අතර කොටස් ලාභාංශ සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වනු ඇති බව ය.
බැංකුවට සිදුව ඇති බලපෑම කුමක් ද?
NDB බැංකුව පවසන පරිදි, "වඩාත් ම අහිතකර තත්ත්වයක් යටතේ වුව ද මෙම සිදුවීමෙන් අපේක්ෂිත උපරිම අලාභය සඳහා සම්පූර්ණ ප්‍රතිපාදන සැලසීමෙන් පසුව, 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා බැංකුවේ විගණනය නොකළ බදු පසු අලාභය දළ වශයෙන් රුපියල් බිලියන 4ක් වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.
එමෙන් ම, 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බැංකුව රු. බිලියන 11ක බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර 2025 සිව්වන කාර්තුවේ ලාභය රු. බිලියන 3.5ක් බව ද බැංකුව සඳහන් කර ඇත.
මෙම බලපෑම හමුවේ වුව ද බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයන් පිළිවෙලින් 7.0%, 8.5% සහ 12.5% යන ව්‍යවස්ථාපිත අවම මට්ටම්වලට වඩා ඉහළ අගයක පවතින බැවින් බැංකුව මූල්‍ය වශයෙන් අඛණ්ඩව ශක්තිමවත්ව පවතින බව NDB බැංකුව සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කළ නිවේදනයක් මගින් පවසා තිබේ.
ඊට අමතරව 2026 මාර්තු 31 දිනට රුපියල් බිලියන 990.0ක් පමණ වන බැංකුවේ විගණනය නොකළ මුළු වත්කම් පදනම සඳහා මෙයින් එල්ල වන බලපෑම 0.7%ක් බව ද එහි සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ කුමක් ද?
NDB බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දෙනු ලැබ ඇති තොරතුරු අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විය හැකි මූල්‍ය බලපෑම පිළිබඳව පූර්ව ඇගැයීමක් සිදු කර තිබේ.
ඒ අනුව, වාර්තා කළ අලාභය සලකා බැලීමෙන් පසුව ද, NDB බැංකුව හට, එහි ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා සහ ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාත, අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළින් පවත්වා ගෙන යා හැකි බව ප්‍රකාශ කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව, තවදුරටත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර, අවශ්‍ය පරිදි සුදුසු පියවර ගන්නා බව ද එම නිවේදනයේ දැක්වේ.
අවශ්‍ය වුවහොත්, පවතින නීති සහ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ බැංකුවලට ලබා ගත හැකි දැනටමත් ක්‍රියාත්මක ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම යටතේ, NDB බැංකුව හට, තාවකාලිකව ද්‍රවශීලතා ලබා ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
රුපියල් මිලියන 290 වංචාව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර, ජාතික සංවර්ධන බැංකුවේ (NDB) පොදු ලෙජර් ගිණුමේ තිබූ රුපියල් මිලියන 290කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධාන ශාඛාවේ නියෝජ්‍ය කළමනාකරුවෙකු හා තොරතුරු තාක්ෂණ සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු ඉකුත් 2025 වසරේ දෙසැම්බර් 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම එම වසරේ ම නොවැම්බර් මස 27 වන දා නියෝග කර තිබිණි.
එම නඩු විභාගයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබුණේ, අදාළ ගිණුමේ තිබී අස්ථානගත වූ මුදල්වලින් කොටසක් මෙම සැකකාර නිලධාරීන් දෙදෙනාගේ බැංකු ගිණුම්වලට බැර වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය කර ගෙන ඇති බව ය.
තව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව ද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පවසා තිබිණි.
එමෙන් ම සිද්ධියට අදාළව මෙම බැංකුවේ නිලධාරීන් තවත් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බවත් ඒ අනුව අනාවරණය කර ගන්නා තොරතුරුවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා තිබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් NDB බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන සිදු කරන බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් එම නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබිණි.
මීට අදාළ නඩු විභාගය නැවත 2026 වසරේ ජනවාරි මස 7 වන දා ද කැඳවුණු අතර ඒ වන විට එම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම බැංකුවේ සේවකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් කිහිප දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
මෙම වංචා සිද්ධිය නොසලකා හැරිය නොහැකි සිදුවීමක් වන අතර ඒ හේතුවෙන් මේ ගැන විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිශ්චිත කාලයක් ලබා දෙන බවත් එහි විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එදින නියෝග කර තිබිණි.
සමාජ මාධ්‍ය පරිශීලකයින් පවසන්නේ මොනවා ද?
NDB බැංකුවේ සිදු වූ බව කියන රු. බිලියන 13 ඉක්මවූ මූල්‍ය වංචාව පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ද මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.
ඇතැම් පරිශීලකයින් එහි අභ්‍යන්තර සහ බාහිර විගණන ක්‍රියාවලිය ප්‍රශ්නසහගත බව සඳහන් කර තිබිණි.
"NDB බැංකුවේ බිලියන 13.2ක හොරකමක් වෙනකම් අභ්‍යන්තර සහ බාහිර විගණන නිලධාරීන් මොකක් ද කරලා තියෙන්නේ," ෆේස්බුක් පරිශීලකයෙකු ප්‍රශ්න කළේ ය.
තවත් ෆේස්බුක් පරිශීලකයෙකු මෙසේ පවසා තිබිණි: "ගිය බ්‍රහස්පතින්දා උදේ රු. මිලියන 380 වුණු එක, අද වෙද්දි රු. බිලියන 13.2ක් වෙලා. ඔඩිට් එක ඉවර වෙද්දි කීයක් වෙයි ද දන්නෙ නෑ."
එමෙන් ම, "දීර්ඝ කාලීනව සිදුවුණු" මෙවැනි වංචාවක් පිළිබඳව ජනතාවට "නිවැරදි තොරතුරු ලබා දීමකින් තොරව" බැංකුවක් කටයුතු කිරීම මෙන් ම මේ පිළිබඳව මූල්‍ය ක්ෂේත්රයට සම්බන්ධ රජයේ බලධාරීන් කිසිදු ප්‍රකාශයක් නොකර සිටීම ප්‍රශ්නසහගත බව තවත් පරිශීලකයෙකු ෆේස්බුක්හි වීඩියෝවක් පළ කරමින් සඳහන් කර තිබිණි.

































