1970 ගණන්වල ඇති වූ ඉන්ධන අර්බුදය කුමක් ද? අපි ගමන් කරමින් සිටින්නේ වඩාත් නරක තත්ත්වයකට ද?
ඡායාරූප මූලාශ්‍රය, James Pozarik/Liaison via Getty Images
- Author, රේචල් ක්ලන්
- Role, ව්‍යාපාරික පුවත් වාර්තාකරු
- කියවීමේ කාලය: මිනිත්තු 5
ගෝලීය බලශක්ති සැපයුම සඳහා තීරණාත්මක මුහුදු මාර්ගයක් මාසයක් පුරා වසා දැමීම හේතුවෙන්, 1970 දශකයේ ඉන්ධන අර්බුදය නිසා ඇති වූ ගැටලුවලට වඩා දරුණු ගැටලු කරා ලෝකය ගමන් කරන බවට අනතුරු ඇඟවීම් නිකුත් වී තිබේ.
1970 දශකයේදී දක්නට ලැබුණු ආර්ථික අර්බුදයට වඩා ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයෙන් ඇති කරන බලපෑම "සැලකිය යුතු ලෙස විශාල" විය හැකි බව නාවික විශේෂඥයෙකු සහ Maerskහි හිටපු අධ්‍යක්ෂ ලාර්ස් ජෙන්සන් බීබීසී පුවත් සේවයට පැවසුවේය.
"ඉතිහාසයේ විශාලතම ගෝලීය බලශක්ති ආරක්ෂක තර්ජනයට මුහුණ දී සිටින" බවට මේ මස මුලදී ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ෆාති බිරෝල් කළ අනතුරු ඇඟවීමකින් පසුව ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත.
''ඒක 1970 දශකයේ අපට අත්විඳීමට සිදුවූ තෙල් මිල කම්පනයට වඩා බොහොම විශාලයි. එමෙන් ම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු අපට අත්විඳීමට සිදුවූ ස්වභාවික වායු (LNG) මිල කම්පනයට වඩා ද මෙය විශාලයි," ඔහු බීබීසී පුවත් සේවයට පැවසීය.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ගෝලීය සැපයුම්වලට බාධාවක් වන අතර, ඇතැමුන් පවසන්නේ ලෝකය දැන් එවැනි කම්පනවලට වඩා හොඳින් මුහුණ දෙන බවයි.
1970 ගණන්වල ඇතිවූ ඉන්ධන අර්බුදයේදී සිදු වූයේ කුමක් ද?
ක්‍රිස්ටල් එනර්ජිහි ප්‍රධාන විධායක නිලධාරී සහ ආර්ථික විද්‍යාඥ ආචාර්ය කැරොල් නක්ලේ බීබීසී පුවත් සේවයට පැවසුවේ පළමු ඉන්ධන කම්පනය හිතාමතා ගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිසා සිදු වූවක් බැවින් 1970 දශකයේදී ඇතිවූ ඉන්ධන අර්බුදයට වඩා අද තත්ත්වය බෙහෙවින් වෙනස් බවයි.
1973 ඔක්තෝබර් මාසයේදී, අරාබියේ ඉන්ධන නිෂ්පාදකයින් යොම් කිප්පූර් යුද්ධයේදී ඊශ්‍රායලයට සහය දුන් එක්සත් ජනපදයට සහ අනෙකුත් රටවලට තෙල් අලෙවි කිරීම අත්හිටුවන ලදී. සම්බන්ධීකරණ පියවරක් ලෙස ඔවුහු තෙල් නිෂ්පාදනය ද අඩු කළහ.
"ප්‍රතිඵලය වූයේ මාස කිහිපයක් ඇතුළත තෙල් මිල හතර ගුණයකින් පමණ ඉහළ යාමයි," නක්ලේ පැවසීය.
මෙය ප්‍රධාන ඉන්ධන පරිභෝජනය කරන රටවල ඉන්ධන සලාක ක්‍රමයකට හේතු වූ අතර, එය දිගුකාලීන බලපෑම් සහිත "ගෝලීය ආර්ථික හා මූල්‍ය අර්බුදයක්" ඇති කළ බව නක්ලේ පැවසීය.
ක්වීන්ස් විශ්වවිද්‍යාලයේ බෙල්ෆාස්ට්හි පර්යේෂකයෙකු වන ආචාර්ය ටියර්නන්හීනි පැවසුවේ ඉහළ යන ඉන්ධන මිල ගණන් උද්ධමනයට හේතු වූ බව සහ එමඟින් ව්‍යාපාර වියදම් අඩු වී විරැකියාව තියුණු ලෙස ඉහළ යාමට හේතු වූ බවය.
"මෙය බොහෝ රටවල සමාජ ව්‍යුහයට හානි කළ දැවැන්ත ප්‍රතිවිපාක ඇති කළ අතර එය පුළුල් වැඩ වර්ජන, නොසන්සුන්තා සහ දරිද්‍රතාවයේ වැඩිවීම සමඟ බොහෝ පවුල් එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමේ අරගලයක නිරත වීමට හේතු විය," ඔහු පැවසීය.
එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන රටවල් ද්විත්වය ම 1973 සිට 1975 දක්වා පැවති අවපාතයන්ට මුහුණ දුන් අතර, එම අර්බුදය 1974 දී ටෙඩ් හීත්ගේ කොන්සර්වේටිව් රජයේ බිඳවැටීමට දායක විය.
වත්මන් තෙල් අර්බුදය තුළ සිදුවන්නේ කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මාසයකට පෙර එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහි යුද්ධයක් දියත් කළ දා සිට, පටු හෝමූස් සමුද්‍ර සන්ධිය නැව් ගමනාගමනය සඳහා වසා දමා ඇත.
ලෝකයේ තෙල් අපනයනයෙන් පහෙන් එකක් පමණ සාමාන්‍යයෙන් සිදු කරන ගල්ෆ් කලාපයේ රටවලින් තෙල්, ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගලා ඒම මෙයින් අඩාල වී තිබේ.
ගල්ෆ් සමුද්‍ර සන්ධියෙන් තෙල් නැවත රැගෙන ඒම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවිධ උපක්‍රම උත්සහ කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ආරක්ෂිතව ගමන් කිරීමට යුද නැව් යවන ලෙස ඔහු මිත්‍ර පාක්ෂික රටවලින් ඉල්ලා ඇති අතර නෞකා සඳහා නිදහසේ ගමන් කිරීමට ඉඩ නොදුනහොත් ඉරානයට වඩාත් ප්‍රබල ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවන බවට අනතුරු අඟවා තිබේ.
වෙස්පුචි මැරිටයිම් උපදේශන සමාගම පවත්වාගෙන යන ජෙන්සන්, බීබීසී Today වැඩසටහනට එක්වෙමින් පැවසුවේ මාසයකට පෙර ගල්ෆ් කලාපයෙන් පිටව ගිය තෙල්වලින් වැඩි ප්‍රමාණයක් තවමත් ලොව පුරා පිරිපහදු මධ්‍යස්ථාන වෙත පැමිණෙන නමුත් එම ප්‍රවාහය ඉක්මනින් නතර වනු ඇති බවය.
"හෝමූස් සමුද්‍ර සන්ධිය හෙට මැජික් එකකින් හරි නැවත විවෘත කළත්, අපි අත්දකින තෙල් හිඟය තවත් නරක අතට හැරෙනවා," යැයි ඔහු පැවසීය.
"මෙම අර්බුදය තුළ පමණක් නොව, එය අවසන් වී ගතවන මාස 6 සිට 12 දක්වා කාලය තුළද අපට ඉතා ඉහළ බලශක්ති පිරිවැයකට මුහුණ දෙන්න සිද්ධවෙනවා."
වත්මන් අර්බුදය 1970 ගණන්වල කම්පනයට වඩා නරක විය හැකි ද?
අරාබි බලශක්ති සමාජයේ මහලේකම්වරයා ද වන නක්ලේ පැවසුවේ තෙල් වෙළෙඳපොළ 1970 දශකයට වඩා විවිධාකාර බවත්, භාවිත කරන සමස්ත ප්‍රමාණය ද සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත්ය.
වර්තමාන මිල ගණන් ඉහළ මට්ටමක පැවතුණ ද, අද අර්බුදය එතරම් දරුණු නොවනු ඇති බව ඇය විශ්වාස කරයි.
"අපට පෙනෙන්නට තිබෙන සැපයුම් බාධා ඉතා විශාල වුව ද එනම් මෑත ඉතිහාසයේ විශාලතම එකක් වුව ද වත්මන් වෙළෙඳපොළට 1970 ගණන්වලට වඩා ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා," ඇය පැවසුවාය.
"එය පුළුල් පරාසයක බලශක්ති ප්‍රභවයන් භාවිත කරනවා, තෙල් මත අඩුවෙන් රඳා පවතිනවා, සහ වඩා හොඳ උපස්ථ පද්ධති සහ හදිසි සැලසුම් තිබෙනවා."
නමුත් නැටෙක්සිස් CIBහි භාණ්ඩ පර්යේෂණ අධ්‍යක්ෂ ජොයෙල් හැන්කොක් පැවසුවේ තවත් වැදගත් වෙනසක් වූයේ 1970 අර්බුදය සංවර්ධිත රටවල් ඉලක්ක කරගත් එකක් වූ බව සහ එය කළමනාකරණය කිරීමට මුදල් සහ "දේශපාලන බලය" තිබුණු බවය.
වත්මන් අර්බුදය ප්‍රධාන වශයෙන් බලපාන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලට වන අතර, "අර්බුදය හොඳින් කළමනාකරණය කිරීමට අවශ්‍ය ආයතන සහ මූල්‍ය හා මූල්‍යමය ශක්තිමත්භාවය ඔවුන්ට නොමැති" බව ඔහු තවදුරටත් පැවසීය. බලශක්ති යටිතල පහසුකම් සඳහා වූ අනුබද්ධ හානිය ද වර්තමානයේ මෙන් 1970 ගණන්වල අර්බුදයට සාධකයක් නොවීය.
අද පවතින අර්බුදය, "යුද්ධය අවසන් වුණාට පස්සේ විතරයි නතර වෙන්නෙ" යනුවෙන් හැන්කොක් පැවසීය.
අද වන විට ලෝකයට වාසිදායක වන වෙනස්කම් කිහිපයක් ඇති බවත් ඒ අතර අපගේ ආර්ථික පිළිබඳ වඩා හොඳ අවබෝධයක් සහ තෙල් සංචිත ඇති රටවල් වැඩි ප්‍රමාණයක් ඇති බවත් හීනි පැවසීය.
"ප්‍රධාන අවදානම නම් අර්බුදය දිග්ගැස්සෙන අතර අනාගත අපේක්ෂාවන් වඩාත් අඳුරු වීමයි," ඔහු තවදුරටත් පැවසීය
"හොඳ ම අවස්ථාව වන්නේ මෙම ගැටුම හැකි ඉක්මනින් අවසන් කර යම් මට්ටමක ස්ථාවරත්වයක් නැවත ඇති කර ගැනීමයි.''
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත