එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල ඉන්දියාව වෙත ගෙන ඒම සාර්ථක පිළියමක් ද?
ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, නිඛිල් ඉනම්දාර්
- කියවීමේ කාලය: මිනිත්තු 6
මිලියන 20කට අධික ජනතාවක් වෙසෙන කාර්යබහුල මුම්බායි නගරයේ පොවායි විල අසබඩ ඉදිවන යෝර්ක් විශ්වවිද්‍යාලයේ නව ශාඛාව එහි ඉදිකිරීම්වල අවසානයට එළඹ තිබේ.
එහි 2026-27 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ඉදිරි මාස කිහිපය තුළ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇත.
"පළමු වර්ෂය සඳහා සිසුන් 270ක් පමණ බඳවා ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉදිරි වසරවලදී සෑම වසරක ම බඳවා ගන්නා සිසුන් ගණන 3,000-4,000 දක්වා ඉහළ යාවි," මුම්බායිහි යෝර්ක් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන නිලධාරී ලින්ඩ්සේ ඕඩ්ස් බීබීසීය වෙත පැවසීය.
පසුගිය වසරේ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාර්මර් ඉන්දියාවේ කළ සංචාරය අතරතුර සිදු කරන ලද නිවේදනවලින් පසුව, ඉන්දියාව තුළ සිය ශාඛා පිහිටුවන බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල නවය අතරට යෝර්ක් විශ්වවිද්‍යාලය ද ඇතුළත් වේ. ඇබර්ඩීන් විශ්වවිද්‍යාලය (University of Aberdeen), බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය (University of Bristol), ලිවර්පූල් විශ්වවිද්‍යාලය (University of Liverpool), බෙල්ෆාස්ට් ක්වීන්ස් විශ්වවිද්‍යාලය (Queen's University Belfast) සහ කොවෙන්ට්‍රි විශ්වවිද්‍යාලය (Coventry University) අනෙකුත් විශ්වවිද්‍යාල අතරට ඇතුළත් වේ.
සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය මේ වන විටත් දිල්ලි අගනුවර තුළ සිය ශාඛාවක් විවෘත කර ඇති අතර යෝර්ක් විශ්වවිද්‍යාලය සමග එක්ව ඔවුන් ප්‍රධාන වශයෙන් ව්‍යාපාර, කළමනාකරණ සහ ඉන්ජිනේරු වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කර ඇත.
2020 වසරේදී ඉන්දියාවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය මගින් විදේශීය විශ්වවිද්‍යාල රට තුළට ස්ථාපනයට අවසර දෙන බව නිවේදනය කරන ලද අතර 2023 වසරේදී නීති රීති දැනුම් දෙන ලද්දේ මෙම ආයතන පිහිටුවීම සඳහා අවශ්‍ය නීතිමය යාන්ත්‍රණයක් නිර්මාණය කරමිනි.
පෙනෙන පරිදි, මෙය සිය මව් රටේදී දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දෙන බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලට මෙන් ම, දේශීයව ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමේ දුෂ්කරතාවකට මුහුණ පා සිටින ඉන්දීය සිසුන්ට ද ජයග්‍රහණයකි. කෙසේ වෙතත්, එය රට තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම පවසන තරම් පහසු නොවනු ඇත.
ඡායාරූප මූලාශ්‍රය, University of York
එක්සත් රාජධානියේ රජය විසින් නිකුත් කරනු ලැබ ඇති සංඛ්‍යාලේඛනවලට අනුව, ඉන්දියාව තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් මිලියන 40ක් සිටින අතර 2035 දක්වා දශකය තුළ අවම වශයෙන් තවත් අවස්ථා මිලියන 70ක් පමණ අවශ්‍ය වනු ඇත. මෙය බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල සඳහා මිලියන 25-30ක වර්ධක වෙළඳපළ අවස්ථාවක් විවෘත කරමින් පවතී.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තවදුරටත් පවසන්නේ නම්, උසස් තත්ත්වයෙන් යුතු අධ්‍යාපනය සඳහා පැහැදිලි සැපයුම් හිඩැසක් පවතී.
"හැම අවුරුද්දක ම සිසුන් මිලියන එකොළහක් (ඉන්දියාවේ පාසල්වල අවසාන ශ්‍රේණිය) 12 ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කරනවා. ඒ අයගෙන් මිලියන 1.5-1.7ක් පමණ ඉහළ ම අධ්‍යයන මට්ටම් වෙත පිවිසෙනවා. ඉන්දියාවේ ඉහළ ම මට්ටමේ උසස් අධ්‍යාපන ආයතන වාර්ෂිකව ඇතුළත් කර ගන්නේ ඔවුන්ගෙන් 200,000ක් පමණයි," විදේශීය විශ්වවිද්‍යාල සඳහා ඉන්දියානු වෙළෙඳපොළට ඇතුළු වීමට උපකාර කරන OneStep Globalහි අරිත්‍රා ගෝෂාල් බීබීසීය වෙත පැවසීය.
"වියදම් දරා ගැනීමේ හැකියාව අනුව බලනකොට ඇස්තමේන්තුගත සිසුන් මිලියන 4-5කට පමණ වසරකට පවුම් 10,000කට වඩා ඉහළ උපාධි පාඨමාලා සම්බන්ධයෙන් යථාර්ථවාදීව සලකා බලන්න පුළුවන්," ගෝෂාල් පැවසුවේය.
මෙය මූලික වශයෙන් ඉලක්ක කරන්නේ ඉහළ මධ්‍යම පන්තිය මිස සාමාන්‍ය වෙළෙඳපළ නොවන නමුත් එය බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවලට ප්‍රයෝජනවත් විශාල හිඩැසකි.
ඕඩ්ස්ට අනුව ඉන්දියාවේ ස්ථාපිත යෝර්ක් විශ්වවිද්‍යාල ශාඛාවේ ගාස්තු එක්සත් රාජධානියේ පිහිටි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට වැය වන මුදලින් 50%ක් පමණ වනු ඇත.
බොහෝ ඉන්දියානු පෞද්ගලික විශ්වවිද්‍යාලවලට වඩා ඒ සඳහා වැඩි මුදලක් වැය වුව ද, එහි ඇති ගුණාත්මක බව නිසා වැඩි මුදලක් අය කිරීම සාධාරණ බවත් යෝර්ක් වැනි විශ්වවිද්‍යාල ගෝලීය ප්‍රමිතීන් අනුව ක්‍රියාත්මක වන අතර රැකියා නියුක්ති කුසලතා සහ කර්මාන්ත හවුල්කාරිත්වයන් සඳහා පවතින ඉල්ලුම කෙරෙහි අවධානය යොමු කරන බවත් ඔහු පවසයි.
මෙම පාඨමාලා හදාරන සිසුන්ට මුම්බායි සහ යෝර්ක් විශ්වවිද්‍යාල අතර දෙමුහුන් අධ්‍යයන ක්‍රියාවලියකට සම්බන්ධ වීමට අවස්ථාව සලසන අතර, එය අනෙකුත් බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ද අනුගමනය කරන ක්‍රමවේදයකි.
නමුත් මෙය ප්‍රමාණවත් වෙයි ද?
දශක ගණනාවක් පුරා ඉන්දීය සිසුන් මිලියන ගණනක් ප්‍රධාන වශයෙන් ම වඩා හොඳ රැකියා අවස්ථා සඳහා සංක්‍රමණය වීමේ අරමුණ ඇතිව ණය ලබා ගනිමින් සහ පවුලේ ඉතුරුම් වැය කරමින් විදේශගතව අධ්‍යාපනය ලැබීමට තීරණය කර තිබේ.
ලබන වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය හා ආර්ථික විද්‍යාව හැදෑරීමට බලාපොරොත්තුවෙන් පසුවන විවාන් නමැති පුත්‍රයෙකු සිටින මුම්බායිහි වෙසෙන අන්කිතා කෙජ්රිවාල් පවසන්නේ සිය පුත්‍රයාගේ මිතුරන් සහ ඥාති සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙකු ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ රැකියා ලබා ගැනීම සඳහා විදේශගත වීමට තෝරාගෙන ඇති බවයි.
"ඒකට තමයි ප්‍රධාන වශයෙන් ම ආකර්ෂණය වෙන්නේ. එයාලා වසර කිහිපයකින් ආපසු එන්න තීරණය කරන්න පුළුවන්. ඒත් ඒ පොඩි කාලයක් හරි එහි සේවය නොකර නම් නෙවෙයි," කේජ්රිවාල් පවසයි.
ඉන්දියාවේදී ලබා දෙන එක්සත් රාජධානියේ උපාධියක් මෙම සිසුන්ට ආදේශකයක් නොවනු ඇත. කෙසේ වෙතත් රට තුළ පවතින දැඩි සංක්‍රමණ නීති ඉන්දියාව තුළ විදේශීය විශ්වවිද්‍යාල අත්දැකීම් තෝරා ගැනීමට ඇතැමුන් දිරිමත් කළ හැකිය.
"අඩු වියදමක් සහ වීසා පිළිබඳ අවදානමකින් තොරව සන්නාමයක් ලෙස වටිනාකමක් අපේක්ෂා කරන අයට මේක කාර්යක්ෂම විකල්පයක් වෙන්න පුලුවන්" ගෝෂාල් පවසයි.
ඡායාරූප මූලාශ්‍රය, WPA Pool/Getty Images
දේශීයව ස්ථාපනය කරනු ලබන මෙම විශ්වවිද්‍යාලවල සාර්ථකත්වය බොහෝ සාධක මත රඳා පවතී.
ඉන්දීය මිල ගණන් තුළ ක්‍රියාත්මක වන අතරතුර එක්සත් රාජධානියේ අධ්‍යාපන ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා "පිරිවැය පාලනය සහ පාඨමාලා තෝරා ගැනීමේදී සැලකිලිමත් වීම" අවශ්‍ය වනු ඇතැයි ගෝෂාල් පවසයි.
ඉහළ රැකියා නියුක්තියක් සහිත විෂයයන් පිළිබඳ වැඩසටහන් ප්‍රවේශමෙන් තෝරා ගැනීම සහ ආරම්භයේ සිට ම ඉන්දියානු කර්මාන්ත සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ද විශ්වවිද්‍යාලවලට සිදුවනු ඇත.
ආරම්භයේදී ශිෂ්‍ය බඳවා ගැනීම් සියයට අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගෝෂාල්ට අනුව, ඉන්දියානු සිසුන් මෙම විශ්වවිද්‍යාලවලින් පිටවන සිසුන්ට ඇති රැකියා අවස්ථා සහ ඒවායේ සාර්ථකත්වය මත පාඨමාලා තෝරා ගන්නා බැවින්, උපාධිධාරීන් කෙතරම් සාර්ථක දැයි බැලීමට සහ සේවා යෝජකයින් ඔවුන් කෙරෙහි කොතෙක් දුරට විශ්වාසය තබන්නේ ද යන්න දැන ගැනීමට මිනිසුන්ට කාලය අවශ්‍ය වන බැවින් මෙහි වර්ධනය දැක ගැනීමට වසර පහේ සිට හත දක්වා කාලයක් ගතවනු ඇත.
ඉන්දියාවේ නියාමන පරිසරය දුෂ්කර විය හැකි අතර විවිධ මට්ටම්වල බලධාරීන් සහ පද්ධති සමඟ කටයුතු කිරීමට ද විශ්වවිද්‍යාලවලට සිදුවනු ඇත.
අපේක්ෂා කළ පරිදි නියාමනය සම්බන්ධයෙන් පවතින සංකීර්ණතා කළමනාකරණය කිරීමට, විශ්වවිද්‍යාල ස්ථාපනය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට මෙන් ම සිසුන් ඇතුළත් කර ගැනීමට යෝර්ක් ඇතුළු බොහෝ එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල දේශීය අධ්‍යාපන සමාගම් සමග හවුල් වී තිබේ.
නමුත් යටිතල පහසුකම් ලබා ගැනීමේ හැකියාව වැනි වඩාත් හදිසි ගැටලු, ක්ෂේත්‍රයට පිවිසීමට උත්සහ කරන අනෙකුත් අයට තවමත් බාධාවක් විය හැකිය.
දේපළ වෙළෙඳාම පිළිබඳ උපදේශන සේවා සපයන ආයතනයක් වන Anarock පෙන්වා දෙන පරිදි නව විශ්වවිද්‍යාල සඳහා ඉහළ යන සිසු ඉල්ලුම සපුරාලීම සඳහා නව විශ්වවිද්‍යාල ශාඛාවේ ඉඩම අක්කර 30,000කින් සහ අධ්‍යයන යටිතල පහසුකම් වර්ග අඩි බිලියන 2.7ක ආසන්න ප්‍රමාණයකින් සංවර්ධනය කිරීමට සිදුවනු ඇත.
"පවතින යටිතල පහසුකම් ප්‍රතිපත්තිමය අභිලාෂයන් සහ ජනගහන වර්ධනයේ වේගය යන දෙක ම සපුරාලීමට ප්‍රමාණවත් නැහැ," යනුවෙන් සිය මෑතකාලීන වාර්තාවක සඳහන් කළ Anarock ආයතනය මෙම අධ්‍යයන පහසුකම් නිර්මාණය කිරීම සඳහා ඩොලර් බිලියන 100ක් අවශ්‍ය වනු ඇති බව ද පෙන්වා දුන්නේය.
මෙම මට්ටමේ ආයෝජනයක් සිදු කිරීම ප්‍රායෝගික නොවිය හැකි බැවින්, "විශේෂයෙන් පෞද්ගලික අංශය සහ විදේශීය විශ්වවිද්‍යාල වැනි බොහෝ නවකයන් ආරම්භයේදී ඔවුන්ගේ ශාඛා සඳහා ප්‍රාග්ධනය යෙදවීමට පෙර පවතින හෝ ඒ සඳහා ම ඉදිකරන ලද ගොඩනැගිලි තුළ පවතින ඉඩකඩ බදු පදනම මත ලබා ගනිමින් වත්කම් වෙනුවෙන් අඩු පිරිවැයක් අරණ උපාය මාර්ග අනුගමනය කරයි," යැයි ඇනරොක්හි ආශිෂ් අගර්වාල් පවසයි
එය උසස් තත්ත්වයේ විශ්වවිද්‍යාල අත්දැකීමක් ලබා දෙන්නේ ද යන්න තවමත් පැහැදිලි නැත. නමුත් ව්‍යාපාරික පුරෝකථනයන් දෙස බැලීමේදී පෙනී යන්නේ මෙය ඉතා වේගවත් ව්‍යාප්තියක් නොමැති ක්‍රමානුකූලව සැලසුම් කරන ලද ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ඇති බවයි.
පසුගිය වසරේදී බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල අපනයන ආදායම ලෙස උපයාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 43න් ජාත්‍යන්තර ශාඛා හරහා ලැබී ඇත්තේ ඩොලර් බිලියන 1.34ක් පමණි. ඒවා ඉන්දියාව තුළ ව්‍යාප්ත වීම මගින් බ්‍රිතාන්‍ය ආර්ථිකයට නියමිත කාල සීමාවකින් තොරව ඩොලර් මිලියන 67ක දායකත්වයක් ලැබෙනු ඇත. බ්‍රිතාන්‍යය තුළ සිසුන් බඳවා ගැනීම් පහත වැටී තිබියදීත්, 2024 වසරේදී ඉන්දීය සිසුන් එරට ශාඛා තුළ අධ්‍යාපනය ලැබීම සඳහා වැය කළ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.3 හා සසඳන විට මෙය සාමාන්‍ය අගයකි.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත