හැරී පොටර් රූපවාහිනී කතාමාලාවේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වෙයි: කතාමාලාව ගැන අප මෙතෙක් දන්නා සියලු දේ

ඡායාරූප මූලාශ්‍රය, Aidan Monaghan/HBO

    • Author, මායා ඩේවිස්
    • Author, පෝල් ග්ලෙන්
    • Role, සංස්කෘතික වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 8

අනින්ද්‍රජාලික මිතුරනි, ඉදිරියේදී නිකුත් වීමට නියමිත හැරී පොටර් රුපවාහිනී කතාමාලාවේ පළමු පූර්ව ප්‍රචාරක පටය දැන් නිකුත් වී අවසන් !

නවකතා පොත් සහ චිත්‍රපට මාලාවට සම්බන්ධ HBO විසින් නැවත ආරම්භ කළ රූපවාහිනී කතාමාලාව පිළිබඳ අප මෙතෙක් දන්නා සියල්ල මෙතැන් සිට ඔබට කියවීමට හැකියි.

පූර්ව ප්‍රචාරක පටයේ ඇත්තේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Aidan Monaghan/HBO

ඡායාරූප ශීර්ෂ වැකිය, අලුත් රුපවාහිනී කතා මාලාවේ ප්‍රධාන චරිත තුන ඇලෙස්ටෙයාර් ස්ටවුට්, ඩොමිනික් මැක්ලවුලින්, ඇරබෙලා ස්ටැන්ටන් නිරූපණය කරති

බදාදා [මාර්තු 25] නිකුත් කළ මිනිත්තු දෙකක වීඩියෝව අපව ඩර්ස්ලිගේ නිවසේ සිට හැරී ඔහුගේ ප්‍රසිද්ධ අල්මාරියේ පඩිපෙළ යට සිටින දර්ශනයක් ඇතුළුව හොග්වාර්ට්ස් දක්වා ගෙන යයි.

එහි පළමු වරට වර්නන් බාප්පා සහ පෙටුනියා පුංචි අම්මා පෙන්වන අතර, හැරීගේ හොග්වාර්ට්ස් ලිපිය ලැබුණු විට ඔහු "විශේෂ කෙනෙක්" නොවන බව ඇය තම බෑණාට පවසයි.

ඉන්පසු අප දකින්නේ හැග්ග්‍රිඩ් හැරීට ලන්ඩනය හරහා කිංග්ස් ක්‍රොස් දුම්රිය ස්ථානයට ගොස් සුප්‍රසිද්ධ හොග්වාර්ට්ස් එක්ස්ප්‍රස් දුම්රිය අල්ලා ගැනීමට මග පෙන්වන අයුරුයි.

වීඩියෝවේ 9¾ වේදිකාව පැහැදිලිව අපට නොපෙන්වන නමුත්, එහි හැරී පොටර්ගේ අකුණු හැඩැති කැළල, ඔහුගේ වටකුරු කණ්නාඩි සහ දුම්රිය කවුළුව හරහා වීස්ලි පවුලේ රතු හිසකෙස් දකින ක්ෂණික දර්ශනයක වැනි සැබෑ ම දර්ශනයන් අපට පෙන්වයි.

හොග්වාර්ට්ස් වෙත ළඟා වූ පසු, අපට පළමු වරට ප්‍රධාන චරිත රාශියක් දැකීමට හැකි ය. ඒ අතර සෙවරස් ස්නේප්, ඇල්බස් ඩම්බල්ඩෝර්, මිනර්වා මැගෝනගල්, ඩ්‍රැකෝ මැල්ෆෝයි සහ, රොන් වීස්ලි සහ හර්මයිනි ග්‍රැන්ජර් ද වෙති.

ඒවායේ කුඩා විස්තර රාශියක් ඇතුළත් අතර, නිවාසවලට වර්ග කිරීමේ තොප්පිය සහ මැජික් යෂ්ටි සාදන්නා වන ගැරික් ඔලිවැන්ඩර් පවා පෙන්වයි.

"මිස්ටර් පොටර්, මම හිතන්නේ අපිට ඔබෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්," ඔහු හැරීට පවසයි.

නිල ඇඳුම්, පොදු කාමරය පෙන්වන ක්ෂණික දසුනේ සහ ක්විඩිච් ක්‍රීඩකයින් තම කොසු සූදානම් කරගෙන හිමෙන් වැසුණු පිට්ටනියකට යන ආකාරය වැනි දර්ශනවල කුඩා විස්තර මෙම කතාවේ රසිකයන් ප්‍රවේශමෙන් නරඹනු ඇත.

Skip YouTube post
Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ. YouTube අන්තර්ගතයේ දැන්වීම් අඩංගු විය හැකි ය.

End of YouTube post

එය චිත්‍රපටවලට වඩා වෙනස් ද?

ඡායාරූප මූලාශ්‍රය, Aidan Monaghan/HBO

ඡායාරූප ශීර්ෂ වැකිය, නව ඡායාරූපයක ඩොමිනික් මැක්ලවුලින්, හැරී ලෙස ග්‍රිෆින්ඩෝර් ක්විඩිච් සළුවෙන් සැරසී සිටින ආකාරය පෙන්වයි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

හැරී පොටර් පූර්ව ප්‍රචාරක පටයේ ප්‍රධාන දර්ශන බොහොමයක ඔහුගේ කැළල, කණ්ණාඩි, ඔහුගේ හොග්වාර්ට්ස් ලිපියේ කොළ පැහැති අකුරු මෙන් ම හොග්වාර්ට්ස් එක්ස්ප්‍රස්හි මැදිරි වැනි දේවල් අප මුලින් දැක ඇති ඒවාට සමාන ලෙස පවතියි.

පූර්ව ප්‍රචාරක පටයේ හැරී පොටර්, හර්මයිනි ග්‍රැන්ජර් සහ අපිරිසිදු නාසයක් සහිත රොන් වීස්ලි දුම්රියේදී පළමු වරට හමුවීම වැනි ප්‍රියතම අවස්ථා කිහිපයක් ද ඇතුළත් වන අතර, ග්‍රිෆින්ඩෝර් පොදු කාමරය සහ ශාක විද්‍යා හරිතාගාරයක් වැනි හුරුපුරුදු ස්ථාන හඳුනා ගැනීමට පහසු බව පෙන්වයි.

ඇඳුම් පැළඳුම් අතින්, ඩර්ස්ලි යුවළ පමණක් බෙහෙවින් වෙනස් බව මෙන් ම, හැග්ග්‍රිඩ් හා ඩම්බල්ඩෝර් වැනි චරිත සහ හොග්වාර්ට්ස් නිල ඇඳුම් දැනටමත් රසිකයන් දන්නා දේට සමාන බව පෙනේ.

නමුත් මෙහි වෙනස්කම් ද තිබේ.

මෙම කතා මාලාවේ මුල් නම වන හැරී පොටර් ඇන්ඩ් ද සොසර්ස් ස්ටෝන් වෙනුවට හැරී පොටර් ඇන්ඩ් ද ෆිලෝසොෆර්ස් ස්ටෝන් යන නම භාවිතා කරනු ඇති අතර එය එක්සත් ජනපදයේ මීට පෙර භාවිතා වූ නමයි.

හැරී හොග්වාර්ට්ස් බලා පිටත් වීමට පෙර "මගල්" හෙවත් අනින්ද්‍රජාලික පාසලක ඔහු සිටින අතර, එහිදී ඔහු ඔහුගේ ඥාති සහෝදරයා වන ඩඩ්ලි සමග මුහුණට මුහුණලා සිටින දර්ශනයක් දැකිය හැකි අතර එය අප මීට පෙර දැක නැති දෙයකි.

හැග්ග්‍රිඩ් හැරීව ලන්ඩනය පුරා භූගත මාර්ගයෙන් රැගෙන යාම නරඹන්නන්ට ද අලුත් දෙයක් වනු ඇත.

නව නිල ඇඳුම් සහ කොසු සමගින් මෙවර ක්විඩිච් ක්‍රීඩාව ද වෙනස් ලෙස දැකිය හැකි බවක් පෙනෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Lara Cornell/HBO

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩ්‍රැකෝ මැල්ෆෝයිගේ චරිතයට පණ පොවන්නේ මෑතකදී ලෝඩ් ඔෆ් ද ෆ්ලයිස් චිත්‍රපටයේ රඟපෑ ලොක්ස් ප්‍රැට් විසින් ය.

රූපවාහිනී කතා මාලාව නිකුත් වන්නේ කවදාද?

පූර්ව ප්‍රචාරක පටයට අනුව පළමු කතා මාලාව 2026 නත්තලේදී HBO Max ඔස්සේ නිකුත් කෙරේ.

සම්පූර්ණ නිෂ්පාදනය කිරීමට වසර 10ක් පමණ ගත වනු ඇත. චිත්‍රපට සඳහා මුලින් පාදක වූ ජේ. කේ. රෝලින්ගේ පොත් හත සඳහා එක් මාලාව බැගින් රූපගත කිරීම එයට හේතුවයි.

මෙම කතා මාලාව නිෂ්පාදනය කෙරෙන වොට්ෆර්ඩ් අසල ලීව්ස්ඩන්හි වෝනර් බ්‍රදර්ස් චිත්‍රාගාරයේ, හොග්වාර්ට්ස් හි රූගත කිරීම් නොමැති විට ළමා නළු නිළියන්ට එහි ඉගෙනීමට හැකි වන පරිදි තාවකාලික පාසලක් ඉදිකිරීමට පසුගිය ගිම්හානයේදී අවසර ලබා ගත්තේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Lara Cornell/HBO

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෝන් ලිත්ගෝ සහ පාපා එස්සියඩු පිළිවෙලින් මහාචාර්යවරුන් වන ඩම්බල්ඩෝර් සහ ස්නේප් ලෙස රඟපානු ඇත.

මෙහි සිටින්නේ කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Aidan Monaghan/HBO

ඡායාරූප ශීර්ෂ වැකිය, හර්මයිනි, හැරී සහ රොන්ගේ චරිත නිරූපණය කිරීමට නියමිත ඇරබෙලා ස්ටැන්ටන්, ඩොමිනික් මැක්ලවුලින් සහ ඇලෙස්ටෙයාර් ස්ටවුට්

විවෘත පරීක්ෂණයක් කරනු ලැබූ අතර, ළමුන් 30,000කට වැඩි පිරිසක් තිර පරීක්ෂණයට ලක් කරන ලදී. තෝරාගත් ඩොමිනික් මැක්ලවුලින්, ඇරබෙලා ස්ටැන්ටන් සහ ඇලෙස්ටෙයාර් ස්ටවුට් යන සියල්ලෝ ම සාපේක්ෂව නවකයින් ය.

ස්කොට්ලන්ත ජාතික මැක්ලවුලින් සමග, ස්ටැන්ටන් හර්මියෝන් ලෙසත්, ස්ටවුට් රොන් ලෙසත් රඟපානු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Aidan Monaghan/HBO

ඡායාරූප ශීර්ෂ වැකිය, නික් ෆ්‍රොස්ට්, හැග්ග්‍රිඩ් ලෙස රංගනයෙන් දායක වෙයි

තරුණ නළු නිළියන් අතර ඩ්‍රැකෝ මැල්ෆෝයි ලෙස ලොක්ස් ප්‍රැට්, පාර්වතී පටෙල් ලෙස ඇලේශියා ලියෝනි සහ සීමස් ෆිනිගන් ලෙස ලියෝ අර්ලි ද වෙති. නෙවිල් ලෝන්ග්බොටම් ලෙස රෝරි විල්මට් සහ ඩඩ්ලි ඩර්ස්ලි ලෙස ආමොස් කිට්සන් රංගනයෙන් දායක වෙති.

ඔවුන් සමග වැඩිහිටි චරිත සඳහා ජෝන් ලිත්ගෝ ඩම්බල්ඩෝර් ලෙසත්, ජැනට් මැක්ටියර් මිනර්වා මැගෝනගල් ලෙසත්, පාපා එස්සියඩු සෙවරස් ස්නේප් ලෙසත්, සහ නික් ෆ්‍රොස්ට් හැග්ග්‍රිඩ් ලෙසත් රංගනයෙන් දායක වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Aidan Monaghan/HBO

ඡායාරූප ශීර්ෂ වැකිය, වෝර්වික් ඩේවිස්, මහාචාර්ය ෆිලියස් ෆ්ලිට්වික් ලෙස ඔහුගේ භූමිකාව නැවතත් නිරූපණය කරයි.

මේ සතියේ මුලදී, HBO ප්‍රධානී කේසි බ්ලොයිස් Variety වෙත තහවුරු කරමින් පැවසුවේ රැල්ෆ් ෆීනස් විසින් චිත්‍රපටයේ නිරූපණය කරන ලද හැරීගේ පරම සතුරා වන වෝල්ඩ්මෝර්ට්ගේ චරිතය සඳහා තවමත් නළුවෙකු තෝරාගෙන නොමැති බව ය.

ටිල්ඩා ස්වින්ටන් පිළිබඳ කටකතා ගැන ඔහු මෙසේ පිළිතුරු දුන්නේ ය: "රීතියක් විදිහට, මම කියන්නේ ඕනෑම කටකතාවක්, [ඒවා විශ්වාස කරන්න එපා]. අපි කාව තෝරා ගන්නවා ද කියලා මමවත් දන්නේ නැහැ."

කිලියන් මර්ෆි වෝල්ඩ්මෝර්ට්ගේ චරිතයට පණ පොවන බවට අනුමාන කිරීම් ද පැවතුණ ද, පීකි බ්ලයින්ඩර්ස්හි රඟපෑ එම නළුවා එම කටකතා ප්‍රතික්ෂේප කළේ ය. පෙබරවාරි මාසයේ ද ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පැවසීය: "නිශ්චිතවම මම නැහැ. ඔබට එය ප්‍රධාන සිරස්තලය කරන්න පුළුවන් ද?"

ජේ. කේ. රෝලිංගේ සම්බන්ධය කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කර්තෘ ජේ.කේ. රෝලිං මෙම කතා මාලාවේ විධායක නිෂ්පාදකවරියක වන අතර, එය ඇගේ පොත්වල "විශ්වාසවන්ත අනුවර්තනයක්" වනු ඇතැයි HBO පවසයි.

සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් පිළිබඳ ජේ. කේ. රෝලිංගේ අදහස් සමග සමහර අය එකඟ නොවන නිසා, මෙයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් විවේචන එල්ල වූ බව නළු නිළියන් කිහිප දෙනෙකු පවසා තිබේ.

ලිත්ගෝ මෑතකදී නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට පැවසුවේ ප්‍රතිචාර හේතුවෙන් ඩම්බල්ඩෝර් ලෙස රඟපෑමෙන් ඉවත් වීමට ඉතා ආසන්නව සිටි බවයි.

"මගේ ජීවිත කාලය පුරාම මම කරන සෑම සම්මුඛ සාකච්ඡාවකදී ම මෙය මතු වේවි," ඔහු පැවසීය.

පසුගිය වසරේ ඩෙඩ්ලයින් [වෙබ් අඩවියක්] සමග සාකච්ඡාවකට එක් වෙමින් හැග්ග්‍රිඩ්ගේ චරිතයට පණ පොවන ෆ්‍රොස්ට් පැවසුවේ මෙම කාරණය සම්බන්ධයෙන් රෝලිංගේ අදහස් සමඟ "කිසි ම ආකාරයකින්" එකඟ නොවන බව යි.

"ඇයට ඇගේ මතයට අවසර තිබෙනවා, මට මගේ මතයට අවසර තිබෙනවා, ඒවා කිසිම ආකාරයකින්, හැඩයකින් හෝ ආකාරයකින් එකට යන්නේ නැහැ."

පසුගිය වසරේ, එක්සත් රාජධානියේ විනෝදාස්වාද කර්මාන්තයෙන් සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටින පෙත්සමකට අත්සන් තැබූ නළු නිළියන් 400කට වැඩි පිරිසෙන් එක් අයෙක් වූයේ එස්සියඩු ය.

රෝලිං ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමා සමග එකඟ නොවන නළු නිළියන් සේවයෙන් පහ නොකරන බවත්, ඔවුන් සේවයෙන් පහ කළ නොහැකි බවත් ය. "මගේ විශ්වාසයන්ට වඩා වෙනස් නීත්‍යානුකූලව ආරක්ෂිත විශ්වාසයන් ඔවුන් සතුව ඇති නිසා, මිනිසුන්ගේ රැකියා හෝ ජීවනෝපායන් උදුරා ගැනීම ගැන මම විශ්වාස කරන්නේ නෑ."

මේ අතර, කළු ජාතික නළුවෙකු ස්නේප් ලෙස රඟ නොපෑ යුතු බව විශ්වාස කරන ජාතිවාදී පුද්ගලයින්ගෙන් තමාට මරණ තර්ජන එල්ල වී ඇති බව එස්සියඩු සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසීය.

එවැනි තර්ජන හේතුවෙන් නිෂ්පාදකයින් දර්ශන තලය තුළ "බරපතල ආරක්ෂාවක්" යොදවා ඇති බව බ්ලොයිස්, Variety වෙත පැවසීය.

"මේ වගේ ලොකු IP වැඩසටහන් වල නළු නිළියන් ඉන්නකොට, දැඩි රසිකයන් සහ බොහෝ මත තියෙන පුද්ගලයින් ඉන්න පුළුවන් නිසා, ඒක සමහර විට භයානක වෙන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.

ඩැනියෙල් රැඩ්ක්ලිෆ් දර්ශන තලයට පැමිණ තිබේ ද?

ඔහු අලුත් හැරී පොටර් කණ්ඩායමට සටහනක් ලියා තිබිණි.

2000 දශකයේ ආරම්භ වූ අවුරුදු 10ක් පැවති චිත්‍රපට මාලාවේ පළමු තරුව වන දැන් 36 හැවිරිදි වියේ පසුවන ඔහු නොවැම්බර් මාසයේදී මැක්ලවුලින් වෙත ලිපියක් යැවූ බව පැවසූ අතර, ඔහු "ඉතා කාරුණික සටහනක්" සමග පිළිතුරු ඒවා තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එමා වොට්සන්, ඩැනියෙල් රැඩ්ක්ලිෆ් සහ රූපට් ග්‍රින්ට් මීට පෙර හර්මයිනි, හැරී සහ රොන් ලෙස රඟපෑහ.

මැක්ලවුලින් ප්‍රධාන චරිතය සඳහා තෝරා ගැනීමෙන් පසු තමා එම ළමා නළුවාට ලිපියක් යැවූ බව රැඩ්ක්ලිෆ් ගුඩ් මෝර්නින් ඇමරිකා වෙත පැවසීය.

පළමු හැරී පොටර් චිත්‍රපටයේ වැඩ ආරම්භ කරන විට වයස අවුරුදු 11 ක් වූ මැක්ලවුලින්ගේ පූර්වගාමියා, ළමා නළුවාට සහ ඔහුගේ සම නළුවන්ට නිෂ්පාදනය සඳහා සුභ පැතුම් එක් කරමින්, "මට ඔවුන්ව වැළඳ ගැනීමට අවශ්‍යයි" යනුවෙන් පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය: "මට මේ දරුවන්ගේ ජීවිතවල අවතාරයක් වෙන්න ඕන නෑ, නමුත් මට එයාට ලියන්න හිතුනා, 'ඔයාට හොඳම කාලය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, මට වඩා හොඳ කාලයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා - මට හොඳ කාලයක් තිබුණා, නමුත් ඔයාට ඊටත් වඩා හොඳ කාලයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා' කියලා."

"ඒ වගේ ම මම දන්නවා, මට එයාගේ සහ අනිත් ළමයින්ගේ මේ පින්තූර පේනවා, මට ඒ අයව වැළඳගන්න හිතෙනවා."

"එයාලා හරිම පොඩියි වගේ පේනවා. මම එයාලා දිහා බලලා කියනවා, 'අනේ, මම ඒ වයසෙදි එහෙම කරපු එක පිස්සුවක්' කියලා. නමුත් ඒකත් හරිම මිහිරියි, ඒගොල්ලෝ හොඳ කාලයක් ගත කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා," ඔහු පවසයි.

මුල් චිත්‍රපටවල රොන් ලෙස රඟපෑ රූපට් ග්‍රින්ට් ද රූගත කිරීමට පෙර ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ස්ටවුට් සම්බන්ධ කරගත්තේ ය. 37 හැවිරිදි ඔහු නොවැම්බර් මාසයේදී බීබීසීයට මෙසේ පැවසීය: "ඒක ආරම්භ කිරීමට පෙර මම ඔහුට ලිපියක් ලිව්වා, බැටන් පොල්ල එතනින් ම පැත්තකට දැම්මා."

"ඒක ඇත්තට ම එයාට සුභ පැතීමක් විතරයි. මම මේ ලෝකෙට පය තියද්දි ගොඩක් සතුටු වුණා, එයාටත් ඒ අත්දැකීමම ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා."