පරම්පරා ගණනාවක් පුරා ලොව විශාලතම බෞද්ධ විහාරය රැකබලා ගන්නා පවුලක කතාව – 'මම ඉපදුණේ බෝරෝබුදූර් ආරක්ෂා කරන්න'

ඡායාරූප මූලාශ්‍රය, BBC/Silvano Hajid

ඡායාරූප ශීර්ෂ වැකිය, ඒකා සහ ඔහුගේ පියා වර්ඩි බෝරෝබුදූර් විහාරස්ථානයේ සංරක්ෂකයින් බවට පත්ව සිටිති
    • Author, රාජා ඊබන් ලුම්බන්රාඕ
    • Role, බීබීසී ඉන්දුනීසියානු සේවය,මධ්‍යම ජාවාහි මාගලං සිට
  • කියවීමේ කාලය: මිනිත්තු 14

1991 සිට යුනෙස්කෝව විසින් පිළිගනු ලැබ ඇති ලෝක සංස්කෘතික උරුමයක් වන බෝරෝබුදූර් විහාරස්ථානයේ පැවැත්මට, එහි ඇති පේකඩවල දක්නට ලැබෙන දහස් ගණනක් වන චූවින්ගම් ඇලවීමෙන් ඇති වූ පැල්ලම්, කුරුටු ගෑම් සහ පළුදු කිරීම් තර්ජනයක් වී තිබේ.

ඇන්ඩිසයිට් පාෂාණවලින් සාදා ඇති ලොව විශාලතම බෞද්ධ ස්මාරකය වන මෙය රැකබලා ගැනීම සඳහා තම ජීවිතයෙන් වසර 50ක් කැප කළ වර්ඩිට මෙම විනාශකාරී ක්‍රියා හේතුවෙන් ඇති වූයේ සන්තාපයකි.

"මෙහෙම විනාශයක් කරන්න තරම් මිනිස්සු දරුණු උණේ කොහොම ද? ඒක ඇත්තට ම මට වේදනාවක්. අපි මහන්සි වෙන්නේ මේක රැකගෙන සංරක්ෂණය කර ගන්න. ඒත් එයාලට වගකීමක් නැහැ," මධ්‍යම ජාවාහි බෝරෝබුදූර් විහාර සංකීර්ණයට නුදුරින් ඇති චැන්ඩිරෙකෝ ගම්මානයේ පිහිටි සිය නිවසේදී වර්ඩි පැවසීය.

1973-1983දී බෝරෝබුදූර් විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්යභාරයට උර දුන් සිය ගණනක් පුද්ගලයින්ගෙන් වර්ඩි ද එක් අයෙකි. ඒ වන විටත් ඊට සිදුව තිබූ හානිය 'බරපතළ' විය.

සාරධර්ම, තාක්‍ෂණය සහ දැනුම මෙන් ම සමාජ පද්ධතිවල උදාරත්වය පිළිබිඹු කරන මෙම පුරාණ සංස්කෘතික උරුමය "ප්‍රතිසංස්කරණය" කිරීමේදී තමාට නින්ද පවා අහිමි වූ රාත්‍රීන් පැවති බව ඔහු පැවසීය.

දැන් විශ්‍රාම සුවයෙන් පසු වුව ද, වර්ඩි සහ බෝරෝබුදූර් අතර සම්බන්ධතාව නතර වූයේ නැත. ඔහුගේ දැනුම ඔහුගේ පුත් ඒකා සුමිත්‍රා වෙත ලබා දුන් අතර ඔහු දැන් බෝරෝබුදූර් විහාරස්ථානයේ භාරකරුවා ලෙස කටයුතු කරයි.

"මට ඕනෙ මගේ තාත්තගෙන් පස්සේ මේ වගකීම ගන්න. තරුණයින් වන අපි කළේ නැත්නම්, වෙන කවුද බෝරෝබුදූර් පන්සල රැකගෙන පවත්වාගෙන යන්නේ," ඒකා පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝරෝබුදූර් විහාරය, ලොව විශාලතම බෞද්ධ ස්මාරකයක් වන අතර යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි

පුරාවිද්‍යාඥ හරී සෙත්යවාන් පවසන පරිදි, මිනිසුන් විසින් කරනු ලබන හානිවලට අමතරව, බෝරෝබුදූර් විහාරස්ථානයේ ඇති ඇන්ඩිසයිට් පාෂාණ, උෂ්ණත්ව වෙනස්වීම්, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම් සහ ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමෙන් ද තර්ජනවලට මුහුණ දෙමින් තිබේ.

බෝරෝබුදූර් විහාරස්ථානයට සිදුවන හානිය වැළැක්වීම සඳහා රජය විවිධ උත්සහයන් අඛණ්ඩව ගනිමින් සිටී. ඒවා අතරට සංචාරක කෝටා සහ වේලාව වෙන්කිරීමේ ක්‍රමයක්, ඇතුළු වීම සඳහා එක් ප්‍රවේශයක් පමණක් යොදා ගැනීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ සිට 'ඌපානාත්' නම් විශේෂ පාවහන් භාවිතය දක්වා ආදී උත්සහයන් ඇතුළත් වේ.

"බෝරෝබුදූර් විහාරස්ථානයේ ගොඩනැගිල්ලට වෙන හානිය වැළැක්වීමේ උත්සහයන් අපි දකින්නේ උපායමාර්ගික ප්‍රමුඛතාවක් විදිහට," සංචාරක සේවා ආයතනයක් වන InJourney Destinationහි ප්‍රධාන අධ්‍යක්ෂ ෆෙබ්‍රිනා ඉන්තාන් පැවසීය.

මිනිස් ජීවිතයේ ඉහළ ම ප්‍රඥාව කරා යන ගමන නිරූපණය කරන බෝරෝබුදූර් නටබුන් සංරක්ෂණය කිරීම සඳහා වර්ඩි සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් යන ගමන මෙය යි.

'මගේ ජීවිතයෙන් අවුරුදු 50කට වැඩි කාලයක් බෝරෝබුදූර් වෙනුවෙන් ගෙවුණා'

ඡායාරූප ශීර්ෂ වැකිය, 1973-1983 ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලද අගැයීමේ සහතිකයක් අතැතිව සිටින වර්ඩි

මධ්‍යම ජාවාහි බෝරෝබුදූර් විහාර සංකීර්ණයට නුදුරින් ඇති චැන්ඩිරෙකෝ ගම්මානයේ පිහිටි සිය නිවසේදී ඉකුත් සෙනසුරාදා (මැයි 10) මැදිවියේ මිනිසෙක් මා යුහුසුළුව පිළිගත්තේ ය.

"එන්න ඇතුළට. මොනවා ද බොන්න කැමති?," 72 වන වියට පා තැබීමට නියමිත වර්ඩි පැවසීය.

සිය "ආත්මීය සහකරු" වන බෝරෝබුදූර් විහාරස්ථානය ගැන කතා කරන විට ඔහුගේ කටහඬ උද්යෝගයෙන් පිරී ගියේ ය.

"මගේ ජීවිතයෙන් අවුරුදු පනහකට වැඩි කාලයක් බෝරෝබුදූර් විහාරය වෙනුවෙන් මම කැප කළා. මට දැනෙන්නේ මම බෝරෝබුදූර් රැකබලා ගන්න ඉපදුණා වගේ," කනිෂ්ඨ පාසල් අධ්‍යාපනය පමණක් ලැබූ ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/Silvano Hajid

ඡායාරූප ශීර්ෂ වැකිය, වර්ඩි ඔහු විසින් අඳින ලද බෝරෝබුදූර් විහාරස්ථානයේ පේකඩවල දළ සටහන් පෙන්වමින්

වර්ඩි තුළ බෝරෝබුදූර් විහාරය කෙරෙහි පවතින ආදරය 1972 සිට එනම් ඔහුට වයස අවුරුදු 20ක් වීමට ආසන්න කාලයේ සිට පැවත එන්නකි.

එවකට රජය බෝරෝබුදූර් විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය ගණනක් කම්කරුවන් සොයමින් සිටියේ ය.

"මුලදී, මට වැඩ කරන්න විතරයි ඕන වුණේ, ගල්, ප්‍රතිසංස්කරණය වගේ දේවල් ගැන මට කිසි ම දෙයක් තේරුණේ නැහැ. කාලයත් සමග මම බෝරෝබුදූර් විහාරස්ථානයට ආදරය කරන්න පටන් ගත්තා," වර්ඩි පැවසීය.

එම කාලයේ බෝරෝබුදූර් විහාරස්ථානය පැවති තත්ත්වය ඉතා කනගාටුදායක වූ බව ඔහු පැවසීය.

"විහාරයේ උතුරු බිත්තිය ආසන්න වශයෙන් සෙන්ටිමීටර 60ක් පමණ ගිලා බැහැලා තිබුණේ. හැම තැනක ම වගේ හිඩැස් ඇති වෙලා, කඩන් වැටෙන්න ඔන්න මෙන්න වගේ තිබුණේ," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/Silvano Hajid

ඡායාරූප ශීර්ෂ වැකිය, වර්ඩි විසින් අඳින ලද බෝරෝබුදූර් විහාරස්ථානයේ පේකඩවල දළ සටහන්

අපගේ සංවාදය අතරතුර, වර්ඩි බෝරෝබුදූර් විහාරස්ථානයේ ඇති ගල් ඔහු විසින් සිතුවමට නගා ඇති අයුරු මාහට පෙන්වීය.

ඉන්පසු ඔහු එම ගල් ගලවා ඉවත් කර පිරිසිදු කිරීමේදී තමා සහ තම සගයන් මුහුණ දුන් විවිධ අභියෝග සිහිපත් කළේ ය.

ඔහු පැවසුවේ, මිනිසුන් 12 දෙනෙකුට පවා එසවිය නොහැකි විශාල ගලක් එහි තිබූ බව ය. අවසානයේ ඔවුහු එය රැගෙන යාමට කරත්තයක් භාවිත කළහ.

"ඊට පස්සේ වැසි කාලයේදී අපි වැඩ කළේ කුඹුරක වගේ, මොක ද එතන මඩ වෙලා. ඒක හරි ම අමාරු යි. ඒත් විනෝදජනක යි," ඔහු සිහිපත් කළේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Werdi

ඡායාරූප ශීර්ෂ වැකිය, වර්ඩි, බෝරෝබුදූර් විහාරස්ථානයේ ගල් සංරක්ෂණයේ නිරත වෙමින් (නිල් කමිසයක් ඇඳ සිටී)

බෝරෝබුදූර් විහාරස්ථානයේ ගල් නැවත එකලස් කිරීමේ ක්‍රියාවලියේදී විශාල අභියෝගයක් මතු විය.

මෙම ක්‍රියාවලිය ඇනස්ටයිලෝසිස් ලෙස හැඳින්වේ. එනම් නටඹුන් ඒවායේ මුල් තත්ත්වයට සමාන වන පරිදි ප්‍රතිනිර්මාණය කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රමවේදයකි.

ඇත්ත වශයෙන් ම, වර්ඩි පැවසුවේ ඒ නිසා ඔහුට බොහෝ අවස්ථාවල නිදා ගැනීමට පවා නොහැකි වූ බව ය.

"ගල් සවි කරද්දී ගල් බිත්තියේ හරියට ම සිරස් අතට සහ තිරස් අතට තියෙන්නේ ඕනෙ. සෙන්ටිමීටරයකවත් ඉඩක් තියෙන්න බැහැ. ඒ ගැන හිතද්දී මට නින්ද ගියෙත් නැහැ," ඔහු පැවසීය.

බෝරෝබුදූර් විහාරස්ථානයේ ගල් සකස් කර ඇත්තේ, ඒවා අන්තර් සම්බන්ධ කිරීමේ තාක්‍ෂණයක් භාවිත කරමින් බව වේර්දි පැවසීය.

මෙයින් අදහස් කරන්නේ සෑම ගලකට ම එකිනෙකට ආවේණික වූ ලක්ෂණ පැවති බව ය. සිමෙන්ති හෝ බිත්තර සුදු මද වැනි ගල් ඇලවීම සඳහා කිසිදු ද්‍රව්‍යයක් භාවිත කර නොතිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Kementerian Kebudayaan

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝරෝබුදූර් විහාරස්ථානයේ දෙවන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1973-1983 දක්වා සිදු විය

වසර දහයකට පසු අවසානයේ බෝරෝබුදූර් විහාරස්ථානය යළිත් උස්ව නැගී සිටියේ ය.

"මට හරි ම ආඩම්බර යි, මොක ද මම ඒක කඩා වැටෙන්න ගිය වෙලාවේ ඉඳන් ඒක යථා තත්ත්වයට පත් කරනකම් වැඩ කරපු සිය ගණනක් ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගෙන් එක් කෙනෙක්," ඔහු පැවසීය.

ප්‍රතිසංස්කරණය අවසන් වූ විට, බොහෝ කම්කරුවන් සිය වෘත්තීය වෙනස් කළ අතර ඔවුන්ගේන් ඇතැමුන් බෝරෝබුදූර්හි ආරක්ෂකයින් ලෙස සේවයට ගිය අතර අනෙක් අය වෙනත් විහාරස්ථානවල සේවාවන්ට ගියහ.

නමුත්, වර්ඩි එසේ කළේ නැත. 2010දී විශ්‍රාම යන තෙක් බෝරෝබුදූර්හි මෙම පාෂාණ රැකබලා ගැනීමේ වගකීම ඔහුට පැවරිණි.

බෝරෝබුදූර්හි ප්‍රතිසංස්කරණ ශිල්පියෙකු වීම නිසා විවාහ වීමට, දරුවන් ලැබීමට සහ පවුලක් ඇති දැඩි කිරීමට මාර්ගය විවෘත වූ බව වර්ඩි පැවසීය.

දැන් වර්ඩි ගොවියෙකු ලෙස කාලය ගත කරන අතර, ඉඳහිට විහාරයේ නඩත්තු කටයුතුවලට සහය වීම සඳහා ඔහුට කැඳවීම් ලැබේ.

බෝරෝබුදූර්හි සුන්දරත්වය ප්‍රතිස්ථාපනය කිරීමේ ක්‍රියාවලිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1844දී අර්නස්ට් බ්‍රෙට්න් විසින් අඳින ලද බෝරෝබුදූර් විහාරයේ සිතුවමක්

ශෛලේන්ද්‍ර රාජවංශයේ රජවරුන් බලයේ සිටි ක්‍රි.ව. 8 වන සියවසේදී පමණ බෝරෝබුදූර් විහාරස්ථානය ඉදිකරන ලද බව සැලකේ.

මෙම විහාරස්ථානය වසර 150ක් පුරා මහායාන බෞද්ධයන් සඳහා පූජනීය ස්ථානයක් ලෙස පැවති බවට ද පිළිගැනේ.

ඉන් පසු, ක්‍රි.ව. 10 වන සියවසේ සිට බෝරෝබුදූර් විහාරස්ථානය නඩත්තු කිරීමක් සිදුව නැතැයි විශ්වාස කෙරේ.

මෙරාපි ගිනි කන්දේ බලවත් පිපිරීම මාතාරම් රාජධානියේ බලය අවසන් කළ අතර, ඒ හේතුවෙන් රාජධානියේ කටයුතු මධ්‍යම ජාවා සිට නැගෙනහිර ජාවා දක්වා ගෙන යාමට සිදු විය.

මෙම පිපිරීම නිසා අවට විහාරස්ථාන සීතල ලාවාවලින් වැසී ගියේ ය.

සියවස් ගණනාවක් පුරා, බෝරෝබුදූර් විහාරස්ථානය මිනිසුන්ගෙන් සැඟවී තිබූ අතර, 1814දී එය ඉන්දුනීසියානු ඉතිහාසයේ පිටු පිරවීමට නැවත සොයා ගැනිණි.

ඡායාරූප මූලාශ්‍රය, LEIDEN UNIVERSITY LIBRARIES (KITLV 500423)

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝරෝබුදූර් විහාරස්ථානයේ කැණීම් 19 වන සියවසේදී සිදු කරන ලදී. එය නැවත සොයා ගන්නා විට, බෝරෝබුදූර් විහාරස්ථානය ගස් හා පඳුරුවලින් වැසී ගිය කන්දක් පිටුපස වැළලී තිබිණි

එම කාලයේදී, ලන්දේසි ජාතිකයින්ගේ පාලනය යටතේ පැවති නැගෙනහිර ඉන්දීය කොදෙව්හි අග්‍රාණ්ඩුකාර තෝමස් එස්. රැෆල්ස් වෙත මෙම නටඹුන් සොයා ගැනීම පිළිබඳ වාර්තාවක් ලැබිණි.

ඉන්පසු රැෆල්ස් ඔහු යටතේ සිටි මිනිසුන්ට එම ස්ථානය පිළිබඳ පර්යේෂණ සිදු කර එම ස්ථානය පාදා ගන්නා ලෙස නියෝග කළේ ය.

1873දී බෝරෝබුදූර් පිළිබඳ පළමු ශාස්ත්‍රීය නිබන්ධනය ප්‍රකාශයට පත් කරන තෙක් රැෆල්ස්ගේ අනුප්‍රාප්තිකයින් විසින් මෙම උත්සහය දිගට ම කරගෙන යන ලදී.

පළමු මහා පරිමාණ ප්‍රතිසංස්කරණය 1907 සිට 1911 දක්වා තියඩෝර් වෑන් අර්ප්ගේ නායකත්වයෙන් සිදු කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1895-1905 පමණ කාලයේ බෝරෝබුදූර් විහාරස්ථානයේ ඡායාරූපයක්

ඔවුහු නටබුන් වී විසිරී ගිය ප්‍රධාන ස්ථූපය සහ කුඩා ස්ථූප නැවත එකලස් කිරීම මෙන් ම කොරිඩෝ සහ ශාලාවල බිත්ති ප්‍රතිසංකරණය කිරීම කෙරෙහි ද අවධානය යොමු කළහ.

වෑන් අර්ප්ගේ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල සමහරක් අදටත් පවතී.

කෙසේ වෙතත්, වෑන් අර්ප් කඩා වැටී තිබූ ගොඩනැගිලි කොටස් ඉවත් නොකළ නිසා, බෝරෝබුදූර් බිත්තිවල තවමත් ඉතා භයානක බෑවුමක් පවතී.

ගොඩනැගිල්ලේ අධික බරට ඔරොත්තු දිය හැකි අත්තිවාරමක් නොමැති නිසා බෝරෝබුදූර් විහාරය කඩා වැටීමේ තර්ජනයට ද ලක්ව තිබිණි.

මෙම තර්ජන මධ්‍යයේ, ඉන්දුනීසියානු නිදහස ආරම්භයේදී දේශීය හා විදේශීය විප්ලවයේ කැලඹීම් හේතුවෙන් බෝරෝබුදූර් සම්බන්ධ අවධානය තාවකාලිකව අත්හැර දැමීමට සිදුවිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙවන ප්‍රතිසංස්කරණයට පෙර බෝරෝබුදූර් විහාරස්ථානයේ තත්ත්වය

බෝරෝබුදූර් විහාරස්ථානයට සිදුව ඇති හානිය බරපතළ තත්ත්වයක පවතින බව 1960 වසරේදී ප්‍රකාශයට පත් කෙරිණි.

1973 සිට 1983 දක්වා "බෝරෝබුදූර් විහාරයේ දෙවන ප්‍රතිසංස්කරණය" සිදු කිරීමට ඉන්දුනීසියානු රජය සහ යුනෙස්කෝව එකඟ වන තෙක් ඒ සඳහා විවිධ ජාතික හා ජාත්‍යන්තර උත්සහයන් ගෙන තිබිණි.

මෙම ව්‍යාපෘතිය පූර්ණ ධාරිතාවකින් ක්‍රියාත්මක වෙද්දී සේවකයින් 600ක් පමණ සේවය කළහ.

පළමු වසර දෙක තුළ, විහාරස්ථානයේ ගල් කිසිවක් ඉවත් කළේ නැත. එහි මිදුලේ ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය ආධාරක පහසුකම් ගොඩනැගීම සහ බැල්කනිය වටා වූ ගල් ඉවත් කිරීම කෙරෙහි කම්කරුවෝ අවධානය යොමු කළහ.

සැබෑ ලෙස ම ප්‍රතිසංස්කරණ කාර්යය ආරම්භ වූයේ, 1975 මැයි මාසයේදී ය. එහිදී, විහාරස්ථානයේ ගල් එකින් එක ඉවත් කෙරිණි.

ඉන්පසුව, කම්කරුවෝ විහාර භූමියේ පතුල ශක්තිමත් කර, එහි ව්‍යුහය තුළට ජලය බැස නොයන ලෙස ජලාපවහන කාණු ඉදි කළහ.

ඊළඟ පරම්පරාවට දායාද කළ දැනුම

ඡායාරූප මූලාශ්‍රය, BBC/Silvano Hajid

ඡායාරූප ශීර්ෂ වැකිය, ඒකා සිය පියා සමග

වර්ඩි සහ බෝරෝබුදූර් අතර සම්බන්ධතාව අවසන් නොවිණි. තමන් ලබාගත් දැනුම ඔහු තම පුත්‍රයා වන 41 හැවිරිදි ඒකා සුමිත්‍රා වෙත දුන් අතර, ඒකා සුමිත්‍රා දැන් සිය පියාගෙන් පසු බෝරෝබුදූර් විහාරස්ථානයේ භාරකරු ලෙස ක්‍රියා කරයි.

ඒකාට බෝරෝබුදූර්හි වැඩ කිරීමට අවස්ථාව ලැබුණේ 2010දී ය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 29කි. ඊට පෙර, ඔහු රැකියාවක් සොයමින් ලොව පුරා ස්ථාන කිහිපයක සංචාරය කර ඇති අතර, ජකර්තාහි කර්මාන්ත ශාලාවක ද ඔහු සේවය කර තිබිණි.

"මට ඕන වුණේ තාත්තගෙන් පස්සේ එයාගේ වගකීම ගන්න. තරුණයින් වන අපි නැත්නම්, වෙන කවුද බෝරෝබුදූර් පන්සල රැකගෙන පවත්වාගෙන යන්නේ. පස්සේ අපේ දරුවන්ට සහ මුණුපුරන්ට දකින්න පුළුවන් වේවි, අනේ, පන්සල තාමත් ලස්සනට තියෙනවා, තාමත් ඒ වගේ ම අනර්ඝයි කියලා," ඒකා පැවසීය.

ඒකා තම පියාව දකින්නේ, "ආදර්ශවත් චරිතයක් සහ අභිප්‍රේරණයක්," ලෙස ය. "මගේ පියාගෙන් මම පන්සල්වල ඉතිහාසය, පන්සල් පිරිසිදු කිරීම, නඩත්තු කිරීම සහ පාෂාණ පිළිබඳ විද්‍යාව ඉගෙන ගත්තා."

ඡායාරූප මූලාශ්‍රය, BBC/Silvano Hajid

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝරෝබුදූර් විහාරය වෙත පැමිණි සංචාරකයින් පිරිසක්
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඒකා අවුරුදු 15ක් තිස්සේ බෝරෝබුදූර්හි සේවය කරයි. ඔහුට අවශ්‍ය වන්නේ, තම පියා මෙන් බෝරෝබුදූර් විහාරය රැක බලා ගනිමින් ජීවිතය ගත කිරීමට ය.

ඇත්ත වශයෙන් ම, සිය පුතා ද තමන්ගේ සහ පියාගේ අඩිපාරේ යනු ඇතැයි ඒකා අපේක්ෂා කරයි.

"මගේ පුතා පුරාවිද්‍යාඥයෙක් වෙලා එයාගේ තාත්තා සහ සීයා වගේ පන්සලේ වැඩ කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපේ පරම්පරාවට බෝරෝබුදූර් විහාරය දිගට ම ආරක්ෂා කරන්න ඉඩ දෙන්න."

සංචාරක සේවා ආයතනයක් වන InJourney Destination නමැති ආයතනයේ, ප්‍රධාන අධ්‍යක්ෂ ෆෙබ්‍රිනා ඉන්තාන්, බෝරෝබුදූර් විහාරස්ථානයේ තිරසර පැවැත්ම සහ එහි සැබෑ ස්වරූපය ඉදිරියට පවත්වා ගැනීමේ ප්‍රධාන සාධකයක් ලෙස බෝරෝබුදූර් භාරකාර වෘත්තිය සලකයි.

මේ හේතුව නිසා, එම ආයතනය අනෙකුත් ලෝක උරුම ස්ථාන වන අන්කෝර් වොට්, මාචු පීචු සහ වෙනත් ස්ථාන සමග හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම දිරිමත් කරන බව ඇය පැවසීය.

"එතකොට ප්‍රතිසංස්කරණය කරන අයට ගෝලීය අවබෝධයක් ලබා ගන්න පුළුවන් වගේ ම ඔවුන්ගේ වෘත්තීය ජාලය පුළුල් කර ගන්න පුළුවන්. ඊට අමතරව, ඉන්දුනීසියාවේ වැඩමුළු සහ උපදේශන සැපයීම සඳහා විදේශයන්හි සංරක්ෂණ විශේෂඥයින්ගෙන් අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි යි," ඇය පැවසීය.

චූවින්ගම්, කුරුටු ගෑම් සහ හානියට පත් පේකඩ කැටයම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝරෝබුදූර් විහාරස්ථානයේ එක් කොටසක කුරුටු ගෑම තහනම් බවට අනතුරු ඇඟවීමක් සහිත දැන්වීමක් ඇත

ලෝක උරුම ඒකකයක් වන බෝරෝබුදූර් කෞතුකාගාරය සහ සංස්කෘතික උරුමය (MCB) නමැති ආයතනය විසින් විහාරයේ බිම සහ එහි කැටයම් මත අවම වශයෙන් චූවින්ගම් පැල්ලම් 3,000ක් ඇතැයි ගණන් බලා තිබේ.

මෙම පැල්ලම් තවමත් පහසුවෙන් දැක ගත හැකි ය.

"මේ චූවින්ගම් පැල්ලම් නිසා බෝරෝබුදූර් විහාරයේ ඇති ගල් හානියට පත් වීම වේගවත් වෙනවා," පුරා විද්‍යාඥයෙකු සහ බෝරෝබුදූර් විහාර නඩත්තු වැඩ කණ්ඩායමේ සම්බන්ධීකාරක ද වන හරී සෙත්යවාන් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/Silvano Hajid

ඡායාරූප ශීර්ෂ වැකිය, හරී සෙතියාවන් ඉවත් කිරීමට අපහසු චූවින්ගම් පැල්ලමක් පෙන්වමින්

බෝරෝබුදූර් විහාර පරිශ්‍රය මහ ජනතාව සඳහා විවෘත කළ දා සිට එහි ගල් මතට නොසැලකිලිමත් ලෙස චූවින්ගම් විසි කිරීම සිදුවන බව හරී පැවසීය.

"ඉවත් කරන්න අපහසු පැල්ලම් ගොඩක් තියෙනවා," 2010 සිට බෝරෝබුදූර් විහාරයේ සේවය කළ ඔහු පැවසීය.

චූවින්ගම්වලට අමතරව, එහි ඇති කැටයම් මත කුරුටු ගෑම සහ ඒවාට හානි කිරීම වැනි විනාශකාරී ක්‍රියාවන් ද බොහෝ විට දක්නට ලැබෙන බව හරී පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/Silvano Hajid

ඡායාරූප ශීර්ෂ වැකිය, හරී සෙත්යවාන් පෑගීම නිසා ගෙවී ගිය ගල් තට්ටුවක් පෙන්වමින්

තවත් තර්ජනයක් වන්නේ විහාරයේ ඇති ගල් නිතර පෑගීමට ලක්වීම ය.

ඇතුළත ස්පර්ශ කළහොත් වාසනාව ලැබෙනු ඇතැයි යන මිථ්‍යාව පවතින ස්ථූපයක් නැරඹීමට මා හට ආරාධනා කෙරිණි.

ස්ථූපය වටා ඇති නෙළුම් මල් කැටයම් තුනී වී හානි වී ඇති බව එහිදී මට නිරීක්ෂණය විය.

"එක්කෙනෙක්, දෙන්නෙක්, දහ දෙනෙක් නම් කමක් නැහැ. දහස් ගණනක්, මිලියන ගණනක් මිනිස්සු මෙතනට එනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ ගල් ගෙවිලා යනවා. ස්ථූපය අල්ලන්න ඕන වුණා ම ඇඟෙන් තල්ලු වෙන නිසා බිම තියෙන ගල්වලට යි, ස්ථූපයට යි දෙකට ම හානි වෙනවා," හරී පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු බෝරෝබුදූර් විහාරස්ථානය මහජනතාව සඳහා විවෘත කෙරිණි

2019 වසරේ දත්ත පෙන්නුම් කළේ, බෝරෝබුදූර් විහාරයේ ගල් ගෙවී ඇති ප්‍රමාණය සෙන්ටිමීටර 3.95කට ආසන්න වී ඇති බවත්, එය පෙර වසරේ පැවති සෙන්ටිමීටර 3.78ට වඩා වැඩිවීමක් පෙන්නුම් කරන බවත් ය.

සෙන්ටිමීටර පහක් පමණ ගෙවී ගිය ගල් ද තිබේ.

"ඒ නිසා, සංචාරකයින් පැමිණීම සීමා කරලා බලපෑම අවම කරන්න පියවර ගන්න ඕනෙ," හරී පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, BBC/Silvano Hajid

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝරෝබුදූර් විහාරය නැරඹීමට පැමිණි සංචාරකයින් (මැයි 11 වන දා)

2018දී බෝරෝබුදූර් විහාරස්ථානය වෙත සංචාරකයින් මිලියන 3.66ක් පැමිණ තිබූ අතර, පසුව 2019දී එය මිලියන 3.94ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

සංචාරකයින් සංඛ්‍යාව 996,000 දක්වා දැඩි ලෙස පහත වැටුණේ, 2020දී පමණි. ඒ, කොචිඩ් වසංගතය හේතුවෙනි.

2023 සිට, පැයකට පුද්ගලයින් 150ක් හෝ දිනකට පුද්ගලයින් 1,200ක් ලෙස විහාරයට ඇතුළු විය හැකි සංචාරකයින් ගණන සීමා කර ඇත.

එම වසර තුළ පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.47ක් ලෙස වාර්තා වූ අතර ඊළඟ වසරේ එය මිලියන 1.3 දක්වා අඩු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 දෙසැම්බර් 23 වන දින බෝරෝබුදූර් විහාරස්ථානයේ ගුවනින් ගත් ඡායාරූපයක්

විහාර සංකීර්ණය වටා පාලනයකින් තොරව ජනාවාස සංවර්ධනය වීම තවත් තර්ජනාත්මක සාධකයක් බව හරී පැවසීය.

ඇත්ත වශයෙන් ම, හරීට අනුව, යුනෙස්කෝව බෝරෝබුදූර් විහාරය ලෝක උරුම අඩවියක් ලෙස නම් කර ඇතිවා පමණක් නොව, මෙන්ඩුට් විහාරය සහ පාවොන් විහාරය ඇතුළු අවට ප්‍රදේශ ද ඊට ඇතුළත් කර ඇත.

"මෙම විහාරස්ථාන පිහිටලා තියෙන්නේ නැගෙනහිර දිහාවට තියෙන මනඃකල්පිත සරල රේඛාවක් දිගේ. ඒ වටේට, කිලෝමීටර 5ක වගේ අරයක් ඇතුළේ පුරාණ වැවක් ​​සහ ඒක වටේ ඇති කුඹුරු, ගංගා වගේ දේවල් තියෙනවා."

නමුත් අවාසනාවන්ත ලෙස, මේ ජනාවාස මගින් "පුරාණ ජාවා සංස්කෘතියට අනුව, අධ්‍යාත්මික ලෝකයක් පෙන්වන" බෝරෝබුදූර් විහාර සංකීර්ණයට ඒකාබද්ධ වී ඇති එම පරිසරය වෙනස් කර ඇති බව ඔහු පැවසීය.

"ඉතින්, බෝරෝබුදූර්ර් සහ එහි වටපිටාව දෙස බැලුවොත්, මේ පරිසරය ඇත්ත වශයෙන් ම විහාරස්ථානයට ආරක්ෂක ආවරණයක් හෝ ආධාරකයක් වෙනවා කියන එකත් ඒක ආරක්ෂා කරලා නඩත්තු කළ යුතු යි කියන එකත් පේනවා," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Injourneydestination

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝරෝබුදූර් විහාරයේ ගොඩනැගිල්ලට සිදුවන හානිය වැළැක්වීමේ උත්සහයන් උපාය මාර්ගික ප්‍රමුඛතාවක් බව InJourney Destination ප්‍රධාන අධ්‍යක්ෂ ෆෙබ්‍රිනා ඉන්තාන් පවසයි.

මෙම තර්ජනය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී, බෝරෝබුදූර් විහාරස්ථානයේ ගොඩනැගිල්ලට සිදුවන හානිය වැළැක්වීමේ උත්සහයන් උපාය මාර්ගික ප්‍රමුඛතාවක් ලෙස InJourney Destination ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂ ෆෙබ්‍රිනා ඉන්තාන් සලකයි.

එබැවින්, ඇයගේ පාර්ශවය බෝරෝබුදූර් සංරක්ෂණ මධ්‍යස්ථානය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් ගනු ලබන සංරක්ෂණ පියවරයන්ට පූර්ණ සහයෝගය දක්වන අතර ම, එය සංචාරක වැනි වෙනත් අවශ්‍යතා සඳහා විවෘත කිරීමෙන් එහි සංරක්ෂණ කටයුතුවලට හානියක් නොවන බව සහතික කිරීම සඳහා ද ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරයි.

"විහාරයේ ඉහළට නගින්න කැමති සංචාරකයින්ට කෝටා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම තමයි අපේ අරමුණ. ඒ වගේ ම අපි ඇතුළු වෙන්න එක දොරක් පමණක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියක්, සාමාන්‍ය සපත්තු හෝ සෙරෙප්පුවල ඍජු ඝර්ෂණය නිසා ගල්වලට සිදුවන හානිය අවම කරන්න විශේෂ පාවහන් [රෙදි/ඌපානාත් පාවහන්] භාවිතයත් හඳුන්වා දෙනවා," ෆෙබ්‍රිනා පැවසීය.

බෝරෝබුදූර් මුහුණ දෙන වෙනත් තර්ජන මොනවා ද?

ඡායාරූප ශීර්ෂ වැකිය, උෂ්ණත්ව වෙනස්වීම්, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම සහ ජෛව බලපෑම් හේතුවෙන් ද විහාරයේ භෞතික හා ව්‍යුහාත්මක කොටස්වලට තර්ජන එල්ල වේ

මානව සාධකවලට අමතරව, බෝරෝබුදූර් අවට පරිසරයට ඍජුව ම නිරාවරණය වන විවෘත පරිසරයක පිහිටා ඇති බැවින්, උෂ්ණත්ව වෙනස්වීම්, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම සහ ජෛව බලපෑම් හේතුවෙන් එහි භෞතික හා ව්‍යුහාත්මක කොටස්වලට තර්ජන එල්ල වන බව හරී පැවසීය.

"දවල්ට හරි ම රස්නෙයි. ඊට පස්සේ රෑට සීතල වෙනවා. බෝරෝබුදූර් විහාරය හදල තියෙන ප්‍රධාන ම ද්‍රව්‍යය වන ඇන්ඩිසයිට් පාෂාණ විනාශ වීමට ඍජුව ම හේතු වන උෂ්ණත්වයේ සහ ආර්ද්‍රතාවයේ උච්චාවචනයන් ලෙස අපි හඳුන්වන්නේ මේක," හරී පැවසීය.

ඇන්ඩිසයිට් පාෂාණවල කුඩා සිදුරු විශාල වශයෙන් ඇති බැවින් ඒවා පහසුවෙන් කැටයම් කළ හැකි ය. නමුත් අනෙක් අතට, මෙය එම ගල් හානියට පත් වීමට වැඩි අවදානමක් ඇති කරයි.

අනතුරුව, මෙම ගල් ඛාදනයට හේතු විය හැකි රසායනික සාධකය පැමිණෙන්නේ වැසි ජලයෙනි. ඇතැම් විට වායු දූෂණය හේතුවෙන් වැසි ජලය ආම්ලික වන අතර ඒවා මෙම ගල්වල ඇති ඛනිජ සමග එක්වී ප්‍රතික්‍රියා කිරීමෙන් ගල් විනාශ වන බව හරී පැවසීය.

"එහෙම ප්‍රතික්‍රියා කළා ම ලවණ තැන්පත් වෙලා, ඒවා ඝනීභවනය වෙලා, පැල්ලම් ඇති වෙලා, ඒවා ආයෙත් සිදුරු වෙලා ඛාදනය වේගවත් වෙන්න පුළුවන්," හරී පැවසීය.

ඛාදනය වේගවත් කරන තවත් සාධකයක් වන්නේ, ජෛව මූලද්‍රව්‍යයන් වන පාසි, ඇල්ගී සහ ලයිකන වැනි ක්ෂුද්‍ර ජීවීන් මතුවීම යි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2020 ජුනි 22 වන දින මගලංහි පිහිටා ඇති බෝරෝබුදූර් විහාරයේ ස්ථූපයක් මත ඇති ගිනිකඳුවලින් නිකුත් වූ ලාවා අළු පිරිසිදු කරන සේවකයෙක්

මේ හේතුව නිසා, විහාරයේ ගල්වලට සිදුවන හානිය අවම කිරීම සඳහා සංරක්ෂණ පියවර දෙකක් ගෙන ඇති බව හරී පැවසීය.

පළමුවැන්න නම්, අඩු පීඩන ජල ඉසින යන්ත්‍රයක් භාවිතයෙන් පිරිසිදු කිරීම සහ ගලට හානි නොවන කොස්සක් භාවිතයෙන් [වියළි] පිරිසිදු කිරීම මගින් ආරක්ෂා කර ගැනීමට උත්සහ කිරීම ය.

දෙවැන්න, ගල් ආරක්ෂා වන පරිදි මැලියම් යෙදීම, ඉරිතැලීම් සඳහා ප්‍රතිකර්ම කිරීම සහ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් පිළිසකර කිරීම ආදියෙන් සිදු කරන සංරක්ෂණය යි.

නිර්වාණය කරා යන මිනිස් ජීවිතයේ ගමන් මග

මීටර් 121.66ක් දිග බෝරෝබුදූර් විහාරය, ඉහළට යන විට කුඩා වන පීඨිකා සහිත පිරමීඩයක හැඩයෙන් යුක්ත වන අතර, එහි සෑම පැත්තකින් ම පඩි හතරක් බැගින් ඇත.

බෝරෝබුදූර්හි ව්‍යුහය මහල් නවයකින් සමන්විත වේ. ඊට හතරැස් හැඩැති මහල් හයක් සහ රවුම් හැඩැති මහල් තුනක් ඇතුළත් වේ.

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝරෝබුදූර් විහාරස්ථානයේ ඇති කැටයම් මිනිස් ජීවිතයේ ඉහළ ම ප්‍රඥාව කරා යන ගමන නිරූපණය කරයි

බෝරෝබුදූර් විහාරස්ථානයේ ව්‍යුහය සහ බිත්තිවල ඇති අලංකාර මෝස්තර මගින් මිනිස් ජීවිතයේ ඉහළ ම ප්‍රඥාව කරා යන ගමන නිරූපණය කෙරේ.

පළමු කොටසේ විහාරයේ පාදම අලංකරණය කෙරෙන පේකඩ 160ක් ඇත.

මෙම පේකඩ මගින් කොල්ලකෑම, ඝාතනය, දූෂණය, වධහිංසා පැමිණවීම සහ අපහාස කිරීම වැනි රාගය සහ සතුට (කාමධාතු) මගින් තවමත් පාලනය වන ලෞකික ජීවන මට්ටමක් නිරූපණය කරයි.

ඊළඟ පීඨිකාව නිරූපණය කරන්නේ, සෑම පුද්ගලයෙකු ම සියලු දුක්ඛිත තත්ත්වයන්ගෙන් සහ පුනර්භවයේ චක්‍රයෙන් (රූපධාතු) මිදීමට දරන උත්සහයේදී ගත කළ යුතු පරමාදර්ශී ජීවිතය යි.

එහි ඉහළ ම පීඨිකාව සංකේතවත් කරන්නේ, සියලු දුක්ඛිතභාවයන්ගෙන් තොර (අරූපධාතු) හෝ "භෞතික පැවැත්මකින් තොර" ජීවන මට්ටම යි.

ඉන්පසුව, බෝරෝබුදූර් විහාරයේ මුදුන සෑම මිනිසෙකුගේ ම අවසාන ඉලක්කය වන නිර්වාණය සංකේතවත් කරයි.