මිනිස් වාසයෙන් දුරස්ව සිටින ඇමේසන් වනයේ හුදෙකලා ගෝත්‍රික කණ්ඩායම

ඡායාරූප මූලාශ්‍රය, Fenamad

    • Author, ස්ටෙෆනි හෙගාර්ටි
    • Role, ගෝලීය ජනගහන වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 10

තෝමස් ඇනෙස් ​​ඩොස් සැන්ටොස් පේරුහි ඇමේසන් වනාන්තරයේ පෙහෙළි කළ කුඩා කොටසක වැඩ කරමින් සිටියදී, වනාන්තරය දෙසින් පියවර හඬක් ඇසිණි.

ඊළඟ මොහොතේ යම් පිරිසක් විසින් ඔහු වට කරගෙන සිටින බව ඔහුට වැටහුණු පසු, ඔහු නිසොල්මන්ව සිටියේ ය.

"එක් කෙනෙක් ඊතලයක් මානාගෙන හිටගෙන හිටියා," ඔහු පවසයි. "එයා දැනගත්තා මං එතන ඉන්න බව. ඒ නිසා මං දුවන්න ගත්තා."

ඔහු මාෂ්කෝ පිරෝ ගෝත්‍රිකයින් පිරිසක් සමග මුහුණට මුහුණ මුණ ගැසී සිටියේ ය. දශක ගණනාවක් තිස්සේ, නුයේවා ඕෂනියා නම් කුඩා ගම්මානයේ ජීවත් වන තෝමස්, පිටස්තර පුද්ගලයින් සමග සම්බන්ධතා ප්‍රතික්ෂේප කරන මෙම සංචාරක ජනතාවට අසල්වැසියෙකු විය. කෙසේ වෙතත්, ඉතා මෑතක් වන තුරු ම, ඔහු ඔවුන්ව දැක තිබුණේ කලාතුරකිනි.

මාෂ්කෝ පිරෝ ප්‍රජාව සියවසකට වැඩි කාලයක් තිස්සේ ලෝකයෙන් වෙන් වී වාසය කිරීම තෝරාගෙන ඇත. ඔවුන් දිගු දුනු හා ඊතල භාවිත කරමින් දඩයම් කරන අතර, ඔවුන්ට අවශ්‍ය සියල්ල ඇමේසන් වැසි වනාන්තරයෙන් ලැබෙන බවට ඔවුහු විශ්වාස කරති.

"ඔවුන් සතුන්, විවිධ වර්ගයේ පක්ෂීන්ගේ හඬ සහ ඉරියව් අනුකරණය කරමින් කැරකෙමින් හා විසිල් ගසමින් ගමන් කරන්න පටන් ගත්තා," තෝමස් සිහිපත් කරයි.

"මම 'නොමොලේ' (සහෝදරයා) කියලා ඔවුන්ට අමතන්න පටන් ගත්තා. ඊට පස්සේ එයාලා එකතු වුණා, එයාලට තව ටිකක් සමීප බවක් දැනුණා, ඒ නිසා අපි ගඟ පැත්තට ගිහින් දිව්වා."

ඡායාරූප ශීර්ෂ වැකිය, මාෂ්කෝ පිරෝ ගෝත්‍රික ප්‍රජාව ආරක්ෂා කර ගත යුතු බව තෝමස්ට දැනේ: "ඔවුන් ජීවත් වන ආකාරයට ම ජීවත් වෙන්න ඉඩ දෙන්න"

මානව හිමිකම් සංවිධානයක් වන Survival International විසින් නිකුත් කරන ලද නව වාර්තාවක සඳහන් වන්නේ, "හුදෙකලාව දිවි ගෙවන කණ්ඩායම්" ලෙස හඳුන්වන කණ්ඩායම් අවම වශයෙන් 196ක් ලෝකයේ ඉතිරිව ඇති බව ය. ඒ අතරින් මාෂ්කෝ පිරෝ විශාලතම කණ්ඩායම ලෙස සැලකේ. රජයන් ඔවුන් ආරක්ෂා කිරීමට වැඩි යමක් නොකළහොත් ඉදිරි දශකය තුළ මෙම කණ්ඩායම්වලින් අඩක් විනාශ වී යා හැකි බවට වාර්තාව අනතුරු අඟවයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එම වාර්තාවේ සඳහන් වන පරිදි, ඔවුන් මුහුණ දෙන බරපතළ අවදානම් තත්ත්වයන් වන්නේ, දැව සඳහා ගස් කැපීම, පතල් කැණීම හෝ තෙල් කැණීම ය. හුදෙකලාව දිවි ගෙවන කණ්ඩායම් මූලික රෝගවලට බරපතළ ලෙස ගොදුරු වේ. එබැවින්, එවැන්ජලික මිෂනාරිවරුන් සහ කිලික්ස් සඳහා ඔවුන් සොයා යන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වීමෙන් ඔවුන්ට තර්ජනයක් එල්ල විය හැකි බව වාර්තාව පවසයි.

මෑතකදී, මාෂ්කෝ පිරෝ ජනතාව නුයේවා ඕෂනියා ගම්මානයට වැඩි වැඩියෙන් පැමිණෙන බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම ගම්මානය පවුල් හතක් හෝ අටකින් සමන්විත ධීවර ප්‍රජාවකි, ඔවුන් පේරුහි ඇමේසන් වනාන්තරයේ හදවත ලෙස සැලකෙන තව්හාමානු ගං ඉවුරේ උස් ස්ථානයක ජිවත් වන අතර, ආසන්නතම ජනාවාසයේ සිට බෝට්ටුවකින් යාත්‍රා කළහොත් පැය 10ක දුරින් පිහිටා ඇත.

මෙම ප්‍රදේශය හුදෙකලා ගෝත්‍රික කණ්ඩායම් සඳහා ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස පිළිගෙන නොමැති අතර, දැව කැපීමේ සමාගම් මෙහි ක්‍රියාත්මක වේ.

ඇතැම් අවස්ථාවලදී, දැව කපන යන්ත්‍රෝපකරණවල ශබ්දය දිවා රෑ වෙනසක් නොමැතිව ඇසෙන බවත්, මාෂ්කෝ පිරෝ ජනයා තම වනාන්තරය විනාශ වන ආකාරය දකින බවත් තෝමස් පවසයි.

නුයේවා ඕෂනියා ගම්මානයේ මිනිසුන් පවසන්නේ, ඔවුන් කලහකාරී බවයි. ඔවුන් මාෂ්කෝ පිරෝවරුන්ගේ ඊතලවලට බිය වන නමුත් වනාන්තරයේ ජීවත් වන සහ ඔවුන් ආරක්ෂා කිරීමට කැමති ඔවුන්ගේ "සහෝදරයන්" කෙරෙහි ගැඹුරු ගෞරවයක් ද ඔවුන් තුළ ඇත.

"ඔවුන් ජීවත් වන ආකාරයට ම ඔවුන්ට ජීවත් වීමට ඉඩ දෙන්න, අපට ඔවුන්ගේ සංස්කෘතිය වෙනස් කරන්න බැහැ. ඒ නිසා අපි අපගේ දූරස්ථභාවය තබා ගන්නවා," තෝමස් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Fenamad

ඡායාරූප ශීර්ෂ වැකිය, 2024 ජූනි මස පේරුහි මද්‍රේ ඩි ඩියෝ පළාතේ මාෂ්කෝ පිරෝ වැසියන් පිරිසක් ඡායාරූපගත කර තිබිණි

නුයේවා ඕෂනියා ජනතාව මාෂ්කෝ පිරෝගේ ජීවනෝපායට සිදුවන හානිය, ප්‍රචණ්ඩත්වයේ තර්ජනය සහ දැව කපන්නන් හරහා මාෂ්කෝ පිරෝ වැසියන්ට ප්‍රතිශක්තියක් නොමැති රෝගවලට නිරාවරණය වීමේ හැකියාව ගැන කනස්සල්ලට පත්ව සිටිති.

අපි ගමේ සිටියදී, මාෂ්කෝ පිරෝ වැසියෝ නැවතත් ඔවුන්ගේ පැවැත්ම පිළිබඳව දැනෙන්නට සැලැස්වූහ. අවුරුදු දෙකක දියණියකගේ තරුණ මවක වන ලෙටීෂියා රොඩ්‍රිගේ ලෝපෙස්, ඔවුන්ගේ හඬ ඇසෙන විට වනාන්තරයේ පලතුරු නෙළමින් සිටියා ය.

"අපිට මිනිස්සු කෑ ගහන සද්ද ඇහුණා, කෑ ගහන සද්ද ගොඩක්. හරියට කට්ටියක් කෑ ගහනවා වගේ," ඇය අපට පැවසුවා ය.

ඇය මාෂ්කෝ පිරෝ ජනතාව මුණගැසුණු පළමු අවස්ථාව එය වූ අතර ඇය බිය වී දිව ගියා ය. පැයකට පසුවත් ඇය බියෙන් ගැහෙමින් තිබිණි.

"මිනිස්සු සහ සමාගම් ගස් කපන නිසා, ඔවුන් බියෙන් පලා යනවා. ඒ කියන්නෙ කැලය අතහැරලා ඔවුන් අපි ඉන්න පැතිවලට එනවා," ඇය පැවසුවා ය. "ඔවුන් අපට කෙසේ ප්‍රතිචාර දක්වයි ද කියලා අපි දන්නේ නැහැ. ඒක තමයි මට තියෙන බය."

2022 දී, මසුන් ඇල්ලීමේ නිරතව සිටි මාෂ්කෝ පිරෝ පිරිසක් දැව කපන්නන් දෙදෙනෙකුට දෙන ලදී. එක් අයෙකුගේ බඩවැලට ඊතලයක් වැදී ඇත. ඔහු දිවි ගලවා ගත් නමුත්, අනෙක් මිනිසා දින කිහිපයකට පසු ඔහුගේ ශරීරයේ ඊතල තුවාල නවයක් සහිතව මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.

පේරු රජය හුදෙකලා පුද්ගලයින් සමග සම්බන්ධ නොවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, ඔවුන් සමග අන්තර් ක්‍රියා ආරම්භ කිරීම නීතිවිරෝධී වේ.

හුදෙකලා වූ ජනතාව සමග ඇති කර ගන්නා මූලික සම්බන්ධතා හරහා රෝග, දරිද්‍රතාව සහ මන්දපෝෂණය යන ආපදාවලින් ප්‍රජාවේ විනාශයට හේතු වන බව දුටු ප්‍රාදේශීය අයිතිවාසිකම් කණ්ඩායම් විසින් දශක ගණනාවක් තිස්සේ දැක්වූ විරෝධතාවලින් පසුව මෙම ප්‍රතිපත්තිය බ්‍රසීලයේ ආරම්භ විය.

1980 ගණන්වලදී, පේරුහි නහවු ජනයා බාහිර ලෝකය සමග පළමු වරට සම්බන්ධතා පැවැත්වූ විට, ඔවුන්ගේ ජනගහනයෙන් 50%ක් වසර කිහිපයක් ඇතුළත මිය ගියහ. 1990 ගණන්වලදී, මුරුහානුවා ජනයාට ද එම ඉරණම ම අත්විය.

"හුදෙකලා වුණ ආදිවාසී ජනතාව ඉතා අවදානමට ලක්විය හැකි යි. වසංගත රෝග විද්‍යාත්මකව, ඕනෑ ම ස්පර්ශයකින් රෝග සම්ප්‍රේෂණය විය හැකි අතර, සරල ම ඒවායින් පවා ඔවුන් වඳ වෙන්න වුණත් පුළුවන්," පේරු ආදිවාසී අයිතිවාසිකම් කණ්ඩායම වන ෆෙමනාඩ්හි ඉස්රයිල් ඇක්විස් පවසයි. "සංස්කෘතික වශයෙන් ද, ඕනෑ ම සම්බන්ධතාවක් හෝ මැදිහත්වීමක් සමාජයක් ලෙස ඔවුන්ගේ ජීවිතයට සහ සෞඛ්‍යයට ඉතා හානිකර විය හැකි යි."

සම්බන්ධතා නොමැති ගෝත්‍රිකයින්ගේ අසල්වැසියන්ට, සම්බන්ධතා නොමැති වීමේ යථාර්ථය උපක්‍රමශීලී විය හැකි ය.

තෝමස් අපට මාෂ්කෝ පිරෝ ජනතාව හමුවූ වනාන්තර ප්‍රදේශය පෙන්වන විට, ඔහු නතර වී, දෑත් එකතු කර විස්ල් හඬක් නිකුත් කර නිහඬව බලා සිටියේ ය.

"ඔවුන් පිළිතුරු දුන්නොත්, අපි ආපසු හැරෙනවා," ඔහු පවසයි. අපට ඇසෙන්නේ කෘමීන්ගේ සහ කුරුල්ලන්ගේ ශබ්ද පමණි. "ඔවුන් මෙහි නැත."

තෝමස්ට හැඟෙන්නේ රජය නුයේවා ඕෂනියා ගම්මානයේ පදිංචිකරුවන්ට තනිව ම නොසන්සුන්කාරී තත්ත්වයකට මුහුණ දීමට ඉඩ දී ඇති බව ය.

ඔහු තම ගෙවත්තේ මාෂ්කෝ පිරෝ ජනතාව වෙනුවෙන් ආහාර වගා කරයි. එය ඔහු සහ අනෙකුත් ගම්වැසියන් තම අසල්වැසියන්ට උපකාර කිරීමට සහ තමන්ව ආරක්ෂා කර ගැනීමට ගෙන ඇති ආරක්ෂිත පියවරකි.

"මෙන්න මේ කෙසෙල් ගෙඩි, ඒවා තෑග්ගක්' කියලා කියන්න වචන දැනගෙන හිටියා නම් කියලා මම හිතනවා" ඔහු තවදුරටත් පවසයි. "'ඔයාට ඒවා නිදහසේ ගන්න පුළුවන්. මට වෙඩි තියන්න එපා.'"

පාලක මුරපොළ

ඝන වනාන්තරයේ අනෙක් පසින් කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින්, තත්ත්වය බෙහෙවින් වෙනස් ය. එහි, මෑනූ ගඟ අසල, මාෂ්කෝ පිරෝ ගෝත්‍රිකයින් ජීවත් වන්නේ, නිල වශයෙන් රක්ෂිත වනාන්තරයක් ලෙස පිළිගත් ප්‍රදේශයක ය.

පේරු සංස්කෘතික අමාත්‍යාංශය සහ ෆෙනමඩ් මෙහි "නොමෝලේ" නමැති පාලක මුරපොළක් පවත්වාගෙන යන අතර, එහි කාර්ය මණ්ඩලය නියෝජිතයින් අට දෙනෙකුගෙන් සමන්විත වේ. එය 2013 දී පිහිටුවන ලද්දේ මාෂ්කෝ පිරෝ සහ ප්‍රාදේශීය ගම්මාන අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඝාතන කිහිපයක් සිදු වූ පසු ය.

පාලන ස්ථානයේ ප්‍රධානියා ලෙස, ඇන්ටෝනියෝ ට්‍රිගෝසෝ යඩාල්ගෝගේ කාර්යය වන්නේ එවැනි ඝාතන නැවත සිදුවීම වැළැක්වීම ය.

මාෂ්කෝ පිරෝ නිරන්තරයෙන් දැකගත හැකි ය. ඇතැම් විට සතියකට කිහිප වරක් දැකගත හැකි ය. ඔවුන් නුයේවා ඕෂනියා ගම්මානය අසල සිටින අයගෙන් වෙනස් කණ්ඩායමක් වන අතර, නියෝජිතයන් විශ්වාස කරන්නේ ඔවුන් එකිනෙකා හඳුනන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Fenamad

ඡායාරූප ශීර්ෂ වැකිය, මාෂ්කෝ පිරෝ ගෝත්‍රික ජනතාව නොමෝලේ පාලක මුරපොළ වෙත ප්‍රවේශ වෙමින්

"ඒගොල්ලො හැම දා ම එක ම තැනකට එනවා. එතනදි තමයි කෑ ගහන්නේ," ඇන්ටෝනියෝ පවසන්නේ, පුළුල් මෑනූ ගඟ හරහා අනෙක් පැත්තේ කුඩා ගල් කැට සහිත වෙරළක් පෙන්වමිනි. ඔවුහු කෙසෙල්, යුකා හෝ උක් ඉල්ලති.

"අපි පිළිතුරු නොදුන්නොත්, ඔවුන් දවස පුරා ම එතනට වෙලා සිටිනවා," ඇන්ටෝනියෝ පවසයි. සංචාරකයින් හෝ දේශීය බෝට්ටු ඒ අසලින් ගියහොත් නියෝජිතයෝ එය වළක්වා ගැනීමට උත්සහ කරති. එබැවින් ඔවුහු සාමාන්‍යයෙන් ඊට අනුකූල වෙති. පාලක මුරපොළේ ඔවුන් ආහාර වගා කරන කුඩා වත්තක් තිබේ. එහි ආහාර අවසන් වූ විට, ඔවුහු අසල ගමකින් ආහාරපාන ඉල්ලා සිටිති.

ආහාර නොමැති නම්, දින කිහිපයකින් නැවත පැමිණෙන ලෙස නියෝජිතයෝ මාෂ්කෝ පිරෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති. එම ක්‍රමය මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක වී ඇති අතර මෑතකදී ගැටුම් ඇති වී නොමැත.

ඇන්ටෝනියෝ නිතිපතා දකින පුද්ගලයින් 40 දෙනෙකු පමණ සිටිති - ඔවුහු විවිධ පවුල් ගණනාවකට අයත් පිරිමින්, කාන්තාවන් සහ ළමයින් වෙති.

එම ගෝත්‍රිකයින් හඳුන්වනු ලබන්නේ, සතුන්ගේ නම්වලිනි. ප්‍රධානියා කැමොටෝලෝ (මී මැස්සා) ලෙස හැඳින්වේ. නියෝජිතයන් පවසන්නේ, ඔහු දැඩි මිනිසෙකු බවත් කිසි විටෙකත් සිනා නොවන බවත් ය.

තවත් නායකයෙකු වන ට්කොට්කෝ (ගිජුලිහිණියා) හාස්‍ය උපදවන්නෙකි. ඔහු නිතර සිනාසෙයි. නියෝජිතයන්ට විහිළු කරයි. යොමාකෝ (මකරා) කියලා තරුණියක් ඉන්නවා, ඇයට ද හාස්‍ය ඉපදවීමේ හැකියාවක් ඇතැයි නියෝජිතයෝ පවසති.

මාෂ්කෝ පිරෝ පවුල බාහිර ලෝකය පිළිබඳව එතරම් උනන්දුවක් නොදක්වන නමුත් ඔවුන් හමුවන නියෝජිතයන්ගේ පෞද්ගලික ජීවිත ගැන උනන්දු වෙති. ඔවුන් තම පවුල් ගැන සහ ඔවුන් ජීවත් වන ස්ථානය ගැන විමසති.

ඡායාරූප ශීර්ෂ වැකිය, නොමෝලේහි නියෝජිතයෙකුට මාෂ්කෝ පිරෝ වැසියෙකු විසින් තෑග්ගක් ලෙස ප්‍රදානය කරන ලද වඳුරු දත්වලින් සැකසූ මාලයක්

එක් නියෝජිතවරියක ගැබ්ගෙන මාතෘ නිවාඩු සඳහා ගිය විට, ඔවුහු දරුවාට සෙල්ලම් කිරීම සඳහා හවුලර් වඳුරෙකුගේ උගුරෙන් සාදන ලද රැට්ල් [කුඩා දරුවන් සෙල්ලම් කරන උපකරණයක්] රැගෙන ආහ.

ඔවුහු නියෝජිතයින්ගේ ඇඳුම් ගැන උනන්දු වෙති, විශේෂයෙන් රතු හෝ කොළ පැහැති ක්‍රීඩා ඇඳුම් ගැන උනන්දුවක් දක්වති. "අපි ළඟට එනකොට, බොත්තම් නැති පරණ, ඉරුණු ඇඳුම් අපි අඳිනවා - ඒ නිසා ඔවුන් ඒවා ගන්නේ නැහැ," ඇන්ටෝනියෝ පවසයි.

"පෙර, ඔවුන් තමන්ගේ ම සාම්ප්‍රදායික ඇඳුම් ඇන්දි - ඔවුන් ම කෘමි කෙඳිවලින් හදපු ගොඩක් ලස්සන සායක්. ඒත් දැන් ඔවුන්ගෙන් සහර අය සංචාරක බෝට්ටු පසුකර යන විට ඇඳුම් හෝ සපත්තු ලබා ගන්නවා," පාලක ස්ථානයේ නියෝජිතයෙකු වන එඩ්වාඩෝ පැන්චෝ පිසාර්ලෝ පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Fenamad

ඡායාරූප ශීර්ෂ වැකිය, මාෂ්කෝ පිරෝ ගෝත්‍රිකයින් යනු කවුරුන් ද යන්න පිළිබඳව තවමත් ඇත්තේ ඉතා සුළු අවබෝධයකි

නමුත් නියෝජිත කණ්ඩායම වනාන්තරයේ ජීවිතය ගැන මාෂ්කෝ පිරෝ වැසියන්ගෙන් විමසන සෑම අවස්ථාවකදී ම, මාෂ්කෝ පිරෝ වැසියෝ සංවාදය නතර කර මග හැරියහ.

"එක සැරයක් මම ඇහුවා එයාලා කොහොම ද ගින්දර පත්තු කරන්නේ කියලා," ඇන්ටෝනියෝ පවසයි. "ඔවුන් මට කිව්වා, 'ඔයාට දර තියෙනවා, ඔයා දන්නවනේ' කියලා. මම ඒක දිගට ම ඇහුවා ම, ඔවුන් කිව්වා, 'ඔයාට දැනටමත් මේ ඔක්කොම තියෙනවා - ඔයාට දැන ගන්න ඕන මොකක් ද කියලා?"

ගෝත්‍රික ප්‍රජාව අතරින් අයෙකු දිගු වේලාවක් නොපැමිණියේ නම්, නියෝජිතයන් ඔවුන් පිළිබඳව ප්‍රශ්න කළ විට මාෂ්කෝ පිරෝ වැසියන් "අහන්න එපා" යැයි පැවසුවහොත්, නියෝජිතයින් සිතන්නේ, එම පුද්ගලයා මිය ගොස් ඇති බව ය.

වසර ගණනාවක සම්බන්ධතාවලින් පසුව ද, මාෂ්කෝ පිරෝ ගෝත්‍රිකයින් ජීවත් වන ආකාරය හෝ ඔවුන් වනාන්තරයේ රැඳී සිටින්නේ මන්දැයි යන්න පිළිබඳව නියෝජිතයන් තවමත් දන්නේ අල්ප වශයෙනි.

මෙම ගෝත්‍රික ජනතාව, 19 වන සියවසේ අගභාගයේදී "රබර් වංශාධිපතියන්" ලෙස හඳුන්වනු ලැබූවන් විසින් සිදු කරන ලද අධික සූරාකෑමෙන් සහ පුළුල්ව පැතිරුනු සමූල ඝාතනවලින් බේරී, ගැඹුරු වනාන්තරයට පලා ගිය ආදිවාසී ජනතාවගෙන් පැවත එන්නන් විය හැකි යැයි විශ්වාස කෙරේ.

විශේෂඥයින් අනුමාන කරන්නේ, මාෂ්කෝ පිරෝ යනු ගිනිකොණදිග පේරුහි ආදිවාසී ප්‍රජාවක් වන යීනේ (Yine) වැසියන් සමග සමීප සම්බන්ධයක් පවතින්නට ඇති බව ය. ඔවුන් එක ම භාෂාවේ පැරණි උපභාෂාවක් කතා කරන අතර, එම නියෝජිතයන් වන යීනේ බස ද ඉගෙන ගැනීමට සමත් වී ඇත.

එහෙත්, යීනේ ප්‍රජාව දිගු කලක් තිස්සේ ගංගාවල යාත්‍රා කරන්නන්, ගොවීන් සහ ධීවරයින් ලෙස කටයුතු කර ඇති අතර, මාෂ්කෝ පිරෝවරු එම කටයුතු කරන්නේ කෙසේ දැයි අමතක කර ඇති බව පෙනේ. ඔවුන් ආරක්ෂිතව සිටීමට සංචාරකයින් සහ දඩයම්කරුවන් බවට පත් වන්නට ඇත.

"මට දැන් තේරෙන දේ තමයි ඔවුන් ටික කාලයක් එක ප්‍රදේශයක රැඳිලා, කඳවුරක් හදාගෙන, මුළු පවුල ම එක්රැස් වන බව," ඇන්ටෝනියෝ පවසයි. "ඒ ස්ථානය වටා ඇති සියල්ල දඩයම් කළ පසු, ඔවුන් වෙනත් ස්ථානයකට යනවා."

ඡායාරූප මූලාශ්‍රය, Fenamad

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමේසන් වනාන්තරයේ මාෂ්කෝ පිරෝ ප්‍රජාව දඩයම් කිරීම සඳහා හෙල්ල සහ ඊතල භාවිත කරති

ෆෙනමාඩ්හි ඉස්රයිල් අක්විස් පවසන්නේ, විවිධ කාලවලදී පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් පාලන මුරපොළ වෙත පැමිණ ඇති බව ය.

"ඔවුන් තම ආහාර වේල විවිධාංගීකරණය කිරීම සඳහා කෙසෙල් සහ මඤ්ඤොක්කා ඉල්ලා සිටියත්, සමහර පවුල් මාස හෝ අවුරුදු ගණනක් ඉන්පසු අතුරුදන් වී සිටියි," ඔහු පවසයි.

"ඔවුන් කියනවා: 'මම පසළොස්වක හඳවල් කීපයකට යනවා, ඊට පස්සේ මම ආපහු එනවා' කියලා. ඒ වගේ ම ඔවුන් ආචාර කරල පිටත් වෙලා යනවා."

මෙම ප්‍රදේශයේ මාෂ්කෝ පිරෝ ප්‍රජාව හොඳින් ආරක්ෂා වී ඇතත්, නීති විරෝධී පතල් කැණීම් බහුලව සිදුවන ප්‍රදේශයකට ඔවුන් වෙසෙන ප්‍රදේශය සම්බන්ධ කරන මාර්ගයක් රජය ඉදිකරමින් සිටී.

නමුත් මාෂ්කෝ පිරෝ බාහිර ලෝකයට සම්බන්ධ වීමට කැමති නැති බව නියෝජිතයින්ට පැහැදිලි ය.

"මුරපොළේදී මම ලබපු අත්දැකීම් අනුව, ඔවුන් 'ශිෂ්ටාචාරගත' වෙන්න කැමති නැහැ," ඇන්ටෝනියෝ පවසයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇන්ටෝනියෝ පවසන්නේ, "නොමෝලේ" පාලන පුරපොළෙහි නිතිපතා පුද්ගලයින් 40 දෙනෙකු පමණ හමුවන බව ය

"සමහර විට ළමයි ලොකු වෙනකොට අපි ඇඳුම් ඇඳගෙන ඉන්න එක දකිනවා ඇති, සමහර විට අවුරුදු 10ක් හෝ 20ක් ගියා ම. නමුත් වැඩිහිටියන් එහෙම කරන්නේ නැහැ. එයාලා කැමති අප මෙහෙ ඉන්නෙ නැත්නම්," ඔහු පවසයි.

2016 දී, මාෂ්කෝ පිරෝ ජනයා ජීවත් වන රක්ෂිතය නුයේවා ඕෂනියා ගම්මානය ඇතුළත් ප්‍රදේශයකට ව්‍යාප්ත කිරීම සඳහා රජයේ පනතක් සම්මත කරන ලදී. කෙසේ වෙතත්, මෙය කිසි විටෙකත් නීතියක් බවට පත් කර නැත.

"එයාලත් අපි වගේ නිදහස් වෙන්න ඕනේ," තෝමස් පවසයි. "ඔවුන් වසර ගණනාවක් ඉතා සාමකාමීව ජීවත් වුණ බව අපි දන්නවා, දැන් ඔවුන්ගේ වනාන්තර විනාශ වෙමින් තියෙන්නේ."