F-15E Strike Eagle: ඉරානයේදී ඇමෙරිකානු ගුවන් නිලධාරියා බේරාගත් බිහිසුණු මෙහෙයුම ක්‍රියාත්මක වූ අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ගලවා ගැනීමේ මෙහෙයුමේදී විනාශ කෙරුණ බවට ඉරානය පවසන ඇමෙරිකානු ගුවන් යානයක කොටස් ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය කෙරිණි.
    • Author, ගේබ්‍රියෙලා පොමරෝයි
  • කියවීමේ කාලය: මිනිත්තු 6

ඉරානයේ ග්‍රාමීය ප්‍රදේශයකදී සිය ප්‍රහාරක ජෙට් යානය වෙඩි තබා බිම හෙළීමෙන් පසු අවදානම් සහගත මෙහෙයුමකදී අතුරුදන් වූ සිය ගුවන් හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බේරා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව සමත් විය.

නිශ්චිත තොරතුරු තවමත් අපැහැදිලි නමුත් සතුරු භූමියකින් එම නිලධාරියා ඉවත් කිරීමේ මෙහෙයුම අතිශයින් සංකීර්ණ විය.

මෙම සැලැසුම සඳහා CIA සමඟ විශේෂ බලකා සෙබළුන් හා යුද ගුවන් යානා සහ හෙලිකොප්ටර් ද සම්බන්ධ වූ බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේය.

"දරුණු ලෙස තුවාල ලැබූ ඉතා නිර්භීත F-15 කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ඉරානයේ කඳුකරයෙන් අපි බේරා ගත්තා" යනුවෙන් ඉරිදා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ පැවසීය.

ඉකුත් සිකුරාදා ගුවන් නියමුවෙකු සහ අවි පද්ධති භාර නිලධාරියෙකු රැගත් F-15 ජෙට් යානය දකුණු ඉරානයට ඉහළදී වෙඩි තබා බිම හෙළන ලදැයි වාර්තා වීමෙන් අනතුරුව මෙම ගුවන් භටයා බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ විය.

වසර 20කට පසු එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානයක් සතුරු ප්‍රහාරයකින් බිම හෙළන ලද පළමු අවස්ථාව මෙය විය.

F-15E Strike Eagle යානයේ සිටි ඇමෙරිකානු හමුදා සාමාජිකයින් දෙදෙනා ගුවන් යානයෙන් ඉවතට පැනීමට සමත් වූ අතර, එදිනම නියමුවා බේරා ගන්නා ලද නමුත් දෙවන කාර්ය මණ්ඩල සාමාජිකයා අතුරුදන් විය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

ඇමෙරිකා එක්සත් ජනපදය ඔහුව සොයා ගැනීමට කාලයත් සමග තරගයක නිරත විය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔහුව ජීවග්‍රහණයෙන් අල්ලා ගැනීමට අපේක්ෂා කළ බව ඉරානය පැහැදිලි කළ අතර ඒ වෙනුවෙන් පවුම් 50,000 ක (ඩොලර් 66,100) ත්‍යාගයක් පිරිනමන බව පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවල සන්නද්ධ සිවිල් වැසියන් ඔහු සොයන ආකාරය දක්නට ලැබුණ අතර එම වීඩියෝ බීබීසී විසින් සත්‍යාපනය කර නොමැත.

ගුවන් යානයෙන් ඉවතට පැනීමෙන් අනතුරුව සතුරු භුමියේ දී එම නිලධාරියාට සිය ආරක්ෂාව වෙනුවෙන් පැවතියේ සුළු ගිනි අවියක් පමණක් බව එක්සත් ජනපද නිලධාරීන් පැවසීය.

මෙවැනි තත්ත්වයකදී තමන් සතුව ඇති බීකන් සංඥා ක්‍රියාත්මක කිරීම, උස් බිමක් වෙත ළඟා වීම, සැඟවී සිටීම සහ සම්බන්ධතා පවත්වා ගැනීම යනාදිය සම්බන්ධයෙන් මෙම ගුවන් නිලධාරියා පුහුණුවක් ලබා තිබෙන්නට ඇත.

මෙම ගුවන් නිලධාරියා කන්දක කුහරයක සැඟවී සිටි අතර ඔහු තම බීකනය භාවිතය සීමා කර තිබුනේ ඉරානයට එම සංඥාව ග්‍රහණය කර ගත හැකි වේ යැයි බියෙන් බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

ඉන්පසු ගලවාගැනීමේ කණ්ඩායම් තමා සොයා පැමිණෙන තෙක් ඔහු බලා සිටි බව වාර්තා වේ.

මුදාගැනීමේ මෙහෙයුමේදී CIA සංවිධානය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව ඇමෙරිකානු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ගුවන් භටයා කඳු කුහරයේ සැඟවී සිටි නිශ්චිත ස්ථානය පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව එය පෙන්ටගනයට ලබා දුන්නේ එක්සත් ජනපද බුද්ධි ඒජන්සියයි.

ගලවා ගැනීමේ මෙහෙයුම සැලසුම් කරමින් සිටි ඇමෙරිකානු නිලධාරීන් විසින් ගුවන් භටයා සිටි ස්ථානය "පැය 24 පුරාම" නිරීක්ෂණය කරන ලද බව ට්‍රම්ප් පැවසීය.

"සතුරන් අපේ නිලධාරියාව දඩයම් කරන්න පැයෙන් පැයට ඔහුට ළංවෙමින් හිටියේ" ජනාධිපතිවරයා පැවසුවේය.

ඇතැම් වාර්තාවලට අනුව, ඇමෙරිකානු හමුදාව ඒ වන විටත් දෙවන ගුවන් භටයා සොයාගෙන ඇති බවට ඉරානය තුළ කටකතා පතුරුවමින් CIA සංවිධානය අසත්‍ය පුවත් ප්‍රචාරණයක් ද දියත් කළේය.

"එක්සත් ජනපද හමුදාව ඔහු බේරා ගැනීම සඳහා ලොව දරුණුතම මාරක අවිවලින් සමන්විත ගුවන් යානා රාශියක් යවා තිබුණා" යැයි ජනාධිපතිවරයා තම Truth Social ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය.

එක්සත් ජනපද විශේෂ බලකාය අතරමංව සිටි නිලධාරියා සිටින ස්ථානය වෙත ගමන් කරන විට, ඉරාන හමුදාව එම කලාපයෙන් ඈත් කර තැබීම සඳහා බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.

මුදා ගැනීමේ කණ්ඩායම් ඉරානයෙන් පිටතට පියාසර කිරීමට අදහස් කරන ලද ප්‍රවාහන ගුවන් යානා දෙකකට ඉරානය තුළ දුරස්ථ කඳවුරකින් ගුවන් ගත වීමට නොහැකි වූ බවත්, පසුව ඒවා සතුරාගේ අතට පත්වීම වළක්වා ගැනීම සඳහා විනාශ කරන ලද බවත් එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේය. පසුව විශේෂ බලකායේ සමාජිකයින් රැගෙන ඒම සඳහා අමතර ගුවන් යානා තුනක් ඉරානය වෙත පියාසර කළ බව එම වාර්තා වැඩිදුරටත් පැවසීය.

BBC Verify විසින් තහවුරු කරන ලද වීඩියෝ දර්ශන සහ ඡායාරූපවල, ඉස්ෆහාන් නගරයට කිලෝමීටර් 50ක් පමණ ගිනිකොන දෙසින් පිහිටි මධ්‍යම ඉරානයේ පිහිටි කඳුකර භුමි ප්‍රදේශයක ගිනිගෙන ඇති ගුවන් යානයක සුන්බුන් දක්නට ලැබිණි.

"දකුණු ඉස්ෆහාන්හි අතහැර දමා ඇති ගුවන් තොටුපළකින් පලා යාමේ මෙහෙයුම සම්පුර්ණයෙන්ම ව්‍යර්ථ කළා" යනුවෙන් ඉරාන හමුදාව පැවසූ මෙහෙයුම අතරතුර ඇමෙරිකානු C-130 හමුදා ප්‍රවාහන ගුවන් යානා දෙකක් සහ බ්ලැක් හෝක් හෙලිකොප්ටර් යානා දෙකක් විනාශ කළ බවද ඉරාන හමුදාව පැවසීය.

ඉරාන රාජ්‍ය මාධ්‍ය ඉරිදා ප්‍රකාශ කළේ, අතුරුදන් වූ ගුවන් භටයා සොයමින් සිටියදී, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ඉස්ෆහාන් ඉහළ අහසේදී ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම දැමූ බවයි.

ඉස්ෆහාන් අසල සිදු වූ සිදුවීම් දෙකම තහවුරු කිරීමට බීබීසීයට නොහැකි වී තිබේ.

ඇමෙරිකානු වේලාවෙන් මධ්‍යම රාත්‍රියට පෙර ගලවා ගැනීමේ කටයුතු අවසන් වූ අතර, ගුවන් භටයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කුවේට් වෙත රැගෙන ගිය බව නිලධාරිහූ පැවසූහ. ට්‍රම්ප් පැවසුවේ නිලධාරියා "බරපතල ලෙස තුවාල ලබා" ඇති නමුත් "ඔහු හොඳින් සිටින" බවයි.

බේරාගත් ගුවන් භටයා සිටි නිශ්චිත ස්ථානය හෝ ඔහුගේ අනන්‍යතාවය පිළිබඳව ඇමෙරිකානු බලධාරීන් කිසිදු තොරතුරක් හෙළි කර නොමැත.

"ගලවා ගැනීමේ මෙහෙයුම් කටයුතු රාත්‍රියේ සිදු වූ නිසා එය වඩා හොඳින් සිදු වූණා. අපේ කට්ටියට අඳුර හොඳයි, මොකද එයාලා රෑට වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නේ." විශ්‍රාමික එක්සත් ජනපද නාවික හමුදා අද්මිරාල් විලියම් ෆැලන් බීබීසීයට පැවසුවේය.

සතුරු ප්‍රදේශයකට ඉහළින් පියාසර කරන විට, "මේ වගේ පහර කෑමට ලක්වන පුද්ගලයා ඔබ වෙන්න සූදානම් වෙන්න ඕනේ" යැයි ෆැලන් පවසයි.

ඉරිදා මධ්‍යම රාත්‍රිය (GMT 04:00) එළඹීමට සුළු වේලාවකට පෙර, දෙවන නියමුවා සොයා ගත් බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය "කිසි විටෙකත් ඇමෙරිකානු හමුදා සොල්දාදුවෙකු තනි කරන්නේ නැහැ !" යැයි සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ට්‍රම්ප් පැවසීය.

ගලවා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වූ බව ඉරානය පැවසූ අතර, ඔවුන්ගේ හමුදා ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆාගාරි වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් යානා කිහිපයකට හදිසි ගොඩබෑමක් කිරීමට සිදුවූ බවයි.

"තමන් ආරම්භ කළ යුද්ධයක සිරවී සිටින නූගත් ජනාධිපතිවරයා, ඕනෑම ප්‍රහාරයක් හෝ ගොඩබිම් මෙහෙයුමක් සම්පූර්ණයෙන්ම පරාජය වනවා කියලා වටහා ගත්තා" යැයි ඔහු පැවසීය.

විශේෂයෙන් ජනාධිපති ට්‍රම්ප් නියමුවා බේරා ගත් බව නිවේදනය කිරීමෙන් පසුව, ඉරාන නිලධාරීන් සහ රාජ්‍ය රූපවාහිනිය මෙහෙයුම 'අසාර්ථක' යැයි නැවත නැවතත් සඳහන් කරනු ලැබීය.

ඉරානයේදී F-15E යානයක් අහිමි වීම සහ ගලවා ගැනීමේ මෙහෙයුමට එක්වූ ගුවන් යානා විනාශ වීමේ සිදුවීම ඇමෙරිකානු ගුවන් බලයේ සීමාවන් පෙන්නුම් කරන බව ඇතැම් ඇමෙරිකානු විශ්ලේෂකයෝ පවසති.

"මෙහෙයුම අතරතුර ගුවන් යානා කිහිපයක් අහිමි වූ නමුත් එවැනි තත්ත්වයන් යටතේ එවැනි පාඩු වෙන්න පුළුවන්" යැයි එක්සත් ජනපද මධ්‍යම විධානයේ හිටපු අණදෙන නිලධාරියෙකු වූ ජෙනරාල් ෆ්‍රෑන්ක් මැකෙන්සි, BBC හි ඇමෙරිකානු පාර්ශවකරු වන CBS වෙත පැවසීය.

"ගුවන් යානයක් හදන්න වසරක් ගත වෙනවා, කිසිවෙක් අතහැර යන්නේ නැහැ කියන හමුදා සම්ප්‍රදාය නිර්මාණය කරන්න වසර 200ක් පමණ ගතවෙනවා" යැයි ඔහු CBS වෙත පැවසීය.

අතිරේක වාර්තාකරණය බීබීසී පර්සියානු සේවයේ ගොන්චේ හබිබියාසාඩ් විසිනි