ඊශ්‍රායලට ඇතුළු වීමට හමාස් සටන්කාමීන් භාවිත කළේ 'දෙවන ලෝක යුද උපක්‍රමයක්' ද?

ඡායාරූප මූලාශ්‍රය, Hamas

ඡායාරූප ශීර්ෂ වැකිය, හමාස් සංවිධානයේ අල්-කසාම් බළකාය, තම සටන්කාමීන් ඊශ්‍රායලයට පැරෂුට් ආධාරයෙන් ගොඩබසින අයුරු දැක්වෙන මෙම ඡායාරූපය නිකුත් කළේ ය
    • Author, මොහොමඩ් හම්දාර් සහ හනාන් රසෙක්
    • Role, බීබීසී පුවත් අරාබි
  • කියවීමේ කාලය: මිනිත්තු 6

හමාස් සංවිධානය (ඔක්.7 වැනිදා) ඊශ්‍රායලයට මාරාන්තික ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේ ආක්‍රමණික සටන්කාමීන් අතර දේශසීමාව හරහා පැරෂුට් ආධාරයෙන් ගමන් කළ පිරිසක් ද වූහ.

හමාස් සංවිධානයේ හමුදා අංශය වන "ඉස් අල්-ඩින් අල්-කසාම් බළකාය" ගාසා තීරය අවට උත්සවවලට සහභාගී වී සිටි පිරිස් වෙත සහ ඊශ්‍රායල නගරවලට ප්‍රහාර එල්ල කළේ ය. හදිසියේ එල්ල කරන ලද එම ප්‍රහාරය ඔවුන් හැඳින්වූයේ "අල්-අක්සා ෆ්ලඩ්" යනුවෙනි.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රිචඩ් හෙක්ට් තහවුරු කළේ, පලස්තීන සටන්කාමීන්, "පැරෂුට්" ආධාරයෙන්, මුහුදු මගින් සහ ගොඩබිම හරහා රට තුළට ඇතුළු වූ බව ය.

අල්-කසාම් බළකායට අයත් භට කණ්ඩායම් පැරෂුට් ආධාරයෙන් ගොඩබසින අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ ක්ලිප් සමාජ මාධ්‍යවල හුවමාරු විය. ඔවුන් ඊශ්‍රායලය වැටලීම්වලදී මෙම තාක්ෂණය භාවිත කළ පළමු අවස්ථාව මෙය බවට සැලකේ.

ඡායාරූප මූලාශ්‍රය, Hamas

ඡායාරූප ශීර්ෂ වැකිය, තම සටන්කරුවෙකුගේ මෙම ඡායාරූපය හමාස් සංවිධානයේ අල්-කසාම් බළකාය විසින් නිකුත් කරනු ලැබ තිබුණේ, ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අවස්ථාවේදී ය

ගුවනින් දේශසීමා වැට හරහා යාම

පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායලයෙන් ගාසා තීරය වෙන් කරන වැට හරහා ගුවනින් ගමන් කිරීමට සමත් වූයේ එක් අයෙකුට හෝ දෙදෙනෙකුට ගමන් කළ හැකි පැරෂුට් ආධාරයෙනි.

විදුලි ජනක යන්ත්‍රයකින් සහ තලවලින් බල ගැන්වූ ඒවා ගාසා තීරය අවට ප්‍රදේශය දෙසට ගමන් කරවීම සඳහා මෙහෙය වන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පලස්තීන තුවක්කුකරුවන් (ඔක්.7) දකුණු ඊශ්‍රායලයේ ප්‍රදේශවලට ඇතුළු වීමෙන් පසු පලස්තීනුවෝ ඊශ්‍රායල-ගාසා දේශසීමා වැටේ ඊශ්‍රායලයට අයත් ප්‍රදේශය වෙත කඩා වැදුණහ.

දෙවන ලෝක යුද්ධ සමයේ උපක්‍රම

යුද්ධ පෙරමුණට පිටුපසින් සතුරන්ට අයත් භූමි ප්‍රදේශ වෙත ඇතුළු වීමේ අරමුණින් හමුදා ඒකක සඳහා අවශ්‍ය සැපයුම් ගුවනින් ලබා දීම සඳහා මිලිටරි පැරෂුට් නිතිපතා භාවිත කරනු ලැබේ.

දෙවන ලෝක සංග්‍රාමයේදී සටන් වදිමින් සිටි ජර්මානු සහ මිත්‍ර පාර්ශවවල රටවල් විසින් සටන් කිරීම සඳහා පැරෂුට් කණ්ඩායම් මුලින් වරට යොදවන ලදී.

ඡායාරූප මූලාශ්‍රය, Getty images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1944 වසරේදී ප්‍රංශයේ නෝමැන්ඩිහිදී සිදු වූ දෙවන ලෝක යුද්ධ ගොඩබැසීම්වල 78 වන සැමරුම අතරතුර එක්සත් ජනපද භටයින් 2022 ජූනි මාසයේදී C 130 හර්කියුල් ගුවන් යානයක සිට පැරෂුට් ආධාරයෙන් බිමට පනින අයුරු

1987 ග්ලයිඩර් ප්‍රහාරය

හමාස් සංවිධානය සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරය සිහි ගන්වන්නේ, 'Popular Front for the Liberation of Palestine - General Command' සංවිධානයේ පලස්තීන ජාතිකයන් දෙදෙනෙකු, සිරියානු ජාතිකයෙකු සහ ටියුනීසියානු ජාතිකයෙකු විසින් සිදු කරන ලද ග්ලයිඩර් මෙහෙයුම ය.

ඔවුහු 1987 වසරේ නොවැම්බර් මාසයේදී ඊශ්‍රායල හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමට ලෙබනනයෙන් ගුවන්ගත වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල භටයෙකු, 1987 නොවැම්බර් 26 වන දින උතුරු ඊශ්‍රායලයේ හමුදා කඳවුරකදී ඊශ්‍රායල භටයන් හය දෙනෙකු මිය ගොස් හත් දෙනෙකුට තුවාල සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකදී භාවිත කරන ලද මෝටරයක් සහිත එල්ලෙන ග්ලයිඩරයක් දෙස බලා සිටින අයුරු

ගොඩබිම ඔස්සේ දියත් කිරීම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෝටරයක් සහිත සහ හැසිරවීමට අවශ්‍ය උපාංග සහිත පැරෂුට් භාවිත කිරීමෙන් ප්‍රහාරකයින්ට ඒවා ගොඩබිම සිට දියත් කිරීමට හැකි විය.

ඉන් අදහස් වන්නේ, ඔවුන්ට කන්දක් මත සිට හෝ ගුවන් යානයක සිට බිමට පැනීමේ කිසිදු අවශ්‍යතාවකින් තොරව ඒවා ආධාරයෙන් ගමන් කළ හැකි බව ය.

පැරෂුටයට පැයට කිලෝමීටර 56ක් දක්වා ප්‍රචාලන බලයක් [ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය බලය] ලබා දීමට එන්ජිම උපකාරී වේ.

මෙම පැරග්ලයිඩර්වලට පැය තුනක කාලයක් පියාසර කළ හැකි අතර, සාමාන්‍යයෙන් පොළොවේ සිට මීටර් 5,000ක උන්නතාංශයක් දක්වා ඉහළ අහසට ගමන් කළ හැකි ය.

පැරග්ලයිඩින් වෙබ් අඩවිවලට අනුව, ඒවාට කිලෝග්‍රෑම් 230ක් දක්වා බරක්, නැතහොත් පුද්ගලයන් 4 දෙනෙකුට සමාන බරක් රැගෙන යා හැකි ය.

කුඩයක් වැනි මෙම යන්ත්‍රයේ එක් අයෙකුට ගමන් කළ හැකි අතර රෝද තුනකින් සමන්විත යන්ත්‍රයක දෙදෙනෙකුට ගමන් කළ හැකි ය.

ඉස් අල්-ඩින් අල්-කසාම් බළකායේ "මිලිටරි මීඩියා" විසින් පළ කරන ලද වීඩියෝ ක්ලිප්වල පැරග්ලයිඩර් බිම සිට දියත් කරන ආකාරය සටහන් වී ඇති අතර ඒ සෑම එකක ම ප්‍රහාරකයෙකු හෝ දෙදෙනෙකු නියමුවන් ලෙස කටයුතු කරන අයුරු දැක්වේ.

අනෙක් දර්ශනවල දැක්වෙන්නේ, ඊශ්‍රායල හමුදා සිටින ස්ථාන වෙත ගොඩ බැසීමට පෙර ප්‍රහාරකයින් ගුවනේ සිට වෙඩි ප්‍රහාර එල්ල කරන ආකාරය යි.

හමාස් සංවිධානය විසින් දේශසීමා වැට හරහා ගමන් කළ පැරෂුට් භට කණ්ඩායම හැඳින්වූයේ "සාකර් බලඝණය (Saqr Squadron)" යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයෙන් පසු හමාස් සටන්කාමීන් ගාසා තීරය දෙසට ගමන් කරමින්

ඊශ්‍රායල හමුදාව පැරෂුට් හඳුනා නොගත්තේ ඇයි?

හමාස් සංවිධානයට අයත් මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කරන ලද වීඩියෝ ක්ලිප්වල දැක්වෙන්නේ, ගාසා තීරයේ සිට එල්ල වන දැවැන්ත රොකට් ප්‍රහාරයකට මුවා වී සන්නද්ධ පැරග්ලයිඩර් පියාසර කරන ආකාරය යි.

ඒවායෙන් සමහරක් පහත් පහළින් පියාසර කරන බව පෙනෙන්නට තිබූ අතර අනෙක් ඒවා ඉහළ අහසේ පියාසර කරන්නට විය.

ගාසා තීරය අවට අහසේ ඒවා පියවි ඇසින් පැහැදිලිව දැක ගත හැකි විය.

ඒවා හඳුනා ගැනීමට හමුදා ඒකක අසමත් වූයේ මන්දැයි ඊශ්‍රායල මාධ්‍ය ප්‍රශ්න කර තිබේ.

විශේෂයෙන්, ප්‍රදේශවාසීන්ට තම ජංගම දුරකතනවලින් වීඩියෝගත කිරීමට හැකි වන පරිදි පැරෂුට් ඉතා හොඳින් දර්ශනය වී තිබියදී ත් ප්‍රහාරකයින් ගුවනින් දේශසීමා හරහා පැමිණි අවස්ථාවේ තම ගුවන් ආරක්‍ෂක පද්ධතිය ක්‍රියාත්මක නොවීමට හේතුව ඊශ්‍රායල හමුදා මෙතෙක් හෙළි කර නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා තීරයේ සිට ඊශ්‍රායලයේ අෂ්කෙලොන් නගරය දෙසට එල්ල කරන ලද මිසයිල එරට ගුවන් ආරක්ෂක පද්ධතිය වන 'අයන් ඩෝම්' මගින් 2023 ඔක්තෝම්බර් 10 වන අඟහරුවාදා ඇෂ්කෙලොන් නගරයට ඉහළ අහසේදී වැළැක්වූ අයුරු

අයන් ඩෝම්

ඊශ්‍රායලය මුර සංචාරවල යෙදෙන භටයින්ට වඩා තාක්‍ෂණය මත ඕනෑවට වඩා විශ්වාසය තැබුවා ද?

'අයන් ඩෝම්' සහ 'රේඩාර්' වැනි ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති එවැනි කුඩා පියාසර වස්තූන් සමග කටයුතු කිරීමට නිර්මාණය කර නොමැති බවට ඇතැම් වාර්තාවල දැක්වේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායලයේ 'අයන් ඩෝම්' මිසයිල නාශක පද්ධතිය ඔක්තෝබර් 10 වන අඟහරුවාදා දකුණු ඊශ්‍රායලයේ ස්ඩෙරෝට් අසල සිට දිස් වූ පරිදි ගාසා තීරයෙන් එල්ල කරන ලද රොකට් ප්‍රහාර වළක්වන අයුරු

බහු-දිශා ප්‍රහාර

අල්-කසාම් බළකායේ අණ දෙන නිලධාරී මුහම්මද් අල්-ඩීෆ් පළමු දිනයේ සිදු කළ ප්‍රකාශයකට අනුව, හමාස් සංවිධානය සිය හදිසි ප්‍රහාරය ආරම්භ කළේ, රොකට් 5,000ක් එල්ල කරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා තීරයෙන් එල්ල වූ රොකට් ප්‍රහාර ඊශ්‍රායලයේ අෂ්කෙලොන් නගරයේ රථ වාහන විනාශ කර දමා ඇති අයුරු

මෙම රොකට් ප්‍රහාර එල්ල කිරීම හමාස් සටන්කාමීන් ගොඩබිමෙන් සහ මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රහාරක යාත්‍රා භාවිත කරමින් සහ ගුවනින් පැරෂුට් ආධාරයෙන් සිදු කළ ආක්‍රමණය කිරීමත් සමග සිදු විය.

මාධ්‍ය සහ හමුදා වාර්තා පෙන්වා දෙන්නේ, පැරෂුට් ප්‍රහාරය සහ ඊට ගුවන් ආරක්‍ෂක පද්ධතිය මග හැර යාමට තිබුණු හැකියාව දේශසීමාව හරහා යාමට තීරණාත්මක සාධකයක් වූ බව ය.

එහි පළමු දිනයේදී, ප්‍රහාරය ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ට සහ හමුදා සාමාජිකයන්ට දැවැන්ත හා පෙර නොවූ විරූ හානියක් සිදු කළේ ය

වීඩියෝ ශීර්ෂ වැකිය, හමාස් සටන්කාමීන් ඉදිකර ඇති ගාසාහි රහසිගත උමංවල ඇතුළත

සටන්කාමීන් ඊශ්‍රායල සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයින් 150කට වැඩි පිරිසක් පැහැරගෙන ගිය අතර, ඔවුන් මරා දමන බවට දැන් හමාස් සංවිධානය තර්ජනය කරයි.

ඡායාරූප ශීර්ෂ වැකිය, හමාස් සටන්කාමීන් ග්‍රහණයට ගත් බවට ඥාතීන් විසින් හඳුනා ගන්නා ලද පිරිස් අතර වයස්ගත පුද්ගලයින් සහ කුඩා දරුවෝ ද වූහ