ඉරාන නායකත්වයේ අභ්‍යන්තර අර්බුදය තවත් උග්‍ර කරන අලි ලරිජානිගේ මරණය

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලරිජානි ඉරානයේ වඩාත් ම බලගතු දේශපාලන චරිතයක් ලෙස පිළිගැනිණි
    • Author, අමීර් අසිමි
    • Role, BBC පරිසියානු සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ඉරානය තම ආරක්ෂක ප්‍රධානියා වන අලි ලරිජානිගේ මරණය තහවුරු කර නොමැති නමුත් ඊශ්‍රායලය පවසන්නේ, ඔහු රාත්‍රියකදී එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව ය. එය සත්‍යයක් නම් එය ඉස්ලාමීය ජනරජයේ වඩාත් ම පළපුරුදු සහ බලවත් ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් කෙනෙකු තීරණාත්මක මොහොතකදී අහිමි වීමක් වනු ඇත.

ලරිජානි යනු හමුදාවේ අණදෙන නිලධාරියෙකු නොවූ නමුත් ඉරානයේ උපායමාර්ගික තීරණ හැඩගැස්වීමේ කේන්ද්‍රීය චරිතයක් විය.

උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ලෙස ඔහු යුද්ධය, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ තීරණ ගැනීමේදී කේන්ද්‍රස්ථානයේ සිටියේ ය.

විශේෂයෙන් ම එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමග පවතින ගැටුම් කළමනාකරණය කරමින් ඔහුගේ හඬ පද්ධතිය පුරා දැඩි බලපෑමක් ඇති කළේ ය.

පෙබරවාරි 28 වන දා උත්තරීතර නායක අලි කමේනි ඝාතනයෙන් අනතුරුව ඉරානය දිගුකාලීන ගැටුමකට සූදානම් බවට සංඥා කරමින් ලරිජානි දැඩි ස්ථාවරයකින් අදහස් දැක්වීය.

ඔහුගේ මරණය වාර්තා වන්නේ, සති කිහිපයක් ඇතුළත ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ හමුදාවට අණදෙන නිලධාරීන් කිහිප දෙනෙකු ම ඝාතනයට ලක් වූ පුළුල් මෙහෙයුමක් මධ්‍යයේ ය. යුද සමයේදී ඉරානයේ නායකත්ව ව්‍යුහය දුර්වල කිරීම සඳහා ක්‍රියාත්මක අඛණ්ඩ උත්සහයක් මෙම ඝාතන රටාවෙන් පෙන්නුම් කෙරේ.

බටහිරට එරෙහිව ඔහු දැඩි ස්ථාවරයක පසු වුව ද ලරිජානි බොහෝවිට ඉරානය තුළ ප්‍රායෝගිකවාදියෙකු ලෙස හැඳින්විණි. ඔහු ප්‍රායෝගික කුසලතා සමග ශක්තිමත් විශ්වාසයන් මිශ්‍ර කළ අතර හිස් වචනවලට වඩා ප්‍රවේශමෙන් සැලසුම් කිරීමට ඔහු කැමැත්තක් දැක්වීය.

බටහිර බලවතුන් සමග කටයුතු කිරීම පිළිබඳව ඔහු දැඩි ලෙස සැක පහළ කළ නමුත්, චීනය සමග ඉරානයේ දිගුකාලීන සහයෝගීතා ගිවිසුමේ නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම ඇතුළු ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් සඳහා ඔහු මැදිහත් විය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔහුගේ මරණය වාර්තා වන විට, ලරිජානි ප්‍රධාන අර්බුද තුනක් කළමනාකරණය කිරීමේ වගකීම භාරව සිටියේ ය.

පළමුවැන්න යුද්ධය ම විය. ඉරානය දීර්ඝ කාලීන අරගලයකට සූදානම් විය යුතු බවටත්, ගැටුම හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ඇතුළුව කලාපය පුරා සහ ඉන් ඔබ්බට ව්‍යාප්ත කළ යුතු බවටත් ඔහු තර්ක කළේ ය.

දෙවැන්න වූයේ ආර්ථික දුෂ්කරතා සමග ආරම්භ වුව ද අනතුරුව ඉස්ලාමීය ජනරජය පෙරළා දැමීම අරමුණු කර ගත් පුළුල් විරෝධතා සඳහා පරිවර්තනය වූ රට අභ්‍යන්තරයේ හටගත් මහජන නොසන්සුන්තාවයේ රැල්ල යි. එහිදී සිදු කළ මර්දනය හමුවේ රට පුරා විරෝධතාකරුවන් දහස් ගණනක් මිය ගියහ.

තෙවැන්න වූයේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ වොෂින්ටනය සමග ඇණහිට ඇති වක්‍ර සාකච්ඡා වූ අතර එම ද්විත්වය ම ඒ වන විටත් හමුදා ප්‍රහාර හේතුවෙන් අඩාළ වී තිබිණි.

ඔහුගේ මරණයත් සමග මෙම ගැටලු නොවිසඳී පවතින අතර අතිශය අස්ථාවර තත්ත්වයකට මුහුණ දී සිටින තවමත් හඳුනා නොගත් අනුප්‍රාප්තිකයෙකු වෙත ඒවා පවරනු ලබයි. ගෝලීය බලශක්ති වෙළෙඳපොළට බාධා පමුණුවමින් ඉරානය යම් ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර තිබෙන නමුත් එහි ගුවන් සීමාව අඛණ්ඩව එල්ල වන ප්‍රහාර සඳහා විවෘතව පවතී. ඕනෑ ම නව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉලක්ක වීමේ ක්ෂණික අවදානමකට ද මුහුණ දෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Anadolu via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරවල පළමු වටයේදී මිය ගිය ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (මැද) සමග ඡායාරූපයේ සිටින ලරිජානි (දකුණේ සිට සිව්වැන්නා)

මෙම සිද්ධිය හේතුවෙන් හමුදාව දෙසට තවදුරටත් බලය පවරනු ඇත. ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ මෑතකාලීන ප්‍රකාශය මගින් යෝජනා කෙරෙන්නේ, ජ්‍යෙෂ්ඨ නායකත්වය අක්‍රිය වුවහොත් ක්‍රියාත්මක වීම සඳහා සන්නද්ධ බළකා ඒකක වෙත පුළුල් අධිකාරියක් ලබා දී ඇති බව ය. ප්‍රායෝගිකව ගත් කල, මෙයින් අදහස් කෙරෙන්නේ තීරණ ගැනීම් වේගවත් වූ නමුත් මධ්‍යම සම්බන්ධීකරණය දුර්වල විය හැකි බව ය.

නායකත්වය අනුප්‍රාප්තිකයන් පත් කිරීම සම්බන්ධයෙන් අරගලයක නිරත වී සිටින බව ද පෙනෙන්නට තිබේ. ඉරානය ප්‍රසිද්ධ නිවේදන නිකුත් කිරීම ප්‍රමාද කර ඇති අතර නව උත්තරීතර නායක මොජ්තබා කමේනි ඇතුළු ඇතැම් ප්‍රධාන නිලධාරීහු ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් බැහැරව සිටිති. මෙවැනි ක්‍රියා ආරක්ෂක හේතු මත ද නැතහොත් අභ්‍යන්තර අවිනිශ්චිතතාව නිසා සිදු කරන්නේ ද යන්න පැහැදිලි නැත.

කෙටි කාලීනව මෙහි ප්‍රතිඵලය විය හැක්කේ වඩාත් අස්ථාවර තත්ත්වයකි: එනම් යුද්ධයේදී දැඩි හමුදාමය ස්ථාවරයක් සහ රට තුළ දැඩි මර්දනයක් ගෙන යාම ය.

කෙසේ වෙතත්, කාලයාගේ ඇවෑමෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අඛණ්ඩව අහිමි වන පද්ධතියකට විශේෂයෙන් මිලියන 90කට වඩා වැඩි ජනතාවක් සිටින රටක ඵලදායී ලෙස ක්‍රියා කිරීම වඩාත් දුෂ්කර වනු ඇත.

එසේනම්, ලරිජානිගේ මරණය හුදෙක් එක් නිලධාරියෙකුගේ අහිමි වීමක් පමණක් ම නොවේ. එය යුද්ධයේ ගමන් මගට සහ ඉරාන රාජ්‍යයේ ස්ථාවරත්වයට ද බලපෑම් කළ හැකි නායකත්ව අර්බුදය තවදුරටත් තීව්‍ර කිරීමක් විය හැක.