අතුරුදන් වූ ඉන්දීය මාධ්‍යවේදියාගේ සිරුර භූගත අපජල ටැංකියක තිබී සොයා ගැනේ

ඡායාරූප මූලාශ්‍රය, Bastar Junction

ඡායාරූප ශීර්ෂ වැකිය, මුකේෂ් චන්ද්‍රකාර් රාජ්‍ය ඉදිකිරීම් ව්‍යාපෘතිවල සිදුවූ බව කියන දූෂණ පිළිබඳව පුළුල් ලෙස වාර්තා කර තිබිණි
    • Author, අන්බරසන් එතිරාජන්
    • Role, දකුණු ආසියා සංස්කාරක
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ඉන්දියාවේ සිදුවූ බව කියන දූෂණ පිළිබඳව වාර්තා කළ ඉන්දීය මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් චත්තිස්ගාර් ප්‍රාන්තයේ අපජල ටැංකියක තිබී හමුවී තිබේ.

32 හැවිරිදි මුකේෂ් චන්ද්‍රකාර් අලුත් අවුරුදු දිනයේ අතුරුදන් වූ අතර ඔහුගේ පවුලේ අය ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළහ.

ඔහුගේ ජංගම දුරකතනය නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබීමෙන් පසු බිජාපූර් නගරයේ මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙකුගේ නිවසක තිබී සිකුරාදා ඔහුගේ සිරුර සොයා ගන්නා ලදී.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මාධ්‍ය අයිතීන් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඉල්ලා ඇත.

බිජාපූර් දිස්ත්‍රික් පොලිසිය ජනවාරි 2 වැනිදා නිවෙස් පරිශ්‍රයේ කළ මූලික සංචාරයකදී සැක සහිත කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.

"කොහොම වුණත්, ජනවාරි 3 වැනිදා වැඩිදුර විමර්ශනයෙන් පස්සේ, බැඩ්මින්ටන් පිටිය ළඟ අලුතින් ඉදිකළ අපජල ටැංකියක තිබී මුකේෂ්ගේ සිරුර සොයා ගත්තා," ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේ ටැංකියට ඉහළින් කොන්ක්‍රීට් දමා තිබුණු බවය.

ඔහුගේ සිරුරේ මොට ආයුදයකින් කළ පහරදීම් යැයි පෙනී යන දරුණු තුවාල පෙන්නුම් කරන බව පොලිසිය සඳහන් කළේය.

නිදහස් මාධ්‍යවේදියෙකු වන චන්ද්‍රකාර් පොදු ඉදිකිරීම් ව්‍යාපෘතිවල සිදුවූ බව කියන දූෂණ පිළිබඳව පුළුල් ලෙස වාර්තා කර තිබුණි.

'Bastar Junction' නමින් ඔහු ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් ද පවත්වාගෙන ගියේය.

ඡායාරූප මූලාශ්‍රය, Alok Putul/BBC

ඡායාරූප ශීර්ෂ වැකිය, චන්ද්‍රකාර්ගේ දේහය තිබූ ටැංකිය කොන්ක්‍රීට් ලෑල්ලකින් ආවරණය කර තිබුණි
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔහුගේ මරණයෙන් පසුව, ඉන්දීය පුවත්පත් මණ්ඩලය ප්‍රාන්ත රජයෙන් "සිද්ධිය පිළිබඳ කරුණු" ඇතුළත් වාර්තාවක් ඉල්ලා සිටියේය.

ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා චන්ද්‍රකාර් මෙම මරණය විස්තර කළේ "හද කම්පා කරවන්නක්" ලෙසිනි.

X හි සටහනක ඔහු කියා සිටියේ මෙම සිද්ධිය විමර්ශනය කිරීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත්කර ඇති බවයි.

මාධ්‍යවේදියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එක් අයෙකු ඔහුගේ ඥාති සොහොයුරෙකු බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රධාන සැකකරුවන්ගෙන් අයෙකු වන - අදාළ නිවසේ හිමිකරු සුරේෂ් චන්ද්‍රකාර් ද ඥාතියෙකු වන අතර ඔහු පලා ගොස් ඇත.

ප්‍රාදේශිය මාධ්‍යවේදීන් විරෝධතාවයක් පවත්වනු ලැබුවේ, අපරාධකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස බලකරමිනි.

දූෂණය හෝ පරිසර විනාශය ගැන වාර්තා කරන මාධ්‍යවේදීන්ට පහර දීම ඉන්දියාවේ අසාමාන්‍ය දෙයක් නොවේ.

නීතිවිරෝධී වැලි කැණීම්වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ වාර්තා කළ ප්‍රසිද්ධ නිදහස් මාධ්‍යවේදියෙකු වන සුභාෂ් කුමාර් මහතෝ, බිහාර් හි ඔහුගේ නිවසින් පිටතදී නාඳුනන පුද්ගලයින් හතර දෙනෙකු විසින් 2022 මැයි මාසයේදී, හිසට වෙඩි තබා මරා දමන ලදි.

මාධ්‍ය නිරීක්ෂණ සංවිධානයක් වන දේශසීමා රහිත වාර්තාකරුවන් (Reporters Without Borders) පවසන්නේ සිය රාජකාරිය සම්බන්ධ කටයුතු හේතුවෙන් වසරකදී සාමාන්‍යයෙන් ඉන්දියාවේ මාධ්‍යවේදීන් තිදෙනෙකු හෝ හතර දෙනෙකු ඝාතනයට ලක්වන බවත්, එය මාධ්‍ය සඳහා ලොව භයානකම රටක් බවට පත් කරන බවත්ය.